ලෝකඩ පදක්කම සමග පැරලිම්පික් කණ්ඩායම හෙට දිවයිනට

බ්‍රසීලයේ රියෝද ජැනයිරෝහී පැවැති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දිනාගත් ලෝකඩ පදක්කම සමග ශ්‍රී ලංකා පිල හෙට පස්වරු 5.30ට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලට ගොඩ බසියි. එහිදී ලෝකඩ පදක්කම දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් ඇතුලු ක්‍රීඩක පිරිස උණුසුම් පිළිගැනීමකින් කැඳවාගෙන ඒමට පියවර ගෙන තිබේ.

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා, රෝද පුටු ටෙනිස් හා දුනු විදීම යන ක්‍රීඩා තුන වෙනුවෙන් ශ්‍රි ලංකාවෙන් ක්‍රීඩකයන් 8ක් හා ක්‍රීඩිකාවක් සහභාගීවූ අතර හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝකඩ පදක්කම දිනා ගත්තේය. ඔහු පිරිමි හෙල්ල විසිකිරීමේ F46 (එක් අතක් අහිමි) ඉසව්ව මීටර් 58.23කින් නිමා කරමින් ශ්‍රී ලංකා ධජය එසැවීය.

එය ශ්‍රී ලංකාවට මෙවර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හිමිවූ එකම පදක්කම වන අතර පැරාලිම්පික් ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් දෙවැනි පදක්කම වේ. මෙයට කලින් 2012 ලන්ඩන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ප්‍රදීප් සංජය මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

මේ අතර පැරාලිම්පික් උලෙල සාර්ථකව නිමාවට පත්වූ බව තරග සංවිධායකයෝ පවසති. රියෝ මරකානා ක්‍රීඩා සංකීර්ණයේ පැවැති සමාප්ති උළෙලේදී 2020 මීළඟ ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ජපානයට සත්කාරකත්වය භාරදීම සිදුවිය.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 107ක් රිදී පදක්කම් 81ක් හා ලෝකඩ පදක්කම් 51ක් දිනාගත් චීනය පෙරමුණට පැමිණි අතර බ්‍රිතාන්‍යය රන් පදක්කම් 64ක් රිදී පදක්කම් 39ක් හා ලෝකඩ පදක්කම් 44ක් දිනා දෙවැනි ස්ථානයට පත් විය. රන් පදක්කම් 41ක්, රිදී පදක්කම් 37ක් හා ලෝකඩ පදක්කම් 39ක් දිනාගත් යුක්රේනය තෙවැනි ස්ථානයේ සිටින අතර රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 44ක් හා ලෝකඩ පදක්කම් 31ක් දිනාගත් ඇමෙරිකාව සිවුවැනි ස්ථානයට, රන් පදක්කම් 22ක් රිදී පදක්කම් 30ක් හා ලෝකඩ පදක්කම් 29ක් දිනාගත් ඔස්ට්‍රේලියාව පස්වැනි ස්ථානයටත් පත් විය. සත්කාරක බ්‍රසීලය රන් 14ක්, රිදී 29ක් හා ලෝකඩ 29ක් දිනා 8වැනි ස්ථානයට පත් විය.

ඔබගේ අදහස අපට කියන්න

Close