රෝහිතගේ ඥාතී පුත්‍රයාගේ රේසිං ගාය තරුණයකු බිලි ගනී

හික්කඩුව ගෝනපීනුවල ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාතී පුත‍්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රවීන්ද්‍ර අබේගුණවර්ධන නැමැති ඔහු 17 හැවිරිදි අයෙකු වන අතර වෛද්‍ය පරීක්ෂණවලින් අණාවරණය වී ඇත්තේ ඔහු අධික ලෙස බීමතින් සිටි බව ය.

ගෝනපීනුවල නගරයේ සාරාලංකාර විදුහල අසළ දී ඊයේ (17) රාත‍්‍රී 11.00ට පමණ මෝටර් රථයක් පාපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර මියගොස් ඇති තරුණයා ගෝනපීනුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පාපැදියේ පැමිණි තවත් අයෙකු අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෝටර් රථය පැද වූ රවීන්ද්‍ර අබේගුණවර්ධන නමැත්තාද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔහු ඊයේ රාත‍්‍රියේම බද්දේගම රෝහලේ දිස්ත‍්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණා.

ඔහු පදවා ඇත්තේ මෝටර් රථ ධාවන තරග සඳහා යොදා ගන්නා දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි මෝටර් රථයක් බවත් ඔහුට රියදුරු බලපත‍්‍රයක් නොමැති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සදහන්.

මීට පෙර 2012 වසරේදී පයාගල ප්‍රදේශයේදී තරුණයන් දෙදනකුට මරු කැදවමින් සිදුවූ රිය අනතුරකටද රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඥාතී සොයුරියකගේ පුත්‍රයකු සම්බන්ධ බවට චෝදනා එල්ලවුණා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close