සී එස් එන් ලගදීම රාජසන්තකයි

රාජ්‍ය දේපළ අවභාවිතය, මුදල් විශුද්ධිකරණය, අයථා අන්දමින් මුදල් ඉපයීම, කූට ලේඛන පිළියෙල කිරීම ඇතුළු චෝදනා තහවුරු කර ගැනීමෙන් පසුව CSN රූපවාහිනී නාලිකාව සහ ඊට අයත් දේපළ රාජසන්තක කිරීම සඳහා අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

නීතිපතිගෙන් උපදෙස් ලද වහාම අදාළ මාධ්‍ය ජාලය සහ ඊට අයත් සියලු දේපළ රජයට පවරා ගැනීමේ හැකියාවක් ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශකයකු සත්හඬ වෙත පැවසීය.

2011 පෙබරවාරි 09 වන දින අංක 142163 යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කර ආරම්භ කර ඇති CSN නාලිකාවේ ආරම්භක ලිපිනය ලෙස දක්වා තිබුණේ අංක 260/12 ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05 යන ලිපිනයයි. එහි ආරම්භක අධ්‍යක්ෂවරුන් ලෙස සචිත්‍ර කවිෂාන් දිසානායක, අශාන් රබිනාත් ප්‍රනාන්දු, සාධ්‍යා කරුණාජීව, රොහාන් වැලිවිට යන මහත්වරුන් ක්‍රියාකර තිබිණි.

CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 2000 ක ණයක් ලබා ගත් බවට සඳහන් කර ඇතත් අදාළ ණය මුදල ලබා ගත්තේ කෙසේද යන්න පිළිබඳව කරුණු තහවුරු කිරීමට එහි බලධාරීන් සමත්ව නැත.

නාලිකාව ආරම්භ කිරීම සඳහා එවකට පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා මහතාගෙන් රුපියල් ලක්ෂ 500 ක් ලබාගත් බවට ලිපියකට අත්සන ලබාගෙන ඇති නමුත් තමන් එවැනි මුදලක් CSN ආයතනයේ ආයෝජනය නොකළ බව නිමල් පෙරේරා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇත.

මීට අමතරව 2016 ජනවාරි අට වන දා වන විට නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සඟවා තිබූ ධඊ බස් රථය සහ උපකරණ CSN සමාගමට ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නැත.

CSN නාලිකාව පවත්වාගෙන ගිය අංක 236/1 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි ඉඩම ද 1998 අංක 23 දරන පනත මඟින් සමාජ සුබසාධන කටයුතු සඳහා ඩී.ඒ. රාජපක්ෂ පදනමට පවරා දුන් එකකි.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ එවකට ස්ථිර ලේකම්වරයා ලෙස කටයුතු කළ ඩබ්ලිව්.බී. ගනේගල මහතා යෝෂිත රාජපක්ෂ මහතාට යොමු කළ කැබිනට් පත්‍රිකා අංක 05/12/2011 සහිත ලිපියෙන් CSN නාලිකාවේ වායු සමීකරණ කොන්ත්‍රාත්තුව ලබා ගත් යුනයිටඞ් ඉලෙක්ටි්‍රකල් එන්ජිනියරින් සමාගම සමඟ අත්සන් කරන ලද ගිණුමට යෝෂිත රාජපක්ෂ මහතා අත්සන් කිරීමත් CSN නාලිකාව සමඟ අලෙවිකරණ කටයුතු සඳහා රිචඞ් සොයිසා සමඟ අත්සන් කර තිබූ ගිවිසුමත් ඇතුළු ලේඛනවලින් CSN නාලිකාව යෝෂිත රාජපක්ෂ මහතා විසින් නාමික අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පවත්වාගෙන ගිය බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා CSN සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී එහි විධායක නිලධාරියා ලෙස ක්‍රියාකර ඇත්තේ ප්‍රියන්ත අබේරත්න නමැති පුද්ගලයාය. ඔහු එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සාමාන්‍යාධිකාරී නියාමන ලෙස කටයුතු කර ඇත.

2011 වසරේ දී CSN නාලිකාවේ මෙහෙයුම් කළමනාකරණ කටයුතු කර ඇත්තේ තුසිත ජයවර්ධන මහතා වන අතර ඔහු එම තනතුරට සමාන්තරව ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරී තනතුරේ හිඳිමින් වැටුප් ලබා ඇත. අදාළ සියලු කාරණා ඔප්පු කර ගනිමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පිටු 130 කින් සමන්විත වාර්තාවක් රජයේ නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි සඳහන්ය.

– දයා නෙත්තසිංහ

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න