පොලිසියෙන් පැන ගිය හැටි ගැන බදගිරියේ තරුණයා කියන කතාව

මාව පොලීසියෙන් අත්අඩංගුවට අරගෙන ඇවිත් හම්බන්තොට පොලීසියේ කූඩුවට දැම්මා. මං ඒ වෙනකොට පොලිස් ස්ථානයේ රාජකාරි කරමින් හිටපු පොලිස් සැරයන්වරයාට කිව්වා මට බඩේ අමාරුවක් තියෙනවා ටොයිලට්එකට යන්න ඕනෑ කියලා. එතකොට පොලිස් රාලහාමි කිව්වා පොලිස් කූඩුව ඇතුළේ තියෙන ටොයිලට්එකට යන්න කියලා. මං දිගින් දිගටම බෑ කිව්වා. මං අමාරුවෙන් කෑගැහුවා මට පොලීසිය ඇතුළේ වෙන ටොයිලට් එකකට යන්න ඕනෑ කියලා. ඊට පස්සේ රාලහාමි මා පොලීසිය ඇතුළේ වෙනත් ටොයිලට්එකකට එක්කගෙන ගියා. මං ඇතුළට ගිහින් දොර වහගත්තාට පස්සේ තේරුණා පොලිස් රාලහාමි දොර ළඟින් ගියා කියලා. ඒ වෙලාවේ මං හිතුවා මං පොලීසියෙන් කොහොමහරි පැනගන්නවා කියලා.”

මේ පසුගිය දින කීපයේ මුළු රටේම අවධානය ලබාගෙන, දින 10කට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි හම්බන්තොට යහන්ගල පදිංචි තරුණයා කියන කතාවය. ඔහු මේ බව අනාවරණය කළේ හම්බන්තොට කොට්ඨාස අපරාධ අංශය හමුවේ සිදු කළ පාපොච්චාරණයේදීය.

හේ නමින් හම්බන්තොට බඳගිරිය පදිංචි ජී.ජී. ගයාෂාන්ය. ගයාෂාන් මුළු රටේම අවධානය ලැබගත්තේ මවුබිම වෙනුවෙන් පැරාඔලිම්පික් ගොස් පදක්කමක් දිනාගැනීමෙන් නම් නොවේ; හම්බන්තොට පොලිස් කූඩුවේ සිට, හදිසියේ අතුරුදන් වීමෙනි!

එසේ අතුරුදන් වූ ඔහු ගිය සිකුරාදා උදේ හිටිහැටියේම මාතර දික්වැල්ල දීඝවාලුකාරාම රාජමහා විහාරස්ථානයෙන් ප්‍රාදූර්භූත වන්නේය. එයද හරියටම නාට්‍යයක ජවනිකාවක් මෙනි. ගයාෂාන් සහ ඔහුගේ පවුලේ උදවිය මුළු රටම හමුවේ රඟ දැක්වු ජවනිකාව දැන් රට හමුවේ හෙළි වී හමාරය.

“ඊට පස්සේ මං ටොයිලට්එකෙන් එළියට ආවා. ඇවිත් මං හොඳ විපරමින් බැලුවා අර පොලිස් රාලහාමි ඉන්නවද කියලා. එයා වෙන වැඩක හිටියේ. එයාට මං ගැන කල්පනාවක් තිබුණේ නෑ. මං හිතුවා මේක තමයි පොලීසියෙන් පැනගන්න හොඳම අවස්ථාව කියලා. ඊට පස්සේ කාටත් නොදැනෙන්න මං පොලීසියේ ඇතුළේ පිටුපස දොරකින් එළියට පැනලා ගියා. මං කෙළින්ම ගියේ වීරකැටිය ප්‍රදේශයේ අපේ ඥාති ගෙදරකට. එදාම මං අපේ ගෙදරට කිව්වා මං පොලීසියෙන් පැනලා ආවා කියලා. මං වීරකැටියේ අර ඥාති ගෙදර ඉන්න බවත් කිව්වා. එදාම රෑ අපේ අයියලා දෙන්නෙක් ඇවිත් මාව බලලා ගියා. එතැනදී තමයි මං හිතුවේ තවදුරටත් හැංගිලා ඉන්නවා කියලා. ඒ වෙන කොට අපේ ගෙදර හැමෝම දන්නවා මං හැංගිලා ඉන්නවා කියලා. අපේ අම්මත් දන්නවා මං හැංගිලා ඉන්නවා කියලා.” ජී.ජී ගයාෂාන් තමන් ඇතුළු පවුලේ අය රඟ දැක්වු නාටකය හම්බන්තොට කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හමුවේ හෙළි කළේ එලෙසය.

කෙසේ වෙතත් මේ ‘අතුරුදන්ව’ සිටි තරුණයා කොළඹ පොලිස් මූලස්ථානයට බාර දෙන්නේ මාතර දික්ඇල්ල දීඝවාලුකාරාම රජමහා විහාරවාසී පූජ්‍ය අඹකොළවැව බුද්ධික හිමියන්ය.

“මේ තරුණයා සිකුරාදා උදේ 8.30ට විතර මට දුරකථනයෙන් කථා කළා. ඔහු ඉබාගාතේ ඇවිදිමින් සිටින බව මට කිව්වා. ඒ අනුව මා ඔහුට කිව්වා මගේ විහාරස්ථානයට පැමිණෙන්න කියලා. ගයාෂාන්ගේ පවුලේ අය එක්ක මගේ කිට්ටු හිතවත්කමක් තිබෙනවා. ඔහුගේ වැඩිමල් සහෝදරයා මාත් එක්ක විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබලා තිබෙනවා. උදේ 9.00 විතර වෙනකොට මේ තරුණයා අපේ විහාරස්ථානයට ආවා. ඊට පසුව මං ඔහුගේ මවට දුරකථන ඇමැතුමක් දී විහාරස්ථානයට ගෙන්වාගත්තා. ඉන් පසුව තමයි මං නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයායට දුරකථනයෙන් කතා කරලා තරුණයා මා භාරයේ ඉන්නවා කිව්වේ. එතුමා තමයි පොලිස් මූලස්ථානයට පැමිණීමට පොලිස් ජීප් රථයක් විහාරස්ථානයට එව්වේ.” පූජ්‍ය අඹකොළවැව බුද්ධික හිමියන් මාධ්‍යයට කිව්වේ එවැනි කතාවකි.

ගයාෂාන් තරුණයා කොළඹ පොලිස් මූලස්ථානයට බාර වීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගැනිණි. ඉන් පසුව ඔහුව මාතර ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ඒ.පී. ගුණවර්ධන මහතා හමුවට ඉදිරිපත් කෙරිණි. ඒ ගයාෂාන්ට පොලිස් අත්අඩංගුවේ සිටියදී යම් පහර දීමක් සිදුව තිබුණේද යන්න සොයා බැලීමටය. එහෙත් ගයාෂාන් සියුම් ලෙස පරීක්ෂා කළ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා අධිකරණයට වාර්තා කළේ කිසිදු පහර දීමක් සිදුව නැති බවය.

ඒ අනුව පොලීසිය ගයාෂාන්ට පහර නොදුන් බව ඉඳුරාම අනාවරණය වී තිබේ. ඉන් පසුව ගයාෂාන් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ අනුව පොලිස් අත්අඩංගුවෙන් පැන යෑම සහ තොරතුරු වසන් කිරීමේ අරමුණින් සිතාමතා සැඟවී සිටීම සම්බන්ධව තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.ඩී.ඒ. ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මේ වන විට පරීක්ෂණ කරමින් සිටී.

ඒ අනුව පොලිස් අත්අඩංගුවෙන් පැන යෑම සහ ඉන් පසු සිතාමතා ගයාෂාන් සඟවා සිටීම සම්බන්ධව මේ වන විට පරීක්ෂණ පැවැත්වේ. එමෙන්ම හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා වෙනුවට දෙදෙනකු අත්අඩංගුවට ගත් බවට වැරැදි සටහන් පොලිස් පොතේ යෙදීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ට එරෙහිව වෙනම පරීක්ෂණයක් පැවැත්වේ. ඒ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා යටතේය.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න