මහින්දට අතීතය අමතකද ? අමතක වගේ ඉන්නවාද ?

සිය 65 හා 70වැනි සංවත්සරවලදී එජාප හා ශ්‍රීලනිප නායක යන් එකට වේදිකාවේ අසුන්ගැනීම ගැන මහින්ද රාජපක්‍ෂ මහතා හැම තැනකදීම කතාකරයි. ඔහු කියන්නේ ජනාධිපති සිරිසේන එජාප වේදිකාවේ අසුන්ගැනීම ශ්‍රීලනිපය පාවාදීමක් හැටියටය.

මහින්ද රාජපක්‍ෂගේ මේ කතා ඔහු කවදත් භාජනය වී සිටින අතීතය අමතක කිරීමේ රෝගයේම තවත් රෝග ලක්‍ෂණයකි. තමාගේ ආණ්ඩු කාලයේ තමා කළ දේවල් කිසිවක් මතක නැති ආකාරයෙන් ඔහු කවදත් හැසිරෙයි. ඔහුට අනුව ඔහුගේ කාලයේ ජනමාධ්‍යවේදීන්ට කිසිම හානියක් සිදුවී නැත. කිසිම හොරකමක් සිදුවී නැත. රටේ ආර්ථිකය අපූරුවට තිබුණේය. ජාත්‍යන්තරය ලංකාවට ගරු කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැසි වසිමින් තිබුණේය. බලය අනිසි ලෙස පාවිච්චියක් කෙරුණේම නැත. මේ අතීතය අමතක කිරීමේ රෝගය නිසා මහින්ද රාජපක්‍ෂට තමා කළ වැරදි වැඩ ගැන කිසිම විවේචනයක් අද දක්වාත් නැත. ඔහු තවමත් හිතන්නේ, තමා යහපත්, ධාර්මික, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයකු වුණු බවය.

ශ්‍රීලනිපය හා එජාපය අතර පවතින වත්මන් සම්මුතිකාමී ආණ්ඩුව ගැන කුමන විවේචන තිබුණත්, එය ලංකාවට අලුත් දේශපාලන සම්ප්‍රදායක් බව කිවයුතුය. ඒ මීට පෙර එවැනි සම්මුතීන් ප්‍රදාන පක්‍ෂ දෙක අතර ඇති නොවුණ නිසා නොවේ. ඇතිවුණ ඒවා ටික කලෙකින්ම බිඳවැටුණු නිසාය. නැතහොත් බිඳදමනු ලැබූ නිසාය. හොඳම උදාහරණය හමුවන්නේද මහින්ද රාජපක්‍ෂ පාලන කාලයෙනි.

අද ශ්‍රීලනිප එජාප සම්මුතියට විරුද්ධව අවි අමෝරාගෙන සිටින මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ සිටි කාලයේ 2006 ඔක්තෝබර් මාසයේ 23 වැනිදා එජාපය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වූ බව මහින්ද දැන් රටට කියන්නේ නැත. ඔහු වටා ඉන්නා අන් කිසිවෙකු ඒ ගැන කියන්නේද නැත. අරලිය ගහ මන්දිරයේදී එජාපය වෙනුවෙන් එවකට සභාපති මලික් සමරවික්‍රම හා ශ්‍රීලනිපය වෙනුවෙන් එවකට මහලේකම් මෛත්‍රීපාල සිරිසේන සුබ මොහොතින් අත්සන් කළ අවබෝධතා ගිවිසුම, රට මුහුණ දී සිටින ප්‍රධාන අර්බුද කිහිපයක් සඳහා සම්මුතිකාමීව එක්ව විසඳුමක් හොයන්නට ගත් ප්‍රයත්නයක් විය. 2006 ඔක්තෝබර් 12 වැනිදා එකිනෙකා හමුවූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකවරයාත් සාමය, යහ පාලනය, හා සංවර්ධනය වෙනුවෙන් පක්‍ෂ දෙක එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ යුතුයැ’යි තීරණය කළහ. ගිවිසුමට පෙර පක්‍ෂ දෙකෙන්ම පත්කරන ලද කමිටුවලින් පහත කාරණා ගැන නිර්දේශ ජනාධිපතිවරයාට හා විපක්‍ෂ නායකවරයාට ඉදිරිපත් කරන ලදි. එනම්, උතුරු නැගෙනහිර ගැටලුව, මැතිවරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ, යහ පාලනය, සමාජ සංවර්ධනය යනාදිය ගැනය.

ඒ අනුව, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේදී සහාය ලබාදෙන්නට එජාපය ගිවිසුමෙන් පොරොන්දු වුණේය. ඒ වාගේම, 17වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කරන්නටද එජාපයත් ශ්‍රීලනිපයත් ගිවිසුමෙන් පොරොන්දු වුණේය. මේ අවබෝධතා ගිවිසුම සකසා තිබුණේ ඉදිරි අවුරුදු දෙකක කාලයක් එක්ව කටයුතු කරන්නට ප්‍රධාන පක්‍ෂ දෙක එකඟ වන ආකාරයටය. පක්‍ෂ දෙකේ සහයෝගය නිසි පරිදි පවත්වාගෙන යනවාද කියා බලන්නට ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයාගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක්ද ගිවිසුම අනුව ඇතිකරන්නට නියමිත විය.

‘මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ අපට පමණක් නෙවෙයි, දකුණු ආසියාවේ දේශපාලනයටම ලබාදෙන අලුත් ආදර්ශයක් හැටියට අද සිදුකෙරෙන ඓතිහාසික සිදුවීම හඳුන්වන්නට පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක්සත් ජාතික පක්‍ෂයත් එක්වීම ඉතිහාසය පුරාම එහි නායකයන් මහන්සිගත්ත කාරණයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. අපි අලුත් ශිෂ්ටාචාරයක් ආරම්භ කරමු.’ මෙහෙම කිව්වේ ඒ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. ඔහු මෙහිදී කියන වැදගත් වචන නැවත අවධාරණය කළහොත්, ‘අලුත් ආදර්ශයක්, අලුත් ශිෂ්ටාචාරයක් හා ඉතිහාසයේ නායකයන්ගේ වෑයමක්’ ලෙස ඒවා දැක්විය හැකිය.
2006 ඔක්තෝබර් මේ අවබෝධතාව හරහා රනිල් වික්‍රමසිංහ විපක්‍ෂ නායකවරයා සිය පක්‍ෂයේ සහාය ආණ්ඩුවට දෙන්නට පැහැදිලිවම එකඟ වුණේය. විශේෂයෙන් යුද්ධය පවත්වාගැනීමටත්, ජාතික ගැටලුවට විසඳුමක් දෙන්නටත් ඒ සහාය වැදගත් වන බව ඒ අවස්ථාවේදී කියැවුණි.

එහෙත්, වහාම සිදුවුණේ කුමක්ද? මහින්ද රාජපක්‍ෂ මහත් උජාරුවෙන් කී අලුත් දේශපාලන ශිෂ්ටාචාරයට සිදුවුණේ කුමක්ද?
අවබෝධතා ගිවිසුම ඇතිකරගෙන, මාස තුනක් ඇතුළත, එවැනි අවස්ථාවකදී ගිවිසුම්ගත පාර්ශ්වයකට කළ හැකි පහත්ම දේ මහින්ද කළේය.
2010 ජනවාරි මාසයේ මුල් සතියේ එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු එජාප මන්ත්‍රීවරු 17 දෙනෙක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ආණ්ඩුවට එක්වූහ. රනිල් වික්‍රමසිංහ පක්‍ෂ නායකයා සමඟ බල ආරාවුලක පැටළී සිටි කරු ජයසූරිය මහතා, එජාපයේ ඔහුට සමීප කීපදෙනකු සමඟ කළ සාකච්ඡාවලින් පසු, ජනාධිපති මහින්ද සමඟද සාකච්ඡා කොට එලෙස ආණ්ඩුවට එක්වූහ. පළමු වටයේදීම කරු ජයසූරිය සමඟ ආණ්ඩුවට එකතුවුණු පිරිසෙන් දහ දෙනකුට ඇමති ධුර හිමිවිය. එජාප සාමාජිකයන් ලෙස සිටියදීම ආණ්ඩුවට එක්වුණු ඔවුන් ජනතාවට කීවේ, යුද්ධය කරගෙන යෑම සඳහා ජනාධිපතිවරයාට ශක්තිය දීමට තමන් ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, එහෙත් තමන් තවදුරටත් එජාපයේ සාමාජිකයන් වන බවත්ය. ආණ්ඩුවට එකතුවන්නට පෙර, තමා සමඟ කළ සාකච්ඡාවේදී සදාචාරා ත්මක දේශපා ලනයක් කරන නායකයකු නම් මහින්ද කළ යුතුව තිබුණේ පක්‍ෂය කඩාගෙන ආණ්ඩුවට එකතුවීමට එන පිරිස අධෛර්යමත් කිරීම බව ඕනෑම කෙනකුට වැටහෙයි. එහෙත් මහින්දගේ දේශපාලන කැරැට්ටුවේ එවැනි පිරිසිදු වැඩ නැත. තමන්ගේ ගොඩ වැඩිවේ නම් කා සමඟ වුවද ඇති ඇයිහොඳයිකම් කුණු කූඩයට දැමීම ඔහුගේ සිරිතය.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්‍ෂ මාරුකිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒආර්බී අමරසිංහ දුන් තීන්දුවක් අනුව පක්‍ෂයක සිටිමින් ඊට විරුද්ධ පක්‍ෂයට සහාය දෙන විට වුවද පක්‍ෂයේ සාමාජිකත්වය අහෝසි කළ නොහැකිය යන මතය ස්ථාපිත වී තිබුණි. අමරසිංහ විනිසුරුවරයා ඒ තීන්දුව දුන්නේ තමා ඉදිරියට ආ නඩුවකදී, සරත් අමුණුගම ඇතුළු පිරිසක් එජාපයෙන් නෙරපීම ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට අනුව, එනම්, චෝදනා ලැබූවන්ට සිය නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් අවස්ථාවක් දී නැතිය යන පදනම මතය. ඒ නඩු තින්දුව කෝකටත් තෛලයක් නොවේ. කිසියම් පක්‍ෂයක් සිය සාමාජිකයකු ස්වාභාවික යුක්තියේ මූලධර්ම අනුව කටයුතු කරමින්, නිසි සාධාරණ පරීක්‍ෂණ පවත්වා පක්‍ෂයෙන් පහකළහොත් අමරසිංහ නඩු තීන්දුව අනුව එවැනි තීරණයක් බල රහිත වන්නට ඉඩක් නැත.

මේ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ සරල ලෙස කළේ, තමන් එජාපය සමඟ ඇතිකරගත් පොදු සම්මුතිය බිඳ දමා එජාපයෙන් 17දෙනකු ශ්‍රීලනිපයට බාගැනීමයි. එජාපය, ආණ්ඩුවට ඇතුළු නොවී, ඇමතිකම් ලබා නොගෙන ආණ්ඩුවට සහයෝගය දෙන බවට අවබෝධතා ගිවිසුමක් මගින් පොරොන්දු වී තිබියදීත්, මහින්ද රාජපක්‍ෂ මහතා කළේ, ඒ ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඇමතිකම් දී පිරිස කඩාගැනීමය. පක්‍ෂයක් හැටියට ගිවිසුම්ගත වුණාම එහි අවදානමක් තිබෙන නමුත් ඇමතිකම් ගෙන ආණ්ඩුවට තනි තනිව එකතුවුණු අය ඉන්පසු සුවච කීකරුව තමන් සමඟ සිටින බව තේරුම් ගත් මහින්ද ඒ අනුව අවබෝධතා ගිවිසුම කුණු කූඩයට දැමූ බව පැහැදිලිය. මහින්දගේ දෑත ශක්තිමත් කරන්නට ඔහු සමඟ එක්වුණු මේ පිරිස ඇමතිකම් ලැබුණු පසු කටයුතු කළේ මහින්ද රාජපක්‍ෂ බලාපොරොත්තු වුණු ආකාරයටම සුවච කීකරුවය. කොච්චරද කියනවා නම්, පසුව නැවතත් කරු ජයසූරිය මහතා ආණ්ඩුවෙන් කැඩී එජාපය සමඟ එකතු වුණේ මහින්දගේ අවමානයන්, අපවාදයන්, කොටින්ම පරුෂ වචන පවා ඉවසා ගැනීමට බැරිම තැන බව ඒ කාලයේ දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ රහසකි.

මහින්දගේ සම්මුතිකාමී දේශපාලනයේ හැටි එහෙමය. එක පැත්තකින් සම්මුතිවාදය වර්ණනා කරන ඔහු තවත් පැත්තකින් තමන්ගේ අසීමිත බලලෝභය වෙනුවෙන් ඒ මූලධර්ම කඩා දැමීමට වුවද නොපැකිළෙයි. නැතිනම් 2006 දී අලුත් සම්මුතිවාදී දේශපාලන ශිෂ්ටාචාරයක් ලෝකයටම හඳුන්වා දෙන්නට උත්සාහ කළ මහින්ද දැන් එජාපය හා ශ්‍රීලනිපය අතර ඇති සම්මුතියට විරුද්ධ වන පදනම කුමක්ද? එය පැහැදිලිය. ඔහුගේ සියලු තීන්දු තීරණ පදනම් වන්නේ ඒවායින් තමාගේ බලලෝභය තෘප්ත වන තරම-ප්‍රමාණය අනුවය.

මහින්ද මෛත්‍රීපාලට විරුද්ධ වන්නේ ශ්‍රීලනිපය එජාපයට පාවාදීම නිසා බව ඔහු කියයි. ඔහුගේ අනුගාමිකයන් කියන්නේද එයමය. පක්‍ෂ දෙක එක්ව කටයුතු කිරීම පාවාදීමක් නම් එය මුලින්ම කළේ මහින්ද බව අලුතෙන් කිවයුතු නැත. ලංකාවෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට මුලින්ම ගියේත් මහින්ද බව අපට අමතක නැත.

මහින්ද රාජපක්‍ෂට සම්මුතිකාමී දේශපාලනයක් හුරු නැත. ඔහුට හිමි වෛරක්කාර දේශපාලන දැක්මකි. තමන්ගේ සමීපතමයන්ට ඕනෑ තරම් වැරදිකරමින් නිදහසේ ඉන්නට ඉඩ හරින අතරේ විරුද්ධවාදීන්ට එලව එලවා පහරදීම මහින්දගේ පිළිවෙතයි. සරත් ෆොන්සේකාගේ අතීතය මහින්දගේ මේ තිරශ්චීන දේශපාලන භාවිතාව පිළිබඳ හොඳම උදාහරණයයි. අරලිය ගහ මන්දිරයට වරින් වර යමින් එමින් දේශපාලන කතාබහවල යෙදුණු ලසන්ත විකූමතුංග වැනි පුද්ගලයකු ඔහුගේ පාලන කාලයේදීම ඝාතනය කෙරෙන්නේද මේ නියාමය අනුවය. ඝාතනයෙන් පසු ලසන්ත තමාගේ යහළුවකු ලෙස හඳුන්වා දෙමින් කනගාටුව පළකළ නමුත්, 2015 ජනවාරි මාසයේ පරාජය වී ගෙදර යනතුරුත් ලසන්තගේ ඝාතනය ගැන පරීක්‍ෂණ ඉදිරියට පවත්වන්නට අබමල් රේණුවක තරම්වත් උත්සාහයක් මහින්ද ගත්තේ නැත. අද එම ඝාතන විමර්ශනවල මන්දගාමී ස්වභාවයට ප්‍රධාන හේතුවද ඒ කාලයේ කළ යුතු අපරාධ විමර්ශන කටයුතු නිසි ලෙස ඉටු නොකර තිබීමයි.

මහින්දගේ වෛරක්කාරී දේශපාලනයට අනුව එජාපය හා ශ්‍රීලනිපය අතර ඇති වත්මන් සම්මුතිවාදී පාලනය නොකළ යුත්තකි. එහෙත්, එජාපය සමඟ එවැනි සම්මුතියක් පවත්වාගෙන යන්නේ නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ කෙසේදැ’යි ඔහු කිසි තැනක නොකියයි. පහුගිය පාර්ලිමේන්තුවේ එජාපයට ලැබුණු ආසන ගණන 106කි. ශ්‍රීලනිපයට 95කි. පාර්ලිමේන්තුව තුළ බාධාවකින් තොරව වැඩි බලයක් පවත්වාගැනීමට නම් මේ ප්‍රධාන පක්‍ෂ තවත් පක්‍ෂයක හෝ කිහිපයක සහාය ලබාගත යුතුය. එලෙස වෙනත් පක්‍ෂවල සහාය ලබාගැනීමට වැඩි අවස්ථාවක් තිබුණේ එජාපයටය. ශ්‍රීලනිපය අසීරුවෙන් එවැනි උත්සාහයක් ගත්තත් මහින්ද රාජපක්‍ෂ ඉන්නා ශ්‍රීලනිපයක් සමඟ සන්ධාන ගතවන්නට එජාපයවත්, ජවිපෙවත්, ද්‍රවිඩ ජාතික සන්ධානයවත් නොඑන බව පැහැදිලිය. ඒ අතින් බලන විට වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව මේ මොහොතේ නියතයකි. මහින්ද රාජපක්‍ෂ ඊට සපුරා විරුද්ධ වීමත් නියතයකි.

සම්මුතිවාදී ආණ්ඩුවක ස්වභාවය ආණ්ඩුවේ පාර්ශ්ව දෙකටම තේරෙන්නේ නැති බවද හැබෑය. විශේෂයෙන් ශ්‍රීලනිපයේ සමහරුන් කියන කතා ඇසෙන විට හිතෙන්නේ තමන් තනි පක්‍ෂ ආණ්ඩුවක් අටවාගෙන සිටින බවක් ඔවුන් සිතන බවය. මෛත්‍රී හා රනිල් ආණ්ඩුවේ නායකයන් ලෙස සම්මුතිය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයකින් කටයුතු කරනු පෙනෙයි. මේ සම්මුතිය මීට පෙර නොතිබුණු ආකාරයේ එකක් නිසා ඉහළ ස්ථරවල මෙන්ම පහළ ස්ථරවලද හැලහැප්පීම් වැඩිය.
එහෙත්, ගැල ඉදිරියටම යනු ඇත. එලෙස සම්මුතිවාදී* ගැල ඉදිරියට යන විට කාණුවට වැටෙන්නේ මහින්ද රාජපක්‍ෂත්, ඔහු වටා සිටින සහචරයනුත්ය.(Ravaya)

ඔබගේ අදහස අපට කියන්න

Close