යෝෂිතගේ – ඩේසි ආච්චිගේ ගල්කිස්සේ ඉඩම අද මනියි

ගල්කිස්ස මිහිඳු මාවතේ පිහිටි යෝෂිත රාජපක්‍ෂ මහතාට සහ ජේ.සී. පොරස්ට් මහත්මියට අයිති ඉඩමේ මැනීම් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිඛෙනවා.

ඒ ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට  ඒ සදහා අවසර ලබා දෙමින් ඉකුත් දා ලබාදුන් නියෝගයකට අනුවයි.

අද දිනයේදී  එම ඉඩමේ පිඹුරුපත්වල මුල් පිටපත් රැගෙන එයට සහභාගි වන ලෙසද මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට නියෝග කළා.

යෝෂිත රාජපක්ෂ විසින් ගල්කිස්ස මිහිඳු මාවතේ ඔහුගේ මිත්තණිය ජේ.සී. පොරස්ට් විසින් ලබාදී තිබූ බව පැවැසෙන පර්චස් හැටකින් සමන්විත ඉඩමක රුපියල් මිලියන පන්සිය විසිඑකක් වියදම් කර නිවෙසක් ඉදිකළ බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවරා ඇති නඩුවට අදාළවයි මෙම මැනීම් කටයුතු සිදුවන්නේ.

මේ නඩුව අධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු දක්වමින් 2016 සැප්තැම්බර් අටවැනි දින මේ අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව මැනුම්පති හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ලබන 20 දින මිහිඳු මාවතේ පිහිටි ඉඩම මැනීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර එදිනට එම ඉඩමේ පිඹුරුපත්වල මුල් පිටපත් සමඟ සැකකරුවන් දෙදෙනාට එම අවස්ථාවට පෙනී සිටින ලෙස නියෝග කරන ලෙස ඉල්ලා සිටියා.

තවද 2016 ජුනි 09 දින ලබාදුන් නියෝගයකට අනුව සැකකරුවන් 2016 අගෝස්තු විසිහතර වැනි දින පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටියත් ඔවුන් එම ඉඩමේ පිඹුරුපත්වල මුල් පිටපත් ඉදිරිපත් නොකළ බවත් පිඹුරුපත්වල මුල් පිටපත් දෙල්කඳ ඉඩම් රෙජිස්ත්‍රාර් කාර්යාලයෙන් ද විමසා සිටි අතර එහි එම පිඹුරුපත් නොමැති බව රෙජිස්ත්‍රාර්වරිය දැනුම් දුන් බවත් ප්‍රකාශ කර තිඛෙනවා.

තවද මෙම ඉඩමේ මැනුම් කටයුතු කළ මිනින්දෝරුවරයා නොමැති බවත් අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එහිදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ජේ.සී. පොරස්ට් යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, නීතිඥ වරුණ ජයසිංහ, ගීත්ම ප්‍රනාන්දු, රංජිත් දහනායක යන නීතිඥවරුන් කරුණු දක්වමින් දෙවැනි සැකකාර යෝෂිත රාජපක්ෂ සෑම මසකම අවසාන ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට වාර්තා කරන බවත් එය මාස තුනකට වරක් වාර්තා කිරීමට ඉඩ සලස්වා දෙන ලෙසත් ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අනුව සෑම මාස තුනකට වරක් යෝෂිත රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට වාර්තා කිරීමට අවසර ලබාදුන් මහෙස්ත්‍රාත්වරිය සොයාගැනීමට නොහැකි බව පැවැසෙන පිඹුරුපත් 2013 දී ලියා ඇති හෙයින් ඒවා විනාශ වීමට ඉඩක් නොමැති බවයි කියා සිටියේ.

ඒ ඉඩම් ඔප්පුවල මුල් පිටපත්ද රැගෙන එම නඩු මැනීමේ කටයුතුවලට සහාය ලබාදෙන ලෙස සැකකරුවන් දෙදෙනාට තවදුරටත් නියෝග කරමින් විභාගය ලබන ඔක්තෝම්බර් 17 වනදා තෙක් කල් දමා තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close