ඇවන්ගාර්ඞ් සභාපතිට ඇප දීමට එරෙහිව අල්ලස් කොමිසමෙන් පෙත්සමක්

අල්ලස් චෝදනා මත අත් අඩංගුවට ගනු ලැබූ ඇවන්ට්ගාඩ් මෙරිටයිම් පෞද්ගලික ආරක්ෂක සමාගමේ ප්‍රධානී විශ්‍රාමික මේජර් නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන සැකකරුවන්ට ඇප ලබා දීමට ඉකුත්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙනු ලැබූ නියෝගයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
අධිකරණය එසේ නියෝග කළේ අදාළ ඇප නියෝගයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු 2012 වසරේ ආරක්ෂක අමාත්‍යංශයේ රජයේ නිලයක් දරමින් සිටින අතරතුර නිශ්ශංක සේනාධිපති විසින් ඔහුට රුපියල් ලක්ෂ 355 ක අල්ලස් මුදලක් ලබා දී ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
අදාළ චෝදනාව යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.
එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුගිය 06 වනදා රාත්‍රියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව කියා සිටි අල්ලස් කොමිසම එහිදී සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ බවයි සඳහන් කළේ.

අල්ලස් පනතට පටහැණිව මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ ඇප ප්‍රදානය සිදු කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

ඉහත කී මුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා රජයේ නිලධාරින් රිමාන්ඩ් භාරයට පත් කරන මහේස්ත්‍රාත්වරයා ඉතා බරපතළ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මෙලෙස ලිහිල් ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් අධිකරණ පද්ධතිය ගැන පවතින මහජන විශ්වාසය පලුදු වන බවයි අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් ලබා දෙනු ලැබූ ඇප නියෝගය අවලංගු කරන මෙන් ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අධිකරණයෙන්ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඒ පිළිබඳ විභාගයක් පවත්වන බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව ලබන මස 17 වනදා අදාළ පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන මෙන් වග උත්තරකාර නිශ්ශංක යාපා සේනාධිපති සහ පාලිත ප්‍රනාන්දුට අධිකරණය නියම කළේය.

ඔබගේ අදහස අපට කියන්න

Close