මහින්දගේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ වැඩ අල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ලෙස නව පක්ෂයක් ගොඩනැගීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛව ඔහු වටා සිටින ශ්‍රීලනිප හා අනෙකුත් පක්ෂ නියෝජිතයන් තීරණය කර ඇතැයි වාර්තා වේ. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ වන විට නිල වශයෙන් ඉවත් වී හෝ ඉවත් කිරීමකට ලක් කර නොමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවත් කණ්ඩායම විසින් ශ්‍රීලනිපයෙන් වෙන් වීමේ තීරණාත්මක පියවර ලෙස ජන රැලියක් ඔක්තෝබර් මස 02 දින මාතර නගරයේ දී පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇතැයි ද දැන ගැනීමට තිබේ.
රට පුරා යන රැලි මාලාවක ආරම්භය ලෙස මෙම ජන රැලිය පැවැත්වෙන අතර එහි දෙවන රැලිය ඔක්තෝබර් 08 වන දින රත්නපුරයේ දී පැවැත්වීමට නියමිතය.
මේ අතර පසුගිය සැප්තැම්බර් 04 වන දින කුරුණෑගල දී පැවැත්වූ ශ්‍රීලනිප සංවත්සරයට එකට එක කිරීමක් ලෙස මහින්දවාදීන්ගේ නව පක්ෂයේ සමාරම්භක රැලිය දැවැන්ත ආකාරයෙන් පැවැත් වීමට ද මේ වන විට සූදානම් වෙමින් සිටින බවත් එම කණ්ඩායමට සමීප ආරංචිමාර්ග පවසයි. එම ජන රැලිය කොළඹ හෝ කුරුණෑගල පැවැත්විය යුතු බවට යෝජනා ඉදිරිපත්ව ඇති නමුත් තවම ස්ථානය පිළිබඳ තීරණයක් ගෙන නොමැති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම නව දේශපාලන ව්‍යාපාරයේ කටයුතු මේ වන විටත් ප්‍රාදේශීය මට්ටමෙන් දියත් කිරීම අරඹා ඇති බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් ආරම්භ කර තිබෙන ජාතික පක්ෂ එකමුතුව ද ප්‍රාදේශීය වශයෙන් සංවිධාන ගොඩනැගීම ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. ජාතික පක්ෂ එකමුතුවට මේ වන විට පක්ෂ 7ක් එක් වී සිටී. පළාත් පාලන මැතිවරණයේ දී මේ කණ්ඩායම් සියල්ල එක් පෙරමුණක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට ද නියමිතය.

ඔබගේ අදහස අපට කියන්න

Close