පියවි ඇසට නොපෙනෙන සක්වල ගල ගැන බුදු දහමේ දේශනාව

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.

ලෝක විෂය’ අචින්ත්‍ය, අනිත්‍ය දෙයක් වගේම, “ කර්ම විෂය” ත් අචින්ත්‍ය (අනන්ත) දෙයක් ද ?

ඔව්, අංගුත්තර නිකායේ, චතුක්ක නිපාතයේ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය දෙයක් ලෙස විස්තර කෙරෙනවා. ලෝක ධාතු (සක්වළ) අනන්ත වන්නාක් මෙන්ම ඒවායේ ඇති ශක්තීන්ගේ විවිධත්වය ද අනන්ත වෙනවා. ඒ වගේම, ඒවායේ වෙසෙන ජීවීන්ගේ කර්ම ශක්තීන් ද විවිධාකාර වෙනවා. එම කර්ම ශක්තීන් හා කර්මඵල අනුවයි, සත්වයින් විවිධ ලෝක තල (ධාතු) වල උපත ලබන්නේ. ‘සක්වළ විභංගය’ ට අනුව සත්වයන් උපදින ලෝක ධාතු කෝටි ලක්‍ෂයක් පමණ බුදු කෙනෙකුගේ ඥාන ක්‍ෂේත්‍රයට ග්‍රහණය වෙනවා.

බුද්ධ විෂය පථය හෙවත් ‘බුද්ධ ඥාන ක්‍ෂේත්‍රවල ප්‍රභේද සහ ඊට ග්‍රහණය වන සක්වළවල් මොනවාද ?

ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්‍ෂේත්‍ර ප්‍රභේද තුනක් (03) පිළිබඳව විස්තර වෙනවා. බෝධිසත්වයන්ගේ මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්‍ෂේත්‍රයට” අයත් වෙනවා. ඊළඟට සම්බුදුවරයකුගේ “ආඥා ක්‍ෂෙත්‍රය” නම් කෝටි ලක්‍ෂයක් සක්වළ ප්‍රදේශයයි. රතන, බන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන්ගේ ආනුභාවය මෙම කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා පැතිර පවතිනවා.

බුදු කෙනෙකුගේ “විෂය ක්‍ෂෙත්‍රය” ට අනන්ත අපරිමාණ කැමති සක්වළ ලෝක ධාතු ප්‍රමාණයක් ග්‍රහණය වෙනවා. මේ අතර, වෙනත් මඟුල් (මංගල, උතුම්) සක්වළවල් ද විෂය විය හැකියි. බුද්ධ විෂය ක්‍ෂේත්‍රය ග්‍රහණය වන සක්වළවල් ගණන මෙතැකැයි කියන්න බැහැ. එය අපමණයි.

එහෙමනම්, අපමණ සක්වළවල් අතර කර්මයෙන් බේරී සිටීමට හැකි ඕන තරම් තැන් (ස්ථාන) තියෙන්න බැරිද ?

නැහැ, ඒ නිසායි, බුදු හාමුදුරුවෝ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය කියලා දේශනා කළේ. ධම්ම පදයේ, ‘පාප වග්ගයෙ’ හි 127 සහ 128 යන ගාථාවලින් මේ සඳහා හොඳ පිළිතුරක් දී තිබෙනවා. වරක් ජේතවනාරාමයේ දී සඟුන් තුන් කොටසක් අරබයා සහ තවත් අවස්ථාවකදී නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු උදෙසා මෙවැනිම විග්‍රහයක් කර තිබෙනවා.

එනම්, සක්වළ යම් තැනක සිට කර්ම විපාකයෙන් මිදිය හැකිද ? එබඳු තැනක් අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. පර්වත කුහරයකත් නැහැ. එබඳු බිම් පෙදෙසක් සකළ ලෝක ධාතුවේ කොහේවත්ම නැහැ යනුවෙන් එමගින් විස්තර කෙරෙනවා. එතකොට, ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ පීර පීරා හෙව්වත්, මාරයාට හොයා ගන්න බැරි වුණේ ඇයි ?

ගෝධික හිමියන් සිය පණ හානි කර ගත්ත කෙනෙක්. උන් වහන්සේගේ ගෙල, උන්වහන්සේ විසින්ම කපා ගැනීම සිදු කළේ, රහත්භාවය ලැබිමට කලිනුයි. භාවනා කරන අතරතුරදී ගෝධික හිමියන්ට හිතුනා, සසරින් එතර වෙන්නැතිව ජීවිතේ නැති කර ගන්න. නමුත් පණ යන්න මොහොතකට කලින් උන්වහන්සේ රහත් වුණා. මේ බව නොදැන මාරයා ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ සිසාරා සොයන්න පටන් ගත්තා. එවිට බුදු හාමුදුරුවෝ මාරයාට මෙසේ දේශනා කළා.

‘සෝධිකෝ සෝ කොයින් ගතෝ”

යනුවෙන් ගෝධික රහතන් වහන්සේගේ විඥානය සක්වළ කොහේවත් ඔබට යළි හමුවෙන්නේ නැහැ. සක්වළ පීරමින් උන්වහන්සේගේ විඥානය සෙවීම නිෂ්ඵල ක්‍රියාවක් බව බුදුහාමුදුරුවෝ මාරයාට පැහැදිලි කර දුන්නා.

එතකොට, ‘සක්වළ ගල’ පිහිටා තියෙන්නේ, මේ සක්වළේ අවසන් සීමා මායිමේ ද ?

ඔව්, මේ සක්වළෙහි මායිම “සක්වළ ගල” කියලා පුරාණ මතයක් තිබෙනවා. ඒ නිසායි, බුදුහාමුදුරුවෝ, යක්‍ෂයින්ව සක්වළ ගලෙන් එහාට එළවා දැමූ බවට විශ්වාස කරන්නේ. ‘ගිරි දිවයින’ ට යකුන්ව පලවා හැරි බවට තිබෙන විශ්වාසයෙත් මීට සාම්‍යයක් පවතිනවා. එනම්, ‘ගිරි’ කියන්නේ පර්වතය, ගල, කන්ද කියන අදහසටමයි. පිට සක්වළට යකුන්ව පලවා හැරිය බවට ගොඩ නැගුන විශ්වාසයට මෙය පදනම් වී තිබෙනවා.

ඊළඟට, යක්‍ෂයින්ට මනුෂ්‍ය ලෝකය දිහා බලන්න අවසර දුන්නේ, ඉඳීකටු තුඩකින් වැනි ඉතාම සියුම් සිදුරකින් පමණයි. බෞද්ධ සාහිත්‍යයට පසුකාලීනව එකතු වී ඇති මෙබඳු විශ්වාස අපිට පහසුවෙන් බැහැර කරන්නට බැහැ. මේ අදහස නවීන විද්‍යාවෙනුත් අද තහවුරු වී තිබෙනවා.

ඒ කියන්නේ, ‘සක්වළ ගල’ නූතන විදු ඇසටත් හසු විය හැකි වස්තුවක් ද ?

සක්වළ තියෙන හැම දේම කවදාවත් නවීන විද්‍යාවට ගෝචර වෙන්නේ නැහැ. නමුත්, අභ්‍යවකාශ විද්‍යාඥයන් වුණත්, අපේ චක්‍රාවාටය (සක්වළ) කෙළවර ඇති ස්ථරය (ආරක්‍ෂිත වියන) ඉතා සූක්‍ෂම හා ඝනකමින් යුක්ත බව පිළිගන්නවා. ඒ වගේම, මේ චක්‍රාවාටයෙන් පිටතට යාම ආරක්‍ෂිතව, ක්‍රමික සිදුකළ යුතු බව ගගණගාමීන්ගේ ද අදහසයි.

චක්‍රාවාට (Galaxi) දෙකක් අතර ඇති තෙරපුම හා ගුරුත්වාකර්ෂණය ද බෙහෙවින්ම වෙනස් වූවක්. තවද එහි ඇති අදෘශ්‍යමාන ශක්තීන්වල සහ ආලෝක දහරාවල වෙනස්කම් ආදිය නවීන විද්‍යාවටත් විෂය වී තිබෙනවා. ඒත්, විද්‍යාවට යා හැකි සීමාවක් තිබෙනවා. ඉන් එහාට විද්‍යාවට යන්නට බැහැ.

සක්වළ අවසන් මායිමේ තියෙන ‘සක්වළ ගල’ තියා, හිමාලයෙහි තියෙන ‘මහා මේරු පර්වතය’ වත් තවම විදු ඇසට විෂය නොවුණේ ඇයි ?

සර්වඥතා ඥානයෙන් දැක්ක හුඟක් දේවල් පියවි ඇසින් හරි, හදා ගත්ත උපකරණ වලින් හරි දකින්න බැහැ. දැන් උත්තර ධ්‍රැවය හා දක්‍ෂිණ ධ්‍රැවය සවිමත්ව යා කෙරෙන කෂේරුව වැනි පෙනෙන – නොපෙනන මහ පව්වට කුමේරු කියනවා. සුනෙර, සුනේරු, ස්වර්ණගිරි, හේමගිරි, හේමාද්‍රි, කනක ගිරි, කසුන් ගිරි, ගිරි රද හා පවුරු රද කියන්නේ, මේ ‘ මහමෙර’ හෙවත් ‘ මහාමේරු පර්වතය’ ටමයි.

‘ආටානාටිය සූත්‍ර අටුවාවෙහි’ දැක්වෙන්නේ, ‘මහමෙර’ මහ පොළොව මැද පිහිටා ඇති බවයි. ගුරුත්වාකර්ෂණය පවතින්නේත්, පොළොව මැද ඉලක්ක කර ගෙනයි. ඒ නිසායි, සක්වළ මැද පිහිටි මහාමේරුව හෙවත් මහා නේරුව ආටානාටිය මන්ත්‍රයේ මධ්‍ය ලක්‍ෂ්‍යය ලෙස යොදා ගෙන තිබෙන්නේ. මෙහි දිසා හතර හිරු උදාව හා බැසීම මුල්කරගෙන මධ්‍ය ලක්‍ෂයෙන් හතර පැත්තකට බෙදා වෙන් කරනු ලබනවා.

දිශා දර්ශකය (Compass) හෙවත් මාලිමා යන්ත්‍රයෙහි කටුව නිරන්තරයෙන් උතුරු දෙසට (දිශාවට) හැරෙන්නේ ඇයි ? යන පැනයට පවා නවීන විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් නැහැ. මාලිමාවේ කටුව එලෙස උතුරටම යොමු වන්නේ, එම දිශාවේ කුමන හෝ විසල් වස්තුවක බලපෑම (ආකර්ෂණය) නිසා විය හැකි බවට විද්‍යාඥයන් නිගමනය කරනවා. බෞද්ධ මතය අනුව, නිසැකවම මාලිමාවේ කටුව වෙනත් පැතිවල නතර නොවී එක් කේන්ද්‍රීය දිශාවක නතර වෙන්නේ ‘මහමෙර’ නිසායි.

නමුත්, ‘ මහමෙර’ පිළිබඳ බෞද්ධ මතය මීට වඩා ඉතා පුළුල් යථාර්ථවාදී විවරණයක් නේද?

ඔව්, සක්වළ ආරම්භයේදී නිර්මාණය වුණ, ‘මහමෙර’ සක්වළ අවසානයේදී විනාශ වී යන අන්දම ගැනත් ගැඹුරින් විස්තර කෙරෙනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි.

“මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.”

“මිහිඟු බෙරයක හැඩය” ගන්නා යැයි සඳහන් මෙම මහාමේරු පර්වතයේ ඉහළ කොටස සූක්‍ෂමව පවතින්නක්. එය තව්තිසා දෙව්ලොවට ද සබඳකම් ඇති තන්මාතික හෙවත් ක්‍රමයෙන් සුක්‍ෂම වන අසිරිමත් වස්තුවක්. බෝධි මණ්ඩල මධ්‍ය භූමිය කේන්ද්‍රගතව හෙවත් මහා හිමාලයේ ඉහළට හිමෙන් වැසී යන “ මහමෙර” ඇතැම්විට දැනට සොයා ගෙන ඇති පෘථිවියෙහි උසම තැන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන ( උස අඩි 29, 000 ක් පමණ) ආශ්‍රිතව තිබිය හැකි බවටද මත පළ කෙරෙනවා.

කොහොම වුණත්, පදාර්ථමය (භෞතික) මහමෙරට අමතරව, ආධ්‍යාත්මික මහාමේරුවක්, දිව්‍යමය මහාමේරුවක් පිළිබඳවත් විස්තර හමු වෙනවා. ඇත්තෙන්ම “ මහමෙර” පිළිබඳව බොහෝ විවරණ බුදු දහමේ කර තිබෙනවා. නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් අනුව වුණත්, මිනිසාගේ “උඩු සිත” හෙවත් සවිඥානය (Conscious) අයිස් කන්දක උඩ කොටස වගෙයි. “යටි සිත” හෙවත් “අවිඥානය”(Unconscious) එම අයිස් කන්දේම නොපෙනෙන ජලයෙන් යට ඇති අයිස් පර වගෙයි. “මහමෙර” කියන්නේ, ඊටත් වඩා ගැඹුරට විහිදෙන විවරණයක්.

මෙම පුවත හුවමාරු කරගන්න.Share on FacebookTweet about this on TwitterShare on Google+Email this to someone

ඔබගේ අදහස අපට කියන්න