මුරලි යහ ගුණ කුසලාන සටන අදින් ඇරඹෙයි

ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මුරලි සාම කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් අද  සිට 25 වැනිදා දක්වා උතුරු පළාතේදී පැවැත්වීමට නියමිතයි.

2012 වසරේදී ආරම්භ වූ මුරලි සාම කුසලාන ක්‍රිකට් තරඟාවලිය යාපනය, කිලිනොච්චි, මාන්කුලම් සහ ඕඩ්ඩුසුඩාන් යන නගරවල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි තරඟාවලිය සංවිධානය කරනු ලබන ගුණ ජය සතුට පදනම පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ ක්‍රිකට් දැවැන්තයන් තිදෙනකු වන මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ගුණ ජය සතුට පදනමේ ක්‍රියාකාරී සාමාජිකයන් වන අතර තරඟාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හමුදාවේද සහාය ඇතිවයි.

සංහිඳියාව ගොඩ නගමින් ජාතීන් අතර මිත්‍රත්වය සහ හොඳ හිත වර්ධනය කිරීම, කණ්ඩායම් හැඟීම, ක්‍රීඩාවේ සාධාරණත්වය සහ ජීව ගුණය වර්ධනය කිරීම, පශ්චාත් යුද සමයේ වරප්‍රසාද නොලත් ග්‍රාමීය ප්‍රජාව වෙත සෙත සැලසීම මුරලි සාම කුසලානයේ ප්‍රධාන ඉලක්ක බව සංවිධායකයෝ පවසති.

“ශ්‍රී ලංකාව පුරා ජන ප්‍රජාවන් අතර සමගිය සහ මිත්‍රත්වය ගොඩනගමින් මුරලි සාම කුසලානය පස් වෙනි වරටත් එක දිගටම උතුරේ පැවැත්වෙනවා දැකීම මට ඇත්තටම ආඩම්බරයක්,” මුරලිදරන් කියා සිටියේය.

“කුසලානයට තරඟ වදින සියලුම ක්‍රීඩකයන්ට මම සුභ පතනවා.”

තරඟාවලිය සඳහා රට පුරා වයස දහනවයෙන් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් 16 ක් සහ වයස විසි තුනෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම් 08 ක් සහභාගී වනු ඇත.(BBC)

ඔබගේ අදහස අපට කියන්න

Close