බුදුරදුනට ලැබුණු අවසාන දානය මතභේදාත්මක ඇයි?

හැට හැත්තෑව හා අසූව දශකයේ මෙරට ජනප්‍රිය ම හා එකම ශ්‍රව්‍ය මාධ්‍ය වූයේ ගුවන් විදුලියයි. එදා ගුවන් විදුලි ධර්ම දේශනයේ කීර්තිමත් විචිත්‍ර ධර්ම දේශක වහන්සේලා දෙනමක් සිටියෝය. ඉන් එක් වහන්සේ නමක් දැන් අප අතර නැත. ඒ කොටිකාවත්තේ සද්ධාතිස්ස මහ නාහිමිපාණන් වහන්සේය.

අනෙක් වහන්සේ ගල්කිස්ස ධර්මපාලාරාමාධිපති අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේය. දැනට 83 වැනි විය සපුරන උන්වහන්සේගේ මතක ගබඩාව අතිශය පුළුල්ය. චමත්කාරජනකය. අපූරු අත්දැකුමින් ගහණය.

මේ සුන්දර එමෙන් ම දුහුනන් දැනුම් සඳහා ප්‍රයෝජනවත් කරුණු එකින් එක කටවහර ආධ්‍යානයෙන් සිළුමිණ පාඨකයන් වෙත පෙළ ගස්වන්නට අපි බලාපොරොත්තු වෙමු. මේ ඒ ලිපි පෙළේ පළමුවැන්නයි. කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් දැන් මා අබිමුවය.

අමෙරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ පන්සලේ මිට අවුරුදු ගණනාවකට පෙර මට සුවිශේෂ බණක් තිබුණා. සුදු මහත්වරු නෝනලා විතරක් නොවේ අපේ දේශීය උගතුන් බොහොමයක් එතැන හිටියා. මාතෘකාව වුණේ සුකර මද්දව ධර්ම දේශනාවයි.

ඇත්තට ම බුදුරජාණන් වහන්සේ තමන්ට ලැබුණු අන්තිම දානයේදි නැත්නම් චුන්දකර්මාර පුත්‍රයා කළ අන්තිම බුද්ධ පූජාවේදී බුදුරදුන් ඌරු මස් වැළඳුවාද? නැත්නම් ඒ ඌරු මස් නොව වෙනත් හතු විශේෂයක්දැයි මා මෙහිදී හොඳින් පැහැදිලි කළා. ඒත් ධර්ම දේශනාව අවසානයේ එහි පැමිණ සිටි ගිහි පැවිදි දේශීය, විදේශීය උගතුන් මේ ධර්ම දේශනාව අරබයා මගෙන් ප්‍රශ්න කළා. මට විශාල සංවේගයක් උපන්නා.

මේ සංවේගය මට උපන්නේ පුංචි දවසේදී ම මහා පරිනිබ්බාන සූත්‍රය කියැවූ දවසෙමයි. මං එකින් එක සාර්ථකව පිළිතුරු දුන්නා. අන්තිමට ඒ අය සාධුකාර දුන්නා. මං දැන් ඒ කතාව සම්පූර්ණයෙන් කියන්නම්. ඊටත් ඉස්සෙල්ලා ඒ කාලෙ දඹදිව පසුබිම විග්‍රහ කරගන්නට ඕනෑ.

තථාගත බුදුපියාණන් සිද්ධාර්ථ ගෞතම නමින් ලොව පහළ වූ කාලයේ එනම් ක්‍රිස්තු පූර්ව සවැනි සියවස වන විට බ්‍රාහ්මණ වංශිකයෝ සකල දඹදිව පුරාම ආගමික ඒකාධිකාරයක් පිහිටුවාගෙන සිටියා. යාග කිරීම, යාග කරවීම, ඉගෙනීම, ඉගැන්වීම ආදි කාර්ය භාරය ඔවුන් සතු කරගෙන ම හිටියා. ඒ අතර කෘෂිකර්ම කටයුතුත් ඔවුන් කළා.

මේ අතර බමුණන්ගේ මේ ඒකාධිකාරය බිඳ දමන්නට ක්ෂත්‍රිය වංශිකයෝ ද ආගමික ශාස්තෲන් සේ පෙනී සිටින්නට වුණා. එහි මූලිකයා වුණේ නිගණ්ඨ නාථ පුත්‍ර ශාස්තෘවරයා. එතුමා බුදුරජාණන් වහන්සේට වඩා වසර පහකට කලින් ක්ෂත්‍රිය වංශික ශාස්තෘවරයෙක් වශයෙන් පෙනී සිටියේ. ඒත් ක්ෂත්‍රිය වංශයෙහි ම උපන් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වය ට පත්වීමෙන් පසු උන්වහන්සේගේ දර්ශනය තමයි අතිප්‍රබල ආගමික සංවිධානය වුණේ.

බෞද්ධ දර්ශනය නැඟී එන විට ප්‍රධාන වශයෙන් පහර වැදුණේ බ්‍රාහ්මණ ධර්මයට. එනිසා ම බමුණෝ බුදු දහමට විරුද්ධව නැඟී සිටියා. බුදුරදුන් තුළ පැවැති අසාමාන්‍ය පෞරුෂත්වය නිසා උන්වහන්සේ මැඬපැවැත්වීමට බමුණන්ට නොහැකි වුණා.

බුද්ධ පරිනිර්වාණයත් සමඟ ම බමුණු බලය යළිත් හිස ඔසවන්න පටන් ගත්තා. බුදුරදුන් පිරිනිවන් පෑම නිසා අඬන වැළපෙන භික්ෂූන් අමතා මහලු වී පැවැද්දට පත් සුභද්‍ර බුඩ්ඩපබ්බජිතයා අලං ආවුසෝ මා සෝචිත්ථ, මා පරිදේවිත්ථ, සුමුත්තා මයං තේන මහා සමණේන, උපද්දුතා ච හෝ ම ඉදං වෝ කප්පති. ඉදං වෝන කප්පතීති. ඉද්‍රනි පන මයං යං’ ඉච්ඡස්සාම තං කරිස්සාම යං න ඉච්ජිස්සා ම න තං කරිස්සාමාති”

ඇවැත්නි, ශෝක කිරීමෙන් වැඩක් නැත. ශෝක නොකරන්න. නොවැළපෙන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි සම්පූර්ණයෙන් ම මිදුණේ වෙමු. මෙය කැපය. මෙය අකැපය. යන පැනැවීම් නිසා අපි උන්වහන්සේගෙන් මෙතෙක් උපද්‍රවයට පත්වීමු. දැන් අපට කැමැති දේ කළ හැකිය.

අකමැති දේ නොකළ හැකියැයි කළ ප්‍රකාශය ගැන විමසා බැලීමේදී පෙනී යන්නේ සුභද්‍ර බූඩ්ඩ පබ්බජිතයා ද බ්‍රාහ්මණයන්ගේ ඉත්තෙක් වූ බවයි. දඹදිවින් බුදු දහම තුරන් වීම පිළිබඳව විද්වතුන් විසින් විවිධ මත ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර බමුණු සමාජය විසින් සාමාන්‍ය ජනතාව අතර අවමානයට ලක් කිරීමේ අරමුණ ඇතිව බුදුන් කෙරෙහි පැවැති භක්තිය නැති කිරීම සඳහා හිතාමතාම අන්තිම දානය දුන් සුකර මද්දවය පිළිබඳව කතාව ද ගොතා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේට අන්තිම බුද්ධ පූජාව පිරිනැමුවේ පාවා නුවර සිටි චුන්දකර්මාර පුත්‍රයා. ඔහු එසේ මෙසේ කෙනෙක් නොවේ. රන් රිදී මුතු මැණික් ව්‍යාපාරිකයෙක්. මහා බුදල්කාරයෙක්. මේ චුන්ද කර්මාන්තකරුවාණන් යටතේ‍ සේවය කිරීමෙන් යැපුණු ගම්මාන තිස් දෙකක වැසියන් සිටි බව කියැවෙනවා.

ඔහු රන් රිදී ආභරණයන් මුතු මැණික් ඔබ්බවා තනයි. එය ඉතා ම උසස් අයුරින් කළ නිසා ම ඔහුගෙන් අගනා ආබරණ ගෙන යාමට දඹදිව ඉතා දුර බැහැර ප්‍රදේශවල ජනතාව ද ආවා. එතුමා අවංක විශ්වාසදායි බව ඉන් පේනවා.

චුන්ද කර්මාර පුත්‍ර සිටුවරයා තම සේවකයන්ටත් නිසි අයුරින් සැලකූ කාටත් හිත සුව සැලසූ සැදැහැවත් බෞද්ධයෙක් ලෙසත් පෙනී සිටියා. එතුමා සෝවාන් ඵලයට පත්ව සිටි උත්තමයෙක්. මේ ඌරන් මරමින් සිටි චුන්ද සූකරයා නොවෙයි. චුන්ද කියන නම ආ පමණින් නරකය ගන්නත් එපා. චුන්ද පරිත්ත කියා පිරිතක් තියෙනවා. චුන්ද කියලා රහතන් වහන්සේ නමකුත් හිටියා.

බුදුරජුන් පිරිනිවන් පාන්නට වැඩම කළේ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයටයි. හතළිස් පස් වසරක් ලෝක සත්ත්වයා වෙනුවෙන් දම් දෙසූ උන්වහන්සේ බුද්ධත්වයෙන් පන්සාළිස් වසරේ නවම් මස පෝදා අදින් තුන් මසක් ගෙවී ගිය දින වෙසක් පෝදා මාගේ පිරිනිවීම සිදුවන්නේ යැයි මාස 3 කට පෙර චාපාල‍චේතියේදී ප්‍රතිඥා දුන්නා. අනතුරුව විශාලා මහනුවරින් පිටත්ව දිගු ගමනක් වූ අම්බගාම – ජම්බුගාම – හස්ථිගාමාදිය හා ප්‍රසිද්ධ නගරයක් වූ භෝග නුවර ද පසුකොට රජගහ නුවර හරහා පිරිනිවන් පෑමට නියමිත දිනට කලින් දා පාවා නුවරට භික්ෂු සංඝයා වහන්සේත් සමඟ වැඩම කළා.

එදින දවල් නගරාසන්න ගමක සැදැහැවතුන් පිළිගැන්වූ දානය වළඳා සුළු විවේකයක් ගත්තා. අනතුරුව ඉරු අවරට යනකොට පාවා නුවර පිහිටි කලක සිට උන්වහන්සේ දන්නා කියන ආ ගිය තැනක් වූ චුන්ද ව්‍යාපාරිකයා‍ ගේ සුවිසල් අඹවත්තට වැඩ ම කළා. මේක අක්කර පනහක් පමණ විශාලයි. අඹ ගස්වලින් පිරුණු උද්‍යානයක්. මෙය චුන්දකර්මාර ප්‍රභූවරයාගේ පෞද්ගලික විවේකය පිණිස සකස් කරන ලද්දක්. එදා දඹදිව ප්‍රභූන් තම තමන්ගේ විවේකය පිණිස මෙබඳු කුඩා උද්‍යාන සකස් කරගෙන තිබුණා.

බුදුරජාණන් වහන්සේ මහ සඟ පිරිසත් සමඟ වැඩම කරවනු දුටු උද්‍යාන පාලක උන්වහන්සේ ගෞරවයෙන් පිළිගත්තා. උයන මැද පිහිටි විවේක ශාලාවෙහි වැඩ හිඳුවනු ලැබුවා. මහා සංඝයාට ද පහසු පරිදි ගස් යට තැනින් තැන පිහිටි කූටාගාරයන්හි හිඳීමට පිළියෙල ද කළා. එහෙම කරලා තම කම්කරු සගයන්ට මෙසේ කීවා.

සගයනි, මේ පැමිණියේ හෙට පිරිනිවන් පාන බවට රට වැසියා අතර කට කතා පැතිර ගොස් ඇති, ශාක්‍ය සිංහවූ බුදුරජාණන් වහන්සේය. චුන්ද කර්මාර පුත්‍ර තුමන්ගේත් අපගේත් ශාස්තෲන් වහන්සේය. මා මහා චුන්දකර්මාරතුමන් වෙත ගොස් මුන්වහන්සේගේ පැමිණීම දැනුම් දී එනතුරු ඔබ කවුරුත් සියලු දෙනා වහන්සේට අවශ්‍ය සිසිල් පැන් ආදිය පිළියෙල කර දිය යුතු යැයි පැවරුවා. ඒ උසීර නම් උයන් පාලකයා වහා වහා ම චුන්ද තුමන්ගේ ව්‍යාපාරික ස්ථානයට ගියා.

මෙපුවත යටහත්ව දැන්වුවා. චුන්ද කර්මාර පුත්‍රතුමා උසීර, ඔබ ගෙනාවේ ඉතා අගය කළ හැකි පුවතක්! ඔබ දැන්මම, මේ කීප දෙනකුන් සමඟ මගේ නිවසට යන්න. මේ ප්‍රවෘත්තිය සැදැහැවත් මගේ බිරිඳට ද දන්වන්න. නොබෝ වේලාවකින් අඹ, දඹ, මිදි, සිසිල් ගිලන්පස ඒ වැඩ ම කළ මහ සඟනට ම සෑහෙන පරිදි ගෙනෙන ලෙස ඇයට මගේ වචනයෙන් කියන්න. මගේ දරුවන්ට ද මව් සමඟ ගිලන්පස රැගෙන එන ලෙස දන්වන්න. ඔබ පළමුව බුදුරදුන්ට පමණක් සෑහෙන තරම් මුද්‍රික (මිදි) හා වෝච (උගුරැස්ස) පැනක් සකස් කරගෙන එන්න. මම දැන් සැණෙකින් බුදුරදුන් වෙත යන්නෙමි කියා චුන්ද තුමා අඹ වනයට පිටත් වුණා.

උන්වහන්සේ දුටු විගස ම භාග්‍යවතුන් වහන්සේගේ සි‍රිපතුල් බදාගෙන හඬන්නට වුණා. “ස්වාමින් බුදුරජාණන් වහන්ස. ඔබ වහන්සේ හෙට දවසෙහි පිරිනිවන් පානා කියන ආරංචිය අපට දෙමසකට කලින් දැනගන්නට ලැබුණා. “ලෝකේ සෑම දෙයක් ම අනිත්‍යය” යන ඔබ වහන්සේගේ ඉගැන්වීම අපි දන්නවා! එසේ වුවත් බුදු පියාණනි, මේ දුක අපට දරා ගන්නට බෑ. මට වඩා බලවත් රාජකීයයෝ ද – ධනවත් අය ද මේ පාවා නුවර සිටිනවා. වෙනත් අවස්ථාවලදි ඔබ වහන්සේ ඔවුන්ගේ ඒ උද්‍යානවලට ද වඩිනවා. ඒ කොතැනකටවත් නොගොස් අන්තිම දිනය වූ අද මා වෙත පැමිණීම මට මහා සැනැසිල්ලක්! ඒ ටිකයි මට ඇති එකම සහනය. නැත්නම් මා අද දුකින් රෝගාතුර වෙනවාට කිසිම සැකයක් නෑ. මේ වචන කියමින් චුන්ද කර්මාර දුක් අ‍ඳෝනා නැඟුවා.

මේ අතර බුදුන්ට උසීර පාලකයා ගෙනා මිදි යුෂ පිළිගැන්වුණා. මහා සංඝයාට චුන්දකර්මාර බිරිඳ හා දූ දරුවන් හා සේවකයන් ගෙනා ගිලන්පස පිළිගැන්වුණා. බුදුරජාණන් වහන්සේ සියලු දෙනාට ඉතා මනහර අනුශාසනාවක් කළා. ඊළඟට බුදුන් නැවත වැඳ පිදූ චුන්දකර්මාර මෙහෙම කීවා. “බුදු පියාණනි, මා හෙට උදේට විශේෂ බෙහෙත් කැඳක් යාගුවක් පිළියෙල කරවමි. හෙට දවාලට මේ දහසකට ආසන්න මහා සංඝයාටත් දානය පිළියෙල කරවමි.

භාග්‍යවතුන් වහන්ස, දැන් ඔබ වහන්සේ ශාරීරික වශයෙන් දුර්වල බව පෙනෙනවා! දැනට මාස ගණනකට පෙර කුසේ අමාරුවකින් පෙළුැණු බවත් දැනගන්නට ලැබුණා! බේළුව ගමේ දී මාස නවයකට පෙර ඒ වැළඳුණු අසාධ්‍ය කුසේ අමාරුවෙන් පසු ඔබ වහන්සේ ආහාරයෙන් ප්‍රවේශම් වූ බවත් මා දන්නවා. හෙට පිරිනිවන් පානා දිනය බැවින්, මගේ පෙර පිනක මහිමය නිසා ලද මේ අනගි අවස්ථාවෙන් මා ප්‍රයෝජන ගත යුතුමයි. එනිසා බුදු පියාණනි, හෙට දවාලට මා විසින් වෛද්‍ය උපදෙස් ඇතිව විශේෂ ඖෂධීය ආහාරයක් පිළියෙල කරමි. මට පින් පිණිස මේ ආරාධනය පිළිගනු මැනැවි යැයි ඉල්ලා සිටියා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න