පෙනෙන ලොව තුල නොපෙනෙන ජීවී ලෝක – සක්වල සක්මන 01

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි. 

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විධ්‍යා පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු මහා ප්‍රඤ්ඤාලෝකයෙන් උකහා ගත් චාමික මුණසිංහ විසින් සම්පාදිත සක්වල සක්මන ලිපි පෙළ අද සිට ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු.

මහ නා හිමියනි, සක්වළ පිළිබඳ ව සරලව විග්‍රහ කරන්නේ කොහොම ද?

ඉරෙහි (SUN) හඳෙහි (Moon) එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් (Galaxy) කියනවා. ලෝකය, චක්‍රවාටය, චක්‍රවාළය, ක්‍ෂීර පථය, මන්දාකිනිය හා සෞරග්‍රහ මණ්ඩලය ආදී විවිධ නම්වලින් හඳුන්වන්නෙත් මේ ‘ සක්වළ’ ම තමයි. චක්‍රකාර හැඩයෙන් යුතු ලෝක ධාතුව රටාවකට භ්‍රමනය වීම මෙවැනි නම් පටබැඳීමට හේතු වී තිබෙනවා. අපට පෙනෙන ඉර හඳ තියෙන්නේ, පිට සක්වළක නෙමෙයි. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සියලු ග්‍රහ ලෝක මේ සක්වළට අයත් වෙනවා.

ඒ වගේම, මේ සක්වළ තුළ අපට පෙනෙන නොපෙනෙන විවිධ ජීව – අජීවී ලෝකත් පවතිනවා. මේ ලෝකය දිය බුබුළක් හා මිරිඟුවක් බඳු යැයි ධම්ම පදයේ ‘ ලෝක වග්ගයේ’ විස්තර කර තිබෙනවා. එසේම, ඉර – හඳ කිහිපයක් බැගින් වූ විවිධ ප්‍රමාණවල ලෝක ධාතු ( සක්වල ) ද විශ්වයේ නැතුවා ම නොවෙයි. මේ හැම සක්වළකම පෙනෙන නොපෙනෙන විවිධ ජීව ලෝක පවතිනවා.

අ ැල්බට් අයින්ස්ටයින් සහ මහාචාර්ය ජේ. බී. එස්. හෝල්ඩේන් ඇතුළු බටහිර විද්‍යාඥයින් ද මේ පිළිබඳ විවිධ අනාවරණ කර තිබෙනවා. “ මේ ලෝකය (සක්වළ) අප හිතනවාට වඩා පුදුම තැනක් පමණක් නොවෙයි, අපට හිතන්නට බැරි තරමටත් වඩා මහා පුදුම උපදවන තැනක්” යනුවෙන් හෝල්ඩේන් පවසනවා. එමෙන්ම මෙහි සෑම මොහොතකම කිසියම් අදෘශ්‍යමාන වෙනසක් පවතින බව අයින්ස්ටයින් කළ ඇතැම් පර්යේෂණ වාර්තාවල දැක්වෙනවා. ආතර් සී. ක්ලාක් සූරීන් ලියූ “ ෆොපයිල් ඔෆ් ද පියුචර්” (Profiles of the Future) පොතේ, මේ සක්වළ තුළ පවතින ජීවී හා වායු වර්ග අදෘශ්‍යමාන යැයි දක්වා තිබෙනවා.

ඇත්තටම එහෙම, මේ පෙනෙන ලොව තුළත් නොපෙනෙන තවත් ජීව ලෝක තිබිය හැකි ද ?

මේ කාරණය “ කරණීය මෙත්ත සූත්‍රයෙනුත්” විස්තර කෙරෙනවා. වන ළැහැබක මහණදම් පිරීමට ගොස් බිහිසුණු දේ දැකීමෙන් හා විවිධ ශබ්ද ඇසීමෙන් තැතිගත් භික්‍ෂූන් පිරිසක් අරබයා යි බුදුරදුන් එය දේශනා කළේ.

එමගින්, තෘෂ්ණාවෙන් බිය වන සතුන්, තෘෂ්ණාව ප්‍රහීණ කළ සතුන්, දිගු ශරීර, කෙටි ශරීර, මහත ශරීර, මධ්‍යම ශරීර, කුඩා ශරීර, මිටි ශරීර හා සූක්‍ෂම ශරීර ඇති සතුන් වගේ ම ළඟ වෙසෙන, දුර වෙසෙන සතුන් ගැන පමණක් නොවෙයි, උපන් – නූපන්, උපදිමින් සිටින ( මව්කුසවල, බිත්තරවල ) මතු උපදින සතුන් පිළිබඳවත් විස්තර වෙනවා. තවත් අවස්ථාවකදී එක් රහතන් වහන්සේ නමක් දුටු සිද්ධියක් බුදු රජාණන් වහන්සේට විස්තර කර සිටියා. එනම්, උකුස්සෙක් අහසේ පාවෙන සත්වයෙකු අල්ලා ගෙන කෑලිවලට කඩා කන දසුනකි. එවිට බුදු රදුන් පවසා සිටියේ, එය තමන් වහන්සේ ද දුටු බවත්, ඊට සාක්‍ෂිකරුවෙකු නොමැති නිසා කිසිවෙකුත් එය පිළිනොගන්නා බැවින් නිහඬව සිටි බවයි.

බුදු ඇසට යොමු වුණු මේ දේවල් තවමත් විදු ඇසට හසු නොවීමට හේතුව කුමක් ද ?

බුදු ඇස තරම්, විදු ඇස තීව්‍ර වෙන්නේ නැහැ. මසැස හා දිවැස වගේම පැනැස, සමතැස ආදී ඇස් පහක් ( 05 ) බුදු ඇසට අයත් වෙනවා. මෙබඳු පුළුල් නිරවුල් දැක්මක් විදු ඇසට නැත්තේ එනිසායි. විද්‍යාව දියුණු වුණත් මේ වගේ ප්‍රහේලිකාවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. විද්‍යාව යම් තැනක නතර වෙනවා. ඉලෙක්ට්‍රෝනයට ගිය පසු ඉන් එහාට ගමනක් නැති පරිදි විද්‍යාව ඉන් ඉදිරියට යන්න බැහැ.

නමුත් සිත දියුණු කර ප්‍රථමාදී ලෞකික ධ්‍යානයන් උපදවා ගත හැකියි. එහෙම උපදවා ගත හැකි අභිඥා පහක් (05) සහ සමාපත්ති අටක් ( 08 ) ගැන බුදු දහමේ සඳහන් වෙනවා. ඉද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්තවිජානන, පුබ්බේනිවාස හා දිබ්බචක්ඛු ආදී ධ්‍යාන ඒ අතර ප්‍රධාන වෙනවා.

මසැස (පියවි ඇස) ට හසු නොවන දුරින් පිහිටි දෙයක් මනැසින් දැකීමට ඇති හැකියාවට දිවැස් (දිබ්බචක්ඛ) කියලා කියනවා. සාමාන්‍යයෙන් සවනට නොඇසෙන දුරක ඇති දේවල් ඇසීමේ හැකියාවට දිවකන් ( දිබ්බසෝත ) කියනවා. මෙහි සීමාවක් නැහැ. හසුවන බොහෝ දේ නිවැරදිව ග්‍රහණය කර ගැනීමට නොහැකියාවෙන් විදු ඇස අන්දමන්ද වෙන්නේ ඒකයි. එලෙස අනාවරණය කර නොගත් දේවල්. විද්‍යාඥයින් “ අයඩොක්ස්” ( Iodox ) සහ “ පැරඩොක්ස්”  (E. P. R. Paradox) ආදී නම්වලින් හඳුන්වනවා.

හැබැයි, අවකාශයේ පවතින ( සැරිසරන ) විවිධ ආලෝක පදාර්ථ, අදෘශ්‍යමාන කිරණ – ශක්තීන් හා ශබ්ද දහරා නවීන විද්‍යා උපකරණවලට ඉඳහිට හසු වී තිබෙනවා. මේ අනුව, “ කිරිලියන් ෆොටෝ ග්‍රැෆි” වල විවිධ ආලෝක දහරා සටහන් වීම විශේෂයෙන් කැපී පෙනෙනවා.

එතකොට, සසර පැවැත්ම හා ජීවන රටා සමග විශ්වයේ ගමන් රටාවත් එකට බැඳී පවතිනවා ද ?

විශ්වයේ ඇති වන , නැතිවන, පවතින සෑම දෙයක්ම ජීවන රටා සමග විවිධ අයුරින් බැඳී තිබෙනවා. නිදසුනක් විධියට, පිරිසුදු වතුර වලකට දිය සායම් කුට්ටියක් දැමූ විට එම ජලය වර්ණවත් වෙනවා. ඊට දමනු ලබන ද්‍රව්‍යවල ප්‍රමාණය හා වේගය අනුව එම වෙනස සිදු වෙනවා. ජීවන රටාවල බලපෑමත් ඒ වගේමයි. බුදු දහමේ එය මෙසේ විස්තර කෙරෙනවා.

“චිත්තේන නියේතී ලෝකෝ” ලෝකයේ පැවැත්ම රඳා ඇත්තේ, එහි වෙසෙන සත්වයන්ගේ සිතිවිලි ධාරා අනුව බවයි, එයින් විස්තර වෙන්නේ. මිනිසුන් ඇතුළු විවිධ සතුන්ගේ හැසිරීම් රටා ආදිය ඒ සඳහා බලපානවා. මේ ක්‍රියාවලට තාරකා වලින්ද පාර කියනවා. එයින් සුබ අසුබ හෝරාවන් හා සංක්‍රාන්ති අවස්ථා පිළිබඳ විස්තර වෙනවා.

ඊට හේතුව, සත්වයන්ගේ ජීවන රටා මෙන්ම ඈත අහසේ ග්‍රහ තාරකා විසිර පවතින්නේ ද කිසියම් රටාවකට අනුව වීමයි. එම ග්‍රහ රටාවන් මගින් ජීවන රටාවන්ට ඇති කරන බලපෑම් පිළිබඳව ගණිතමය, ජ්‍යෝතිෂය, තාරකා විද්‍යා ශිල්ප ක්‍රම හා ආගමික ඉගැන්වීම් මගින් විවිධ විග්‍රහයන් ඉදිරිපත් කෙරෙනවා.

එහෙමනම්, මේ සක්වළ තුළ වෙසෙන අපිට විසල් විශ්වය සමඟ සම්බන්ධයක් නොමැතිව, හුදකලාවේ පැවතිය හැකි ද ?

මීට වසර 2600 කට පෙර, මේ පිළිබඳව අප බුදු රදුන් විග්‍රහ කරද්දී බමුණුවාදීන් වගේම වෙනත් ආගමික ලබ්දිකයින් විස්මයට පත් වුණා.” සක්වළ විභංගය “ ට අනුව කෙළ ලක්‍ෂයක් සක්වළ බුදු හිමියන්ගේ දර්ශන පථයට විෂය වෙනවා.

මේ විදියට ගණන් කරන්න බැරි තරම්, විවිධ ප්‍රමාණයේ සක්වළවල් විශ්වය පුරා විසිර පවතින බව, විස්තර වන බෞද්ධ මතය, නවීන විද්‍යාවෙන් ද අද තහවුරු වී තිබෙනවා. කෝටි ලක්‍ෂයක් සක්වළයන්හි සිය අණසක පතුරුවා “ රතන සූත්‍ර දේශනාව” කළ බව “කෝටිසත සහස්සේසු චක්ඛවාලේසු දේවතා” යන ගාථා පාඨයෙන් විස්තර කෙරෙනවා. ඒ අනුව මේ බුද්ධ අණසක හුදකලා මළානික නොවන සජීවී ලෝකවලට බලපැවැත්වෙන්නක් බව ඉතාම පැහැදිලියි.

බුදුහාමුදුරුවෝ වගේම මීට වසර හාරසියයකට ( 400 ) පෙර විසූ ඉතාලි ජාතික දාර්ශනික ජියෝඩානේ බෲනෝ ද මෙබඳු අදහසක් ඉදිරිපත් කෙරුවා. එනම් “ මේ විශ්වය ග්‍රහතාරකා රැසකින් හා ඒ වටා භ්‍රමනය වන ග්‍රහ ලෝක රැසකින් යුක්ත අතර ඒවායේ පෘථිවියට සමාන ජීව ලෝක ද අනන්තවත් ඇති බවයි. මෙවැනි අනාවරණයක් කිරීම නිසා බෲනෝ මිත්‍යා දෘෂ්ටියෙකු ලෙස හුවා දක්වා පසුව, ඔහු එල්ලා මරනු ලැබුවා.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න