සිල් රෙදි නඩුව ඇතුලු නඩු 5ක් අද විභාගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පසුගිය පාලන සමයේ සිදු වී ඇති බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන පරීක්ෂනවල ප්‍රගතිය පිළිබදව අද අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිඛෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඉහත කී පරීක්ෂණය ආරම්භ කළ බවයි පොලිසිය කියා සිටියේ.

ඒ යටතේ හිටපු ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග ඇතුළු එවකට පැවති ක්‍රිකට් අතුරු කමිටුවේ සාමාජිකයින් ගණනාවකගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


පැවති ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සහාය වනු පිණිස ජනාධිපතිව සිටි සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු සිදු කළැයි හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනූෂ පැල්පිට යන දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්කි විභාගය අද පැවැත්වෙනවා.  ඒ කොලඹ මහාධිකරණය හමුවේයි.


මිහින් ලංකා ගුවන් සමාගමේ මූල්‍ය කටයුත්තක් මුල් කර ගනිමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද යළිත් විභාගයට ගැනීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මිහින් ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ සමයේ සිංගප්පූරු සමාගමකට රුපියල් මිලියන 883 ක ලාභයක් ලබා දීමේ අරමුණින් කටයුතු කොට ඇති බවට එල්ල වන චෝදනා මත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇති බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ කියා සිටියේ.

අද  අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට නොතීසි යවා ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

ජනපති ලේකම් කාර්යාලය සතු වාහන අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට එරෙහි නඩුවක් විභාග වෙමින් පවතියි.


මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඝාතන නඩු විභාගය අනුරාධපුර විශේෂ මහාධිකරණ ය හමුවේ අද කැදවෙනවා.


බලපත්‍ර නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව අද යළි කැදවෙනවා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක කරුණාරත්න හමුවේයි.

ඔබගේ අදහස අපට කියන්න

Close