දුම්කොල බද්දට එරෙහි වන්නන් හෙළිවෙයි

දුම්කොළ සමාගම්වලින් බදු අයකිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාව පසුගිය සති දෙක පුරාම දේශපාලන ලෝකය උණුසුම් කර තිබුණි. දුම්කොළ බද්ද පැනවීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා කැබිනට් අනුකාරක සභාවක් පත්කිරීමට තීරණය කර තිබුණේ දැනට සති දෙකකට පෙර පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. ඒ අනුව එම කැබිනට් අනුකාරක සභාව පසුගිය බදාදා දිනයේදී රැස්වූයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදීය.
කැබිනට් අනුකාරක සභාවට කරුණු දැක්වීම සඳහා රාජිත සේනාරත්න ඇමැතිවරයා කල්වේලා ඇතිව එහි පැමිණ සිටියේය. ඔහු සමග දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් ද පැමිණ සිටියේය. ආර්ථික විශේෂඥයෙකු වන නිශාන්ද මෙන්ඩිස්ද භාණ්ඩාගාරයෙන් පැමිණි නිලධාරියෙක්ද එහි විය.
“දුම්කොළ බදු වැඩි කළාම බිඩි පරිභෝජනය වැඩිවෙනවා” දුම්කොළ බද්ද වැඩිකිරීමට විරුද්ධ වූ භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසුවේය
“ඒක අමූලික බොරුවක්. පසුගිය අවුරුදු දහතුනක් තිස්සේ සිගරට් මිල වැඩි වුණා. එහෙම වුණා කියලා බිඩි පරිභෝජනය වැඩිවෙලා නැහැනේ” රාජිත ඔහුගේ කතාවට බාධා කළේය.
“2007 අවුරුද්දේ ඉඳලා බිඩි පරිභෝජනය අඩුවෙලා තියෙනවා” නිශාන් මෙන්ඩිස්ද රාජිතගේ සහායට ඉදිරිපත් විය.
“1980දී සිගරට් පැකට් එකක මිල තීරණය කරලා තියෙන්නේ ඒකපුද්ගල ආදායම අනුවයි. 2000 අවුරුද්දෙදී ඒකපුද්ගල ආදායම වැඩිවුණත් සිගරට් මිල වැඩිවුණේ නැහැ. ඒ වෙලාවේ සිගරට් මිල වැඩි වුණා නම් දැන් රුපියල් තිස් පහක් වෙන සිගරට් එකක මිල රුපියල් පනස් පහක් වෙන්න ඕන. ඒ නිසා සිගරට් මිල වැඩිකරන්න ඕන” රාජිත කීවේය.
“ඒකපුද්ගල ආදායම මේ වනවිට ඩොලර් හාරදහස දක්වා වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා සිගරට් මිල පස් ගුණයකින් වැඩිවෙලා තිබෙනවා” භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
“මිනිස්සු ඩොලර්වලින් සිගරට් බොන්නේ නෑ. සිගරට් බොන්නේ රුපියල්වලින්. ඒ නිසා භාණ්ඩාගාරයේ නිලධාරීන් දැන්වත් රුපියල්වලින් ප්‍රශ්නවලට විසඳුම් හොයන්න” නිශාන් මෙන්ඩිස් කීවේ කැබිනට් අනුකාරක සභාවේ සාමාජිකයින් සිනාගස්වමිනි.
“දුම්කොළ භාවිතාව නිසා ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීමට රුපියල් බිලියන හැත්තෑ දෙකක් වැය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය, කියන්නේ දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීම නිසා වසරකට විසිපන්දහසක් මිය යනවා කියලා. අක්‍රීය දුම්පානය නිසා තවත් තුන්දහසක් විතර මිය යනවා. දුම්කොළ සමාගම් බිලියන හැත්තෑවක් අසූවක් ආදායම් හෙව්වත් රජයට ලැබෙන්නේ බිලියන දහයක් විතරයි. මේවායේ බදු වැඩි කළා කියලා දුම්කොළ සමාගම් වහලා දාන්න වෙන්නේ නෑ” රාජිත දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
“අපේ භාණ්ඩාගාරයේ මහත්තයා මෙතැනට ඇවිත් කතාකරන්නේ දුම්කොළ සමාගමේ නිලධාරියෙක් වගේනේ” රාජිතගේ සහායට පැමිණි නිලධාරියෙක් කියනවිටම පාඨලී චම්පික රණවක ඇමැතිවරයාත් එහි පැමිණියේය.
“බදු වැඩිකළා කියලා දුම්කොළ සමාගම් පාඩු ලබන්නේ නැහැ” පාඨලීත් කතාවට මැදිහත් විය.
“බදු වැඩිකළොත් දුම්කොළ සමාගම් පාඩු ලබන්න පුළුවන්. දුම්කොළ සමාගමේ දහඅට දහසක් විතර සේවය කරනවා. මේ අයට රැකියා අහිමි වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා” භාණ්ඩාගාර නිලධාරියා ඉදිරිපත් කළ කරුණ පාඨලීට අල්ලා ගියේ නැත.
“අවුරුද්දට බිලියන ගණනක් ලාබ ලබන ආයතනයක් වහලා දැමීමට කිසිම හේතුවක් නැහැ. බදු වැඩි කළා කියලා මොනම වෙලාවකවත් මේවා වහලා දැමීමට සිදුවන්නේ නැහැ” පාඨලී කීවේ තරමක් තදිනි.
“භාණ්ඩාගාරයේ මේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මම නියෝජ්‍ය මුදල් ඇමැති කාළෙත් හිටියා. මෙයා ආදායම ගැන විතරයි හිතන්නේ. අනෙක් දේවල් ගැන හිතන්නේ නෑ” සරත් අමුණුගම ඇමැතිවරයා පැවැසුවේය.
“මත්පැන් හා දුම්වැටි නිවාරණය රජයේ ප්‍රතිපත්තියක්. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන අවධානය යොමුකරලා වැඩකරන්න වෙනවා” රාජිත නැවත කතාවට එක්විය.
“දුම්කොළ හා මද්‍යසාර භාවිතාව අවම කරන්න ඕන. ඒ වගේම බදු වැඩිකිරීම ගැනත් තීන්දු ගැනීමට සිදුවෙනවා” සියල්ල දෙස සාවධානව අසා සිටි මලික් සමරවික්‍රම ඇමැතිවරයා කීවේය.
“කොහොම නමුත් අපිට බදු වැඩිකිරීමට සිදුවෙනවා. ඒවගේම සිගරට්වල මිලත් වැඩිකරන්න ඕන” සරත් අමුණුගම තීරණාත්මකව පැවැසුවේය.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට කැබිනට් අනුකාරක සභාව තීරණය කළේය. ඒ අතරම දුම්වැටි සඳහා සියයට පහළොවක වැට් බදු අය කිරීමටද තීරණයක් ගත්තේය.

ඔබගේ අදහස අපට කියන්න

Close