අනන්ත සක්වලේ වෙනත් ජීව ලෝක ගැන බුදු දහමේ දේශනාව

අපවත් වී වදාල සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ, මහ නායක අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නාහිමියන් වනාහී බුදුදහම පිළිබඳවත් විද්‍යාව පිළිබඳවත් හසල දැනුමැති මහා පඬිරුවනකි.

අපවත්වන තුරුම ත්‍රිපිටක ග්‍රන්ථ සහ නවීන විද්‍යා  පර්යේෂණ කෘති නොඅඩුව පරිශීලනය කල උන්වහන්සේ සතු ප්‍රඥාවෙන් ලෝකයාට දෙසා වදාළ ලෝක විෂය කරුණු චාමික මුණසිංහ මහතාගේ සංස්කරණයෙන් සක්වල සක්මන නමින් පල කෙරුණි .
මෙ එහි තවත් පියවරක්.

මහානායක හාමුදුරුවනේ, මේ අනන්තවත් සක්වළවල් අතර අපි හුදකලා ලෝකයක ජීවත් නොවීමට නම්, අප වටා තවත් ජීව ලෝක තිබිය යුතු නේද? ඒ මොනවාද?

ඉතා පැහැදිලිව ජීව ලෝක 31 ක් ගැන බුදුදහමේ විස්තර කර තිබෙනවා. කාම ලෝක 11 ක්, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ඒ අතර වෙනවා. අප ජීවත් වන මනුෂ්‍ය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, පේ‍්‍රතාසුර හා නිරය මෙන්ම සදෙව් ලෝකය (දිව්‍ය ලෝක 06) මෙම කාම ලෝක 11 ට ඇතුළත් වෙනවා.

ඒ වගේම, රූප ලෝක ගණයට සොළොස් බඹ ලොවක් ගැන විස්තර කෙරෙනවා. ඊගාවට ,ආකාසනාඤ්චායතනය ආදී අරූපාවචර ලෝක (සිත මිස ඇති කය නැති බඹ ලොව) හතරක් පිළිබඳවත් විස්තර වෙනවා.

මීට අමතරව අංගුත්තර නිකායේ “චූලනිකා සූත්‍රයෙහි” සක්වළ (චක්‍රාවාට) ගැන කර ඇති බුද්ධ දේශනාවෙන් මේ වගේ ජීව ලෝක පිළිබඳව තවදුරටත් තොරතුරු අපට හමුවෙනවා. එනම් ‘සහස්සධා ලෝක “ධාතුවෙහි (චක්‍රවාට හෙවත් සක්වළ දහසක්හි) සඳ හිරු දහසක්, බුදුවරු උපදින ජම්බුදීප දහසක්, සදෙව් ලෝක දහසක් හා බ්‍රහ්ම ලෝක දහසක් ආදි වශයෙන් අනන්ත සක්වළවල් අතර එබඳු තවත් ජීවලෝකද තිබෙනවා. මෙවැනි තැන් සිඛී බුදුරදුන්ගේ (මණ්ඩ කල්පය ) අභිභු රහතන් වහන්සේට පවා විෂය වූ බව අප ගෞතම බුදුරදුන් ආනන්ද හිමියන්ට එහිදී විස්තර කර තිබෙනවා.

අපට ඍජු ලෙස සම්බන්ධ ඉහළ ජීව ලෝකවලට ඇති භූගෝලීය දුර ආසන්න වශයෙන්වත් විස්තර කරන්න පුළුවන්ද? ඔව් සාමාන්‍යයෙන් “චාතුම් මහා රාජිකය” දිව්‍ය ලෝකය මනුලොව සිට සිරස්ව (ඉලිප්සාකාරව නොව) යොදුන් හතළිස් දෙදහක් උසින් පිහිටා ඇති බවට විශ්වාස කෙරෙනවා. එනම්, මහමේරු පර්වතයට පිරිවරව සිටින යුගන්ධර නම් දිව්‍ය (සූක්‍ෂම මිනිස් ඇසට නොපෙනෙන) පර්වතය මත පිහිටි බව කියවෙනවා.

ඊඟාවට “තාවතිංසය” (තව්තිසා දිව් ලොව) යුගන්ධර පර්වතයෙන් යොදුන් හතළිස් දෙදහක් (මනුලොව සිට යොදුන් අසූ හතර දහසක්) ඉහළ මට්ටමේ පිහිටා ඇතැයි සැලකෙනවා. මේ “චාතුර් මහා රාජිකය” හා “තාවතිංසය” යන දෙදෙව් ලොවට අධිපති (ප්‍රධානියා) වන්නේ සක්‍රයා හෙවත් සක්දෙව් රජුයි.

එතැන් සිට ඉහළට එක් එක් දිව්‍ය භූ®මියක්ම පිහිටා ඇත්තේ, එකකට එකක් යොදුන් හතළිස් දෙදහස බැගින් උසින් සිටින සේයි. මේ අනුව, සලකන විට පරනිම්මිත වසවත්ති දෙව්ලොව පිහිටා ඇත්තේ පෘථීවි මට්ටමෙන් යොදුන් දෙලක්‍ෂ පනස් දෙදහසක් පමණ උසකිනුයි.

මේ සදෙව් ලෝකවලටත් ඉහළිනුයි. බ්‍රහ්ම ලෝක ක්‍රමිකව ඉහළට පිහිටා ඇත්තේ, එහි “බ්‍රහ්ම පාරිසජ්ජය” පහළම බ්‍රහ්ම ලෝකය වන අතර ඉහළින්ම පිහිටා ඇත්තේ, “අකණ්ඨක” නම් බ්‍රහ්ම ලෝකයයි. ලෝහ ප්‍රසාදයෙහි (ලෝවාමහාපාය) සත්වෙනි කූටාගාරයට සමාන මහා විශාල පාෂාණයක් (ගලක්) එම බඹලොව සිට පහළ (බිම ) ට දැමුවහොත් එය අවම වශයෙන් පෘථිවියට වැටීමට මාස හතරක්වත් ගත වේවි. ඒ තරම්ම දුරකිනුයි බඹලොව පිහිටා තියෙන්නේ. මේ ලෝකවලට අපිට යා හැක්කේ, සිත දියුණු කිරීමෙනුයි. ඒ සඳහා කුසල් වැඩීමෙන් හැර, ඒ වෙත ළඟාවිය හැකි වෙනත් භෞතික නවීන යානා නැහැ.

එතකොට, එම ඉහළ තලවල පිහිටි ජීව ලෝකවල වෙසෙන දෙව් බඹුන් පිළිබඳව බුදුදහමේ විස්තර වෙන්නේ කොහොමද?

ශක්‍ර දේවේන්ද්‍ර ,වසවර්ති දිව්‍ය රාජයා සහ සුබ්‍රහ්ම දිව්‍ය රාජයා ප්‍රමුඛ අවශේෂිත වූ දෙව් බඹුන් රාශියක් ඒවායේ වාසය කරනවා. අංගුත්තර නිකායේ, දුක නිපාතයේ “සමචිත්ත සූත්‍රය” අසා සාධු නාද පැවැත්වු දෙව්වරුන්ගේ නම් අංගුත්තර අත්ථී කථාවෙහි දැක්වෙනවා. එහි සොතායතන නොලැබෙන අසඤ්ඤසත්තයෙහි හා අරූපාවචර ලෝකවල සත්වයන් හැර සොතාතනය පවත්නා දෙතිස් (32) දෙවිවරු පිළිබඳව පමණක් විස්තර කෙරෙනවා. එම පිරිස් මෙසේයි.

ආකාසට්ඨක දෙවිවරු, අබ්භවළාහක දෙවිවරු, උණ්හවළාහක දෙවිවරු, සීත වළාහක දෙවිවරු, වස්ස වළාහක දෙවිවරු, චාතුම්මහාරාජක දෙවිවරු, සතරවරම් දෙවිවරු, තාවතිංස දෙවිවරු, ශක්‍ර දෙවියෝ, යාම දෙවිවරු ,සුසාමය දෙවිවරු, තුසිත දෙවිවරු, සන්තුසිත දෙවිවරු, නිර්මාණරතී දෙවිවරු, සුනිර්මිත දෙවිවරු, වශවර්ති, දෙවිවරු, වශවර්ති දිව්‍ය රාජයා , බ්‍රහ්මපාරිසජ්ජ බ්‍රහ්මයෝ, බ්‍රහ්ම පුරෝහිත බ්‍රහ්මයෝ, මහා බ්‍රහ්ම බ්‍රහ්මයෝ, පරිත්තාභ බ්‍රහ්මයෝ අප්පමාණභ බ්‍රහ්මයෝ, ආභස්සර බ්‍රහ්මයෝ ,පරිත්තසුභ බ්‍රහ්මයෝ, අප්පමාණසුභ බ්‍රහ්මයෝ ,සුභකිණ්න බ්‍රහ්මයෝ,වේහප්පල බ්‍රහ්මයෝ ,අවිභ බ්‍රහ්මයෝ, ආතප්ථ බ්‍රහ්මයෝ, සුදස්ස බ්‍රහ්මයෝ, සුදස්සි බ්‍රහ්මයෝ සහ අකණිට්ඨ බ්‍රහ්මයෝ ඒ අතර සිටිනවා.

මේ කියපු දෙව් බඹුන්ගේ ආයු කාලයත් එකිනෙක පිරිසට වෙනස් වෙනවාද?

ඔව් චාතුම්මහාරාජිකයේ දිව්‍ය වර්ෂ 500 යි. තාවතිංසයෙ දිව්‍ය වර්ෂ 1000 යි. යාමයේ දිව්‍ය වර්ෂ 2000 යි. තුසිතයේ දිව්‍ය වර්ෂ 4000 යි. නිර්මාණ රතියේ දිව්‍ය වර්ෂ 8000 යි. පරනිම්මිතවසවත්තියේ දිව්‍ය වර්ෂ 16000 යි වශයෙන් ආයුකාලය දක්වා තිබෙනවා. මෙම ආයු කාලයන් මනුෂ්‍ය වර්ෂවලට වඩා බෙහෙවින් වැඩිවෙනවා. ඉහළ බ්‍රහ්ම ලෝකවල ආයු ප්‍රමාණය දිව්‍යලෝකවල ආයු කාලයටත් වඩා ඉතාම වැඩියි.

ඉහළ බ්‍රහ්ම ලෝකවල ඉහත නම් සඳහන් කළ බ්‍රහ්මයින් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඒවායේ වෙසෙන බව “ආටානාටිය සූත්‍රයේ” විස්තර වෙනවා. ආටානාටියේ කියැවෙන සත්බුදුවරු (විපස්සි, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා අප ගෞතම යන බුදුවරුන් සත්දෙනා) සියැසින් දුටු අනාගාමී බ්‍රහ්මයන් ඉහළ බඹතලවල තවමත් වැඩ වෙසෙනවා. ඒ නිසායි, ඉතා මෑත කල්පවල (ආසන්නතම) බදුවරුන්ගේ නම් “ආටානාටිය” ට ඇතුළත් කර තිබෙන්නේ.

ඒ වගේම, සහසක් සක්වළ දෙව් බඹුන් අප ගෞතම බුදුරදුන් සහ මහා සඟරුවන දැකීමට දඹදිව කිඹුල්වත් නුවර මහා වනයට පැමිණි බව “මහා සමය සූත්‍රයේ ” දැක්වෙනවා.දෙවියන් හා අසුරයන් අතර පැවති සටනක් ගැන හා ප්‍රජාපති වරුණ ඊසාන දෙවිවරු පිළිබඳව “ධජග්ග සූත්‍රයේ” සඳහන් වෙනවා.

අප ගෞතම බුදු හාමුදුරුවෝ “මනුෂ්‍ය ලෝකේ සිට එබදු දිව්‍ය ලෝක වෙත වැඩම කළ අවස්ථා පිළිබඳවත් බුදුදහමේ විස්තර වෙනවා නේද?

ඔව්. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ සත්වෙනි වස් කාලය ගත කළේ “තව්තිසා” දෙව් ලොවේ. එහිදි මාතෘ දිව්‍ය පුත්‍රයා (පෙර මහමායා දේවිය) ප්‍රමුඛ දිව්‍ය සමූහයාට උන්වහන්සේ අභිධර්මය දේශනා කරන්නට යෙදුණා. එම කාලය තුළ අප බුදුරදුන්ට ඇප උපස්ථාන කරනු ලැබුවේ. සක්දෙවි ඇතුළු දෙවිවරුන් විසිනුයි.

එම වස්තුන් මාසයෙන් පසු, බුදුහිමියන් යළි මනුලොව වෙත දඹදිව සංකස්සපුර නගරද්වාරයෙන් වැඩම කිරීම සිදුවුණා. එලෙස දිව්‍යලෝකයේ සිට මනුලෝකය (පෘථිවිය ) ට වැඩම කළ අසිරිමත් අවස්ථාව “දේවාරෝහණ උත්සවය” ලෙස හඳුන්වනවා. එය කලින් දැනගෙන මුගලන් හිමියන් (ඍද්ධිමතුන් අතර අගතැන් පත් හා අග්‍රශ්‍රාවක) ඊට අවැසි වූ සියලු කටයුතු සූදානම් කරන්නට යෙදුණා.

ඒ අනුව, බුදුරදුන් වැඩම කරන මොහොතේ, ඉන්දියාවේ සංකස්සපුරයට රැස්ව සිටි සැදැවතුන් අතර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා ද වුණා. සංකස්සපුර සිරිවඩ්ඩන සිටු පුත්‍රයා හෙවත් මේ මහා භද්‍රකල්පයේ අවසන් බුදුවරයා වන මෙත් බෝ සතුන්ද දිව්‍ය ශ්‍රීය දැක බලා පැහැදි ගෞතම බුදු සසුණේ පැවිදි වී උපසම්පදාව ලබා ගැනීම විශේෂ සිද්ධියක් වෙනවා.

බුදුරදුන්ගේ මෙම මනුෂ්‍ය දිව්‍යලෝක ගමනය සහ පිටසක්වල තරණය කිරිමේ “අනාගත අභ්‍යයවකාශ සෝපාන” ක්‍රමය අතර කිසියම් සාම්‍ය බවක් තිබෙන්නට බැරිද?

ඔබ ඔය “අනාගත අභ්‍යවකාශ සෝපාන” ක්‍රමය කියන්නේ, ආචාර්ය ආතර් සී ක්ලාක් මහතාගේ අවසාන විද්‍යා ප්‍රබන්ධයක් වන ඊඩඥ ඹ්චඵබ ඊඩඥධපඥථ (අවසන් සිද්ධාන්තය) කෘතියේ එන සංකල්පය විය යුතුයි. එම කෘතියේ , එතුමා (ආතර් සී ක්ලාක්) ඒක විස්තර කර තියෙන්නෙ මෙහෙමයි.

ගුරුත්වය ද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ශ්‍රී ලංකාවේ ඉදිවෙද්දී ඉන්දියන් සාගරයේ “ලාස් වේගාස්” යන අනුවරත නාමය කොළඹ නගරයට ලැබෙයි” යනුවෙන්.

ක්ලාක් මහතා කියපු” චන්ද්‍රිකා තාක්‍ෂණය,’ පිළිබඳව අනාවැකිය සැබෑ වු පළියටම මේ කියන ගුරුත්වයද ජය ගනිමින් අභ්‍යවකාශ සෝපානය ලංකාවේ ඉදිවෙනවා කියන අනාගත අනාවැකිය කොයිතරම් දුරට යථාර්ථයක් වෙයිද කියන්න බැහැ. එහෙම වුණත් හැබැයි, භෞතිකව නිර්මාණය කරන ඔය කියන අභ්‍යවකාශ සෝපානවලින් අපේ සක්වළ ළඟ තියෙන ග්‍රහලෝක වලට ගියත්, ඉහල තලවල පිහිටි දිව්‍ය ලෝකවලට නම් යන්න බැහැ.(Budusarana)

ඔබගේ අදහස අපට කියන්න

Close