ප්‍රවේශම් වන්න / ලංකාවට සීකා අවධානමක්

ගැබිනි මවුවරුන්ට බරපතළ සංකුලතා ඇති කරන ඩෙංගු මදුරුවා හරහා පැතිර යන “සිකා” වෛරස්‌ උණ රෝගය යාබද රටවල් කිහිපයකම පැතිර යැම හේතුවෙන් එය ශ්‍රී ලංකාවටද පැමිණීමේ දැඩි අවදානමක්‌ පවතින බව සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ ඊයේ අනාවරණ කළා.
“සිකා” වෛරස්‌ උණ මෙම දිනවල පිලිපීනය, මැලේසියා හා සිංගප්පූරුව යන රටවල පැතිර යන බවත් මෙම තත්ත්වය මත එම රටවලට ගොස්‌ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් තමන්ට උණ වැළඳී ඇත්නම් ඒ පිළිබඳව වහාම කටුනායක ගුවන්තොටුපළෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ළඟම සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉල්ලා සිටී.

ඉහත කී රටවලින් මෙරටට පැමිණෙන රෝගීන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය දැනුවත් කර ඇති අතර ‘සිකා’ වෛරස්‌ උණ වැඩි වශයෙන් පැතිර පවතින දකුණු ඇමරිකානු හා බටහිර පැසිෆික්‌ කලාපීය රටවල සංචාරය කිරීමෙන් මෙරට ගැබිනි මවුවරුන් වැළකී සිටිය යුතු බවද වෛද්‍ය මහීපාල මහතා සදහන් කළා.

ඩෙංගු රෝගය පතුරුවන “ඊඩිස්‌ ඊජිප්ටයි” මදුරු විශේෂය හරහා රෝගය පැතිරීම නිසා ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථාන විනාශ කර තම පරිශ්‍ර්‍රයන් අවට පරිසරය ශුද්ධ පවිත්‍රව තබා ගැනීම රෝගය පැතිරීම වැළැක්‌වීමට වැදගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

දින කිහිපයක්‌ පවතින උණ, සමෙහි කුෂ්ඨ ගතිය, ඇස්‌ රතුවීම, මස්‌පිඬු හා හන්දි වේදනාව, තෙහෙට්‌ටුව හා හිසරදය මෙම රෝගයේ රෝග ලක්‍ෂණ වේ. මෙම රෝගය සඳහා විශේෂ ප්‍රතිකාර හෝ එන්නතක්‌ නොමැති නිසා විවේකය, දියර වර්ග බහුලව භාවිතය හා වෛද්‍යවරුන් ලබාදෙන බෙහෙත් වර්ග ලබා ගැනීම රෝගය සුව කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ.

“සිකා වෛරස්‌ උණ” අවදානම හේතුවෙන් මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සිකා වෛරසය සඳහා ද රුධිර පරීක්‍ෂාව හරහා පරීක්‍ෂණයට ලක්‌ කෙරෙන බව වෛද්‍ය පාලිත මහීපාල මහතා සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close