කැබිනට් මණ්ඩලය ඇතුලේ මහින්දගේ ඔත්තුකාරයෙක්

පසුගිය බදාදා රාත්‍රියේ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිවෙසේ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක හමුවක් පැවැත්විණි. මෙම අවස්ථාවට දිනේෂ්, වාසු, ගම්මන්පිල, විමල්, ප්‍රසන්න ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම හමුවට හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පැමිණියේ විශාල ප්‍රමාණයේ බොක්ස් ෆයිල් එකක්ද රැගෙනය.
බැසිල් රාජපක්‍ෂ මහතා එලෙස ගෙනවිත් තිබුණේ වෙන මොනවාවත් නොව පසුගිය කාලය තුළ අලුත් බලවේගය සම්බන්ධයෙන් කළ සාකච්ඡාවල ප්‍රතිඵල ඇතුළත් කමිටු තීන්දුවය.
මේ අතරවාරයේ මහින්දට ආණ්ඩුවේ ශ්‍රී ල.නි.ප. ප්‍රබලයකුගෙන් දුරකතන ඇමැතුමක් එනු පිරිසට දැක ගන්නට ලැබිණි. ඒ එදිනම සවස ශ්‍රී ල.නි.ප.යේ ඉහළ පෙළේ නියෝජිතයන් අතර පැවැති රැස්වීමක් ගැන තොරතුරු කීමටය.
“ඉදිරියේදී තියෙන්නෙ පළාත් පාලන මැතිවරණයක් නෙවෙයි තියෙන්නෙ ජනමත විචාරණයක් කියලා එතැන කතා වුණා. විධායක ජනාධිපති ක්‍රමය මේ වෙලාවේ අහෝසි කළොත් මහින්ද රාජපක්‍ෂට වාසියි කියලත් කියවුණා” යැයි එම ඇමැතුමෙන් කියැවිණි.
දුරකතන සංවාදය අවසන් වූ සැණින් මේ කතාව මහින්ද පැමිණ සිටි පක්‍ෂ නායකයන්ටද කීවේය. නමුත් දුරකතන ඇමැතුම දුන් පුද්ගලයා කවුරුන්ද යන්න මහින්ද එහිදී කාටවත් කියන්න ගියේ නැත.
ඉන් අනතුරුව බැසිල් අලුත් බලවේගයේ තීන්දුව ඉදිරිපත් කළේය.
ඉදිරියේ තිබෙන ඕනෑම මැතිවරණයකදී වෙනමම තරග කරන්නත්, ඒකාබද්ධ විපක්‍ෂයේ මතය සමාජගත කළ හැකි ආකාරයෙන් සංවිධානය වන්නත් මෙහිදී තීරණය විය. ඉන් අනතුරුව සාකච්ඡා වූයේ අලුත් බලවේගය ලියාපදිංචි කරන ආකාරය පිළිබඳවය. කොම්පැනියක් විදියටද එන්.ජී.ඕ. එකක් විදියටද මේ සංවිධානය ලියාපදිංචි වන්නේ දැයි නීති කරුණු ගැන සාකච්ඡා කළ ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ අවසානයේ මැතිවරණ කොමිසමේ සභාපති ඉදිරියේ මෙම බලවේගය ලියාපදිංචි කිරීමට තීරණය කළහ.
පසුගිය බ්‍රහස්පතින්දා මහින්දානන්ද අලුත්ගමගේ සහ නාමල් රාජපක්‍ෂ යන මන්ත්‍රිවරුන් රහස් පොලිසියට කැඳවා තිබිණි. ඒ අවසරයෙන් රහස් පොලිසියට ගිය නාමල් එහි ගොස් පැය දෙකකට පසුව මහින්දට දුරකතන ඇමැතුමක් දුන්නේය.
‘තාත්තෙ මම එළියට ආවා’ යැයි නාමල් මහින්දට කියද්දී මහින්ද ඇහුවේ ‘මෙච්චර ඉක්මනට එළියට ආවද’ යැයි කියාය.
‘ඔව් ඔක්තෝබර් 03 උසාවි දානවා කිව්වා’ යැයි නාමල් කියද්දී මහින්ද කීවේ ඔක්තෝබර් මොකද? ආ… බජට් එක දානවනේ. ඒක නිසා වෙන්න ඇති” යැයි කියාය.
“මහි අයියා නම් මාත් එක්ක ආවා දැන් පේන්න නෑ.” යනුවෙන් නාමල් මහින්දානන්දව සොයමින් වටපිට බලද්දී “ඔතැන ඉන්න විදියක් නෑ. එයා අත්අඩංගුවට ගෙන උසාවි ගෙනිච්චා. ඔයත් එතැනට යන්න.” යනුවෙන් මහින්ද දුන් උත්තරය නිසා නාමල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දෙසට යද්දී ඒකාබද්ධයේ මන්ත්‍රිවරුන් රැසක් එහි පැමිණ සිටිනු දැක ගන්නට ලැබිණි. පසුව දින හතකට රිමාන්ඩ් කෙරුණු මහින්දානන්ද බැලීමට වැලිකඩ ගිය ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රිවරුන් ඔහු හමුවී කතා කොට එතැනින් නිවෙස් බලා විසිර ගියේ හෙට කවුරු බලන්න එන්න වෙයිද දන්නේ නෑ යැයි කියමිනි.
මේ අතර සිකුරාදා උදෑසන මහින්ද ලොහාන් රත්වත්තේ මන්ත්‍රිවරයාගේ බාල සොහොයුරු චානුක රත්වත්තේ බැලීමට වැලිකඩ බන්ධනාගාරයට ගොස් තිබිණි.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න