152 වන දම්පල් සැමරුම අදයි

”දම්පල් චින්තනය බලගන්වමු” යන තේමාව පෙරටුකොටගෙන හෙළ තුරුණු සවිය සංවිධානය කරන අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ජන්ම දින සැමරුම් උළෙල අද  උදෑසන 9.00 ට හෝමාගම, ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල පවැත්වෙයි.

මේ ශ්‍රී ලාංකිකයින් හා බෞද්ධයින් වෙනුවෙන් මහගු කැපවීමක් සිදුකළ අනගාරික ධර්මපාලතුමන්ගේ 152 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ලංකා ඒ නිවුස් තබන සටහනක්.

බුද්ධගයාව කලක් බෞද්ධයන්ට අහිමි ව ගොස් තිබිණි. ඒ දහනම වන සියවසේදීය. එහෙත් අනගාරික ධර්මපාල නමැති අභීත යුගපුරුෂයාණන්ගේ අප්‍රතිහත ධෛර්යය එය අපට යළි උරුම කර දුන්නේය.

අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වන ජන්ම දිනෙන් 151 වන ජන්ම දිනට පා තැබෙන මේ මොහොතේ අප ඒ අතීත ආවර්ජනයට යා යුතුය. අද සාමයේ නගරය නමින් හඳුන්වාදෙනු ලබන බුද්ධගයාවේ උරුමය අපට හිමි වීම පිළිබඳව ඇත්තේ දීර්ඝ කතාවකි.

‘අනගාරික ධර්මපාල’ යන චරිතය කරළියට පැමිණෙන්නේ වසර 300ක පරාධීනත්වයකින් පසු ලක්දිව මුළුමනින්ම යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ සිරිත්-විරිත් ඇවතුම්-පැවතුම්වලට යටත්ව, ඔවුන්ට ඇවැසි පරිදි දිවි ගෙවීමට බොහෝ සිංහලයන් හුරු වූ බවක් පෙන්නුම් කළ කාලවකවානුවකය.

මෙවන් සමයක දකුණු පළාතේ දොන් කරෝලිස් හේවාවිතාරණයන් කොළඹට පැමිණෙන්නේ මල්ලිකා විජේවර්ධන මහත්මියත් සමඟිනි. මේ දෙපළගේ දරුවකු ලෙස මෙලොව එළිය දකින දොන් ‍ඩේවිඩ්ටද එකල පැවැති බටහිර අනුකරණයෙන් ගැලවීමට හැකියාවක් ලැබුණේ නැත.

ලී බඩු ව්‍යාපාරිකයකු වූ හේවාවිතාරණ මහතා තම පුතු කොටහේනේ දීපදුත්තමාරාමයේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට දැක්වුවද බෞද්ධයකු ලෙස ඒ අවස්ථාවේ ඔහු සමාජගත කළ නොහැකි විය. හෙතෙම එකල සමාජ සංස්කෘතිය අනුව යමින් කොටහේනේ පල්ලියට ගොස් තම පුතු ඩේවිඩ් නමින් භෞතීස්ම කරවූයේය.

මේ වකවානුවේදී සිංහල බෞද්ධ හෝ දෙමළ පුරවැසියන් නොසලකා හරින තත්ත්වයකට පත්ව තිබිණි.

එසේම මේ වන විට ලන්දේසීන් විසින් මෙරටට ගෙන්වන ලද මුද්‍රණාල සියල්ලම කිතුනු දහම ප්‍රචාරයට යොදාගෙන තිබුණු අතර, එමඟින් බුදු දහමට නිගරු වන දේ නිරතුරු ප්‍රචාරය කරන ලදි. ඊට පිළිතුරු සැපයීමට හෝ ඒ අසත්‍ය විවේචනයන්ට එරෙහිව නැඟී සිටීමට බෞද්ධයන්ට මුද්‍රණ මාර්ගයක් නොතිබීම විශාල අඩුපාඩුවක් විය. ඉංග්‍රීසි ආණ්ඩුව යටතේ බැප්ටිස්ට් නිකාය, වෙස්ලියන් නිකාය, ප්‍රොතෙස්තන්ත නිකාය, එංගලන්ත සභාව ලෙස ප්‍රධාන නිකායයන් හතරක් ලංකාවට පැමිණීම නිසා මේ තත්ත්වය තවත් උග්‍ර විය. මේ යටතේ කතෝලික පාසල් ශීඝ්‍ර වර්ධනයකට ලක් විය. විශාල සංස්කෘතියක වෙනස්කම් රට තුළ සිදු විය.

එසේ වුවත් මේ කාලයේ යටත්විජිතවාදයට විරුද්ධ උගත් කණ්ඩායමක අවදි වීමක්ද දකුණු ලකෙන් දක්නට ලැබිණි. ඒ අතර හික්කඩුවේ සුමංගල, වස්කඩුවේ සුභූති, බුලත්ගම ධම්මාලංකාර, දොඩන්දූවේ පියරතන, මිගෙට්ටුවත්තේ ගුණානන්ද වැනි වියත් හිමිවරුද බටුවන්තුඩාවේ පඬිතුමා ඇතුළු ගිහි පිරිස්ද වූහ. පංච මහා වාදයන්ද ඇරඹිණි.

එකල සත්‍ය ගවේෂණයේ යෙදී සිටි පරම විඥානාර්ථ වාදියකු වූ කර්නල් ඕල්කොට් තුමාටත් මේ තතු දැනගන්නට ලැබුණු අතර, ඔහුට සහාය දුන් බ්ලැවැට්ස්කි මැතිනියත් සමඟ ලංකාවට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ගාලු වරායෙන් මෙරටට පැමිණි ඕල්කොට් තුමා කොළඹට පැමිණ කොටහේනේ දිපදුත්තමාරාමයේදී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිද හමු විය.

වයස අවුරුදු 16ක් වූ ඩේවිඩ් හේවාවිතාරණ විසින් පිළිගැනීමේ කතාව පරිවර්තනය කරන ලදි. පසුව ඕල්කොට් තුමා දිවයින පුරා ගමන් කළ සෑම ස්ථානයකටම ගොස් එතුමාගේ කතා සියල්ල පරිවර්තනය කරන ලද්දේ ඩේවිඩ් තරුණයා විසිනි. ඕල්කොට් තුමාගේ සංකල්පත් සමඟ බද්ධ වූ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා විශේෂයෙන් මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විරුද්ධව පාසල් ආරම්භ කළ යුතුය යන මතයට පැමිණිණි.

ඒ අනුව පරම විඥානාර්ථ සමාගම මුල් වී බෞද්ධ පාසල් අරඹන ලදි. මේ අතර තම නම වන ‘ඩේවිඩ්’ යන්න වෙනුවට ‘ධර්මපාල’ යන සිංහල නම ගත් ඔහු ඉන්දියාව බලා පිටත් විය. ඒ 1890 වසර වූ අතර, ඒ වන විට ධර්මපාලතුමාගේ වයස අවුරුදු 26කි. එහිදී, බුද්ධගයාව හින්දූන්ට යටත්ව ඇති අන්දම දැක මහත් සේ සංවේගයට පත් එතුමා තමන් මෙතන බේරාගන්නෙමියි අධිෂ්ඨානයක් ඇති කරගත්තේය.

ඔහු යළිත් ලංකාවට පැමිණෙන්නේ මේ උරුමය ආරක්ෂා කරගැන්මට නම් අන්තර්ජාතික බෞද්ධ සමිති සමාගම් සංවිධානද එක් කරගත යුතුය යන මතයෙනි. ඒ අනුව විදයෝදය පිරිවෙනේ සිට එතුමා හික්කඩුවේ සුමංගල හිමිගේ මූලිකත්වයෙන් මහාබෝධි සමාගම පිහිටුවූ අතර, ඒ සමඟම ‘ද බුඩිස්ට්’ සඟරාවද ඇරැඹිණි. ‘බුද්ධගයාව බේරාගනිව්! සිංහලයිනි එක් වවු!’ යන්න එතුමාගේ සටන්පාඨය විය. බුද්ධගයාව බේරාගැනීම සුළුපටු කරුණක් නොවීය.

බුරුම පන්සලක නැවතී සිටි එතුමා ලක්දිවෙන් භික්ෂූන් එරටට වැඩම කරවා ගත්තේය. එසේ වුවත් බුද්ධගයාව අත් කරගෙන සිටි මහන්තා එහි සිට දැඩි විරෝධයක් පාන්නට විය. භික්ෂූන් වහන්සේ එළවාදැමීමට ඔහු පියවර ගත්තේය. බුදු පිළිම ඉවත් කරන ලදි. මේ අවස්ථාවේ මහාබෝධි සමාගම මඟින් අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය දැඩි මානව හිතවාදී කැපවීම උද්‍යෝගය දුටු ඉන්දීය ජාතික ව්‍යාපාරයේ සිටි නායකයෝ තම ඉල්ලීම් හකුළාගැනීමට කැමැත්ත පළ කළහ. මේ අතර පසු කාලීනව එරට ජනාධිපතිවරයකු වූ රාජේන්ද්‍ර ප්‍රසාද් වැනි නායකයන්ද සිටි බව අමතක නොකළ යුතු වේ.

මේ අතරම ලෝක ආගම් සම්මේලනය ඉන්දියාවේ පැවැත්වීමට නියමිත වූ අතර අනගාරික ධර්මපාලතුමාට එහි යෑමට අවස්ථාව හිමි විය. එහිදී ධර්මපාලතුමා කළ කථාවට විශාල ප්‍රසිද්ධියක් ලැබිණි. අමෙරිකානු පුවත්පත් එය වාර්තා කර තිබුණේ ක්‍රිස්තුන් වහන්සේ යළි පහළ වූවාක් මෙන් යන අදහසිනි. ධර්මපාලතුමාද රැවුළ වවා කොණ්ඩය පසුපසට දිගට වවා තිබීමත් ඒ සඳහා යම් හේතුවක් වන්නට ඇත. එතුමා තම කථාවේදී පැහැදිලිවම පැවසුවේ කිතුදහමට තමා කිසිදු ආකාරයකින් නිගරු නොකරන බවත් එයින් බොහෝ දේ ඉගැනීමට ඇති නමුත් ආගමේ නාමයෙන් සිදු කරනු ලබන ආගම් මාරු කිරීමට තමා විරුද්ධ බවත්ය.

ලෝක ආගමික සම්මේලනයෙන් පසු නැව් මඟින් ගමන් ගත් පිරිස හොනලුලු දූපතේදී නැවැත්වූ අවස්ථාවේදී ලෝක ප්‍රසිද්ධ දානපතිනියක වූ මේරි ෆෝස්ටර් මැතිනිය ධර්මපාලතුමාට හමු විය. ධර්මපාල තුමා ගැන අසා තිබූ ඇය එතුමාගේ සියලු කටයුතු සඳහා සහාය දීමට ඉදිරිපත් වූවාය.

ඇය හමු නොවන්නට අනගාරික ධර්මපාලතුමාට ලන්ඩන් විහාරය, බර්ලින් විහාරය, මූල ගන්ධකුටි විහාරය ඇරැඹීමට හෝ මහාබෝධි සමාගමේ කටයුතු ඉදිරියට ගෙන යෑමට හෝ ‘සිංහල බෞද්ධයා’ පුවත්පත ආරම්භ කිරීමට හෝ හැකියාවක් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබිණි. දිවයින පුරා බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ දියත් කිරීමට ධර්මපාලතුමාට හැකියාව ලැබුණේද ෆෝස්ටර් මැතිනිය නිසාය.

යටත්විජිතවාදයෙන් මිදීමට නම් දේශීය ආර්ථිකයකට මුල්තැන දිය යුතු බවද ධර්මපාලතුමා හොඳින් අවබෝධ කරගෙන සිටියේය. ඒ සඳහා දේශීය ශ්‍රම බළකායක් ඇරැඹිය යුතු බවද එතුමා තේරුම් ගත්තේ ය. බොහෝ දෙනකු නොදන්නා මුත් දේශීය පේෂ කර්මාන්තයේ නියමුවා වන්නේ අනගාරික ධර්මපාලතුමායි. එමෙන්ම ගිනිපෙට්ටි කර්මාන්තයත් එතුමා විසින් ආරම්භ කරන ලදි.

විශේෂයෙන්ම මෑතක් වන තුරුම සුප්‍රසිද්ධ වූ ‘අලියා’ ගිනිපෙට්ටි කර්මාන්තශාලාව ධර්මපාලතුමා ඇරඹූවකි. එතුමා පිඟන් කර්මාන්තය වැනි දේශීය කර්මාන්තයන්ද ඇරැඹීමට මුල් විය. කිසිදු විටක බුදුදහමට පටහැණි කර්මාන්ත ඇරැඹීමට එතුමා කිසිවිටක කටයුතු නොකළ බව මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය යුතුය. ජපානයට පිරිස් යවා එහිදී දැනුම වැඩි කරගෙන නව මාවතක් සකස් කිරීමටද අනගාරික ධර්මපාලතුමා විසින් කටයුතු කරන ලදි.

මේ අතර මෙරට ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇරැඹුණු අතර සිංහල පාර්ශ්වයෙන් ඒ සඳහා ඉදිරිපත් වූයේ මාකස් ප්‍රනාන්දු මහතාය. දෙමළ පාර්ශ්වයෙන් පොන්නම්බලම් රාමනාදන් මහතා ඉදිරිපත් විය. ධර්මපාලතුමා එහිදී පෙනී සිටියේ රාමනාදන් මහතා වෙනුවෙනි.

මෙරට ජාතික නිදහස ඉල්ලා ජාතික නිදහස වෙනුවෙන් ජාති මාමකත්වය වෙනුවෙන් සටන් කළ රාමනාදන් මහතා මිස, සිංහල වූ පමණින් මාකස් ප්‍රනාන්දුට ඡන්දය දීම ගැන පමණක් ධර්මපාලතුමා කල්පනා කළේ නැත. ඔහුට වැදගත් වූයේ ජාතික සටනට නායකත්වය මූලිකත්වය දුන් පුද්ගලයා රැකගැනීමයි. ධර්මපාලතුමාගේ ජාතිවාදී නොවන ජාතිකවාදී බව එයින් මනාව පැහැදිලි වේ. මේ අතර එංගලන්තයට යවන ජාතිකත්ව මණ්ඩලයේ නායකත්වය ගත යුත්තේ කවුරුද යන කරුණ ගැනද මතගැටුමක් ඇති විය. සැමගේ මතය වූයේ සිංහල බෞද්ධයකු මේ සඳහා යොමු කළ යුතු බවයි.

එහෙත් ධර්මපාල තුමා කියා සිටියේ සිංහල කතෝලිකයකු මේ සඳහා යැවිය යුතු බවයි. පසුව කෝට්ටේ වීරයා යන විරුදාවලිය ලත් ඊ. ඩබ්ලිව්. පෙරේරා ඒ සඳහා යැවීමට නිර්දේශ විය. ඒ ධර්මපාලතුමාගේ අදහස මල්ඵල ගැන්වීමක් ලෙසිනි. ‘සමානාත්මතාව’ වචනයට සීමා නොකිරීම එතුමාගේ පිළිවෙත විය. සෑම පිරිසකටම සමානව අයිතීන් හිමි විය යුතුය යන්න එතුමාගේ දර්ශනය වූ බව පෙනේ.

සිංහලයන් වෙනුවෙන් පමණක් නොව, සැම දෙනා වෙනුවෙන් පෙනී සිටි එතුමා බුද්ධගයාව බේරාගත්තා පමණක් නොව, ගව මස් කෑමේ ආදීනව සම්බන්ධයෙන්ද දිවයින පුරා ගොස් දැනුවත් කළේ ය.

ධර්මය හෝ ආගම ගැන කරුණු ජනතාවට කියා දෙනවාට වඩා යහපත් ජීවන ප්‍රතිපත්තියකට ජනතාව සකස් කිරීමට එතුමා මුල් තැනක් දී ඇති බව පැහැදිලිය. බෞද්ධයන් ට ඉතා වැදගත් සාරානාත් බොදු උරුමය රැකගන්න සාරානාත් ගිය එතුමා නැවතීමට තැනක් නොමැතිව දින 7ක් නුග ගහක් උඩ රාත්‍රිය ගත කළ බව ද පැවසේ. සාරානාත් හි අදත් ඒ නුග ගහ දක්නට ඇත.

අනගාරික ධර්මපාල තුමාගේ රැස්වීම් යටත්විජිතවාදී රජයට විරුද්ධ බව එකල සිටි පොලිස්පතිවරයා විසින් පවසා එම රැස්වීම් පැවැත්වීම තහනම් කරන ලදි.

එසේම ‘සිංහල බෞද්ධයා’ පුවත්පතද තහනම් කරන ලදි. එවකට ඉන්දියාවේ සිටි ධර්මපාලතුමා නිවාස අඩස්සියේ තැබීමටද නියම කරනු ලැබිණි. ධර්මපාලතුමාගේ සොහොයුරා සිංහල බෞද්ධයා පත්‍රය වෙනුවෙන් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී. දැඩි සේ කම්පාවට පත් එතුමා යාපනයේ සිර ගෙදරදී මිය ගියේය. මේ සියලු තාඩන-පීඩන මැද තම ක්‍රියාදාමය අත් නොහළ අනගාරික ධර්මපාලතුමා අවසානයේ සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වී ඉන්දියාවට වැඩම කර සිටියදී අපවත් විය.(Pro. Rohana Lakshman Piyadasa)

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

One thought on “152 වන දම්පල් සැමරුම අදයි

ඔබගේ අදහස අපට කියන්න