කල්පයක මුලින්ම මල් පිපෙන අනවතත්ත විල කොහිද ?

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.

මහ නායක හාමුදුරුවනේ, ‘ මහා මේරු පර්වතය’ වගේම, ‘ අනෝතත්ත විල’ ත් පිහිටා තියෙන්නේ, අපේ සක්වළේ ද ?

ඔව්, අපේ අසල්වැසි ඉන්දියාව හෙවත් දඹදිව ඇති ගංගා, යමුනා, අචිරවතී, සරභූ සහ මහී යන පංච මහා ගංගාවන් ආරම්භ වෙන්නෙත් මේ විලෙනුයි. දඹදිව පිහිටි සප්ත මහා විල්වලින් එකක් වන ‘ අනවතත්ත විල’ චිත්‍රකූට, කාලකූට, ගන්ධමාදන හා සුදර්ශන යන මහා පර්වත සතරින් වට වෙලයි තියෙන්නේ.

ගව් ගණන් දිග පළල ඇති මේ අනවතත්ත විල් ජලය බුදු, පසේ බුදු, මහරහත් ආදි උතුමන් වගේම සෘද්ධිමත් දිව්‍ය, නාග ආදීන් ද පාරිභෝග කරනවා. එකළ සහ මෙකළ සෘද්ධිමත් යෝගාවචරයින්ට ගෝචර වූ තැනක් බොහෝවිට මනුෂ්‍යයන්ට විෂය වෙන්නේ නැහැ. එමගින් එහි පාරිශුද්ධතාවට හානි සිදුවිය හැකියි.

නමුත්, අනවතත්ත විලට බැසීමට පියගැට (පඩි) පෙළක් ඇති බවත්, එහි නාන තොටුපලවලින් යුක්ත බවත් දැක්වෙනවා. විශේෂයෙන්, අශෝක අධිරාජ්‍යයා (ධර්මාශෝක රජ) ද අනවතත්ත විල් ජලය ස්නානය කර තිබෙන බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

එහෙමනම්, ගගනගාමීන්ට පවා තවමත් මේ මහා විල දර්ශනය වෙලා නැත්තේ ඇයි ?

‘අනවතත්ත විල’ කියන්නේ හිරු ට අනාවරණය නොවූ, රත් නොවන විල කියන අදහසයි. හිරු එළිය පවා හරිහැටි නොවැටෙන මනරම් කඳු ශිඛරවලට හා තුරු ලතාවලට මැදි වී, සිසිල් ජලයෙන් මේ විල හැම කාලයේදීම පිරී පවතිනවා. මහා හිමාලය මධ්‍යයේ පිහිටි ‘අනවතත්ත විල’ සම්පූර්ණයෙන්ම සූර්යාලෝකයට නිරාවරණය වී සිඳී යන්නේ, සිව් (හතර) වෙනි හිරුගේ පහළ වීමෙන් පසු බව ‘සප්ත සූර්යෝද්ගම සූත්‍රයේ’ දැක්වෙනවා. සම්බුද්ධ දේශනාවක් වන සූත්‍ර පිටකයට අයත් අංගුත්තර නිකායේ මහා වග්ගයෙහි එන එම සූත්‍රයෙන් ඒ පිළිබඳව මෙසේ විස්තර කරනවා.

“මහණෙනි, සතරවෙනි සූර්යයාගේ පහළවීමෙන් මහා නදීන්ගේ පටන් ගැනීමේ මූලස්ථානය වූ අනවතත්තය, සිංහ ප්‍රපාතය, රථකාරය, කණිමුණ්ඩය, කුණාලය, ඡද්දන්තය, මන්දාකිනිය යන සප්ත මහා විල්වල ජලය ද සිදී වියළී යන්නේය.“

කොහොම වුණත්, දැනට වර්ෂ කිහිපයකට පෙර මහා හිමාල වන පෙදෙසට ඉහළින් ගමන් කළ ගුවන් නියමුවෙකුට එහි කඳු පාමුල අතු පතර තුරු ලතා ආදියෙන් වැසී ගිය ඉතා විශාල දර්ශනීය අපූර්ව විලක් දර්ශන වූ බවට පුවතක් දෙස් විදෙස් මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒවගේම යුරෝපයෙන් වර්ෂ දහස් ගණනක් හිමෙන් වැසී තිබී, ගෝලීය උණුසුම ඉහළයාමත් සමග මතු වූ එබඳු වෙනත් විශාල විලක් පිළිබඳව පසුගියදා ( 2012 මැයි ) ප්‍රවෘත්ති වාර්තා අනාවරණය කළා.

අභිනව කල්පයක ආරම්භයේදී මුලින්ම මල් පිපෙන්නේත්, අනෝතත්ත විලේ කියන්නේ ඇත්තද ?

ඔව්, එහෙම අදහසක් තිබෙනවා. කල්ප විනාශයෙන් පස්සේ සක්වළ අලුතින් නිර්මාණය වීමේදී “මහා බෝධි පර්යංකය පිහිටන ජයභූමි ස්ථානය සියල්ලටම පළමුව පිහිටනවා. ඊගාවට ක්‍රමිකව ඒ ආසන්නයේ විලක නෙළුම් පැළයක් හට ගන්නවා. නිර්මාණය වුණ අලුත් කල්පයේ ලොව්තුරා බුදු කෙනෙකු පහළ වෙනවා නම් එහි නෙළුම් මලක් පිපෙනවා. එම කල්පයේ පහළවීමට නියමිත බුදුවරු ගණන අනුවයි එහි නෙළුම් මල් පිපෙන්නේ. එය මහා භද්‍ර කල්පයක් නම් විතරමයි, මල් පහක් විකසිත වෙන්නේ. එය බුද්ධ ශූන්‍ය කල්පයක් නම් එකදු මලක්වත් එහි පිපෙන්නේ නැහැ.

එකල දොළොස් වන ‘අව්හ’ නම් බඹලොව ඇතුළු පංච ශුද්ධවාස බඹලොව වෙසෙන බඹුන් එක්ව විමසා බලන්නේ, මේ කල්පයේ බුදුවරු කී නමක් පහළ වේද ? එම පෙර නිමිති බලන්නට යමුයි කියා මහා බෝධි මණ්ඩල භූ®මිය කරා පැමිණ ඒ ආසන්නයේ පිහිටි විලේ පිපි නෙළුම් මල් අසිරිය දැක සාදු නාද දී ශුද්ධාවාස වෙත නැවත ගමන් කරනවා.

මෙහෙම මුලින්ම නෙළුම් මල් පිපෙන විල වන්නේ අනෝතත්ත විල බවට විවිධ වශ්වාස පවතිනවා. එය සැබෑවක් නම්, ලොව අවසානයටම සිඳි වියළී විනාශ වන විල වගේම, නව ලොව නිර්මාණයෙන් පසු ප්‍රථමයෙන්ම දිය පිරි මල් පිපි විල වන්නේත්, මේ “අනවතත්ත විල” යි

භෞතිකවාදීන්ට අනුව ඒක මනඞකල්පිත දෙයක් වෙන්න බැරිද ?

ඔය කිය සමහර භෞතිකවාදීන් බෞද්ධ සාහිත්‍යයේ වර්ණනා වෙන “උදුම්බරා“ ආදී මල් විශේෂයනුත් එහෙම මනඞකල්පිත යැයි සලකා යටගියාවේදී බැහැර කරනු ලැබුවා. අවසානයේදී මොකද ? වුණේ. ඔවුන්ටම ඒවා යථාර්ථවාදී දේවල් බව අකමැත්තෙන් වුණත් අද පිළිගැනීමට සිදුවි තිබෙනවා.

2010 මාර්තු 05 වැනිදා දිනපතා පුවත්පතක විදෙස් (11) පිටුවේ “උදුම්බරා මලක් චීනයේ“ යනුවෙන් පුවතක් පළ කර තිබුණා. මෙහි ඇති විශේෂත්වය ලෙස දක්වා තිබුණේ, එය වසර තුන්දාහක (3, 000) ට වරක් පමණක් පිපීමයි. මේ මලෙහි විශ්කම්භය මිලි මීටර් එකක (01) යි. මේ දුලභ වර්ගයේ ගසේ නාරටියේ පණු බිත්තර මෙන් සුදු පැහැති තිත් වර්ගයක් පළමුව දුටු බවත් ඊට පසු සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙනු දුටු, තමන් පුදුම වී බවත් එම ගෙවත්තේ හිමිකාරිය වූ 50 හැවිරිදි මියෝවෙයි මාධ්‍යයන්ට පවසා තිබුණා. ඒ වගේ, බුදු දහමේ එන හැම දෙයක්ම කාලයත් සමග සැබෑ වෙනවා. දැන් පන්සිය පනස් ජාතක පොතේ එන 455 වෙනි ජාතකය (සමුද්‍ර වානිජ) කියවපු භෞතිකවාදීන් හුඟ දෙනෙක් ඒකෙ විස්තර කෙරෙන මුහුද ගොඩ ගලන කථාව පිළිගත්තාද? නමුත්, අද එබඳු සිද්ධීන් ලොව පුරා වාර්තා වීමට පටන් ගැනීමත් සමඟ ඔවුන් නිරුත්තර වී සිටිනවා. අනෙක් දේවලුත් ඉදිරියේදී පිළිගැනීමට සිදු වෙන බවට සැකයක් නැහැ.

ඒ වුණාට, චන්න කින්නර ජාතකයේ විස්තර කෙරෙන දිය කිඳුරන්, දිය කිඳුරියන් හුදෙක්ම මනඞකල්පිත සත්වයින් ලෙස ඔවුන් හුවා දක්වනවා නේද ?

එහෙනම්, ලංකාවේ මඩකලපුවේ කල්අඩි පාලම ළඟ සින්දු කියන වැනි ශබ්ද නිකුත් කරන මාලු විශේෂ ගැන ඔවුන් මොකද කියන්නේ. ඊඟාවට, පුත්තලම, මන්නාරම ආසන්න මුහුදු තීරයේ ඉන්න මුහුදු ඌරා (Dugong)සහ ‘මැන්පියා’ වැනි දිය කිඳුරන්ට සමාන ශරීර ලක්‍ෂණ තියෙන මාලු විශේෂ පිලිබඳවත් ඔවුන් දන්නේ නැතිව ඇත. මනුෂ්‍ය මුහුණටයි, මාලුවාගේ හැඩහුරුකමයි ගන්න සත්ව විශේෂ වේ. සක්වල කොතෙකුක් ඉන්න බැරිද ? ඕනතරම් ඉන්න පුළුවන්.

විශ්වයේ කොයි ඉසව්වක හෝ නොමැති නැතහොත් කවර කාලයකදී හෝ නොසිටි සත්ව කොට්ඨාස පිිළිබදව බුදු දහම කොතනවකවත් විස්තර වෙන්නේ නැහැ. මහා හිමාලය තුළ එබඳු කිඳුරු කොදෙව් අදටත් බිහිවිය හැකියි. ඒත්, හිමාලය ආශ්‍රිතව සිදු කළ හෝ සිදු කෙරෙන විමර්ශන ඉතාම අල්පයි. එහෙම එකේ, අපිට “සඳකිඳුරුදාවතේ එන විස්තර ලේසියෙන් බැහැර කරන්න බැහැ.

මෙවැනි අසිරිමත් ජීවී – අජීවී දේවල් අනන්තවත් ලොව නිර්මාණය කර තිබෙන්නේ සහ ඒවා ආරක්‍ෂා කරන්නේ කවුරුන්ද ?

මජ්ඣිම නිකායේ “රට්ඨපාල සූත්‍රයේ” ලෝකය (විශ්වය) නිරන්තරයෙන් අස්ථිර බවත්, එය නිර්මාණය කරන්නෙකු හෝ රකින්නෙකු නොමැති බවත්, එහි රැකගත යුතු කිසිවක් නොමැති බවත් වගේම අවසානයේදී සියල්ල හැරදා යායුතු බවත් විස්තර කෙරෙනවා. මේ නිසා මෙම අනිත්‍ය ස්වභාවය සියලු සංස්කාර ධර්මයන්හි අඩංගු වූ බව පමණක් අප වටහා ගත යුතුයි. මේ සියලු දෙයම අනිත්‍ය වන්නේ, ලොව සියලු ජීවී හා අජීවී කොටස් හේතුන් නිසා හට ගෙන තිබීම නිසා බව අංගුත්තර නිකායේ, “චතුක්ක නිපාතයේ” වැඩිදුරටත් විස්තර කර තිබෙනවා. කර්ම විපාක විෂය අනුවයි, ලොව බොහෝ ජීවීන් හා ඔවුන්ගේ ස්වභාවයත් නිර්මාණය වෙන්නේ.

ඒ අනුව, ඕනෑම ශරීරයක් නිර්මාණය වෙන්නේ, ජානවල බලපෑම අනුවයි. ඊඟාවට ජීවියාගේ වැඩීම සිදුවන්නේ, එම පරිසර සාධක හා දේශගුණික තත්ත්වයන්ට වගේම පරිභෝජනය කරන සම්පත්වලට (ආහාර පාන ඇතුළු) අනුගතවයි. ඊළඟට එම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වගේම පරිභෝජනය කරන සම්පත්වලට (ආහාරපාන ඇතුළු) අනුගතවයි. ඊළඟට එම ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හා හැකියාවන් නිර්මාණය වෙන්නේ. ඔවුන්ගේ සමාජ හා මානසික වර්ධනය අනුවයි. ඒක මනුෂ්‍ය ප්‍රජාව දිහා බැලුවාම වුණත් පැහැදිලි වෙනවා. චීනයේ මිනිසුන්ගේ හැඩරුව හා වර්ණය මෙන්ම ස්වභාවය අප්‍රිකාවේ මිනිසුන්ට වඩා වෙනස් වී තිබෙන්නේත් මේ හේතූන් නිසායි. මේ ස්වභාවය පිටසක්වල ජීවීන් හෝ අපායවල දුක් විඳින ජීවීන් දිහා බැලුවත් මොනවාට පැහැදිලි වෙනවා.(Budusarana)

ඔබගේ අදහස අපට කියන්න

Close