පරසතු මල් සිනමා පටයට වසර 50 යි

“පරසතුමල්” සිනමා සක්‌විති ගාමිණී ෙµdන්සේකා අධ්‍යක්‌ෂණය කළ පළමු චිත්‍රපටය. මුල්වරට තිරගත වූයේ 1966 සැප්තැම්බර් 26 වැනිදා. තව දින තුනකින් එනම් මෙම සඳුදා “පරසතු මල්” පනස්‌වැනි උපන් දිනය සමරනු ලබයි.

කේ. ඩී. සෙනෙවිරත්නගේ තිරපිටපත සුමිත්ත අමරසිංහගේ කැමරාව, ටයිටස්‌ තොටවත්තගේ සංස්‌කරණය , ලයනල් අල්ගමගේ සංගීතය සමඟ මුසු වූ “පරසතු මල්” ගී පද රචනා මහගමසේකරයන්ය.

ගීත ගායනා පණ්‌ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් සහ සුජාතා අත්තනායකය . “පරසතු මල්” නිෂ්පාදනය චිත්‍රා බාලසූරියගෙනි.

බොනී මහත්තයා ගාමිණී ෙµdන්සේකා කේන්ද්‍ර කර ගනිමින් දිවෙන චරිත වන කමලා (පුණ්‍යා හීන්දෙනිය), නෝනේ (අනුලා කරුණාතිලක), සිරිසේන (ටෝනි රණසිංහ), අමාරිස්‌ (ඩී. ආර්. නානායක්‌කාර) අපේ සිනමා ලෝකය තුළ උපත ලබා පනස්‌වැනි විය සපුරන්නේ එළැඹෙන සඳුදා දිනයේය.

“පරසතු මල්” පනස්‌වැනි විය සපුරද්දී අපි නෝනේ සමඟ කතා කළෙමු. නෝනේ….අනුලා කරුණාතිලක සිනමා කලා සංග්‍රහය සමඟ එක්‌වූවාය.

ඔබේ මතකය අවුරුදු පනහක අතීතයට ගෙන ගියොත්……..

මට පරසතු මල් රඟපාන්න ආරාධනා කළේ ගාමිණී ෙµdන්සේකා. අපි චණ්‌ඩියා චිත්‍රපටයේ රූගත කිරීම් කරමින් හිටියා. ඒ හැඳල විජය චිත්‍රාගාරයේ නිෂ්පාදක චිත්‍රා බාලසූරිය “චණ්‌ඩියා” දර්ශනතලයට ඇවිත් ගාමිණී සමඟ කතා කරමින් හිටියා. ගාමිණී මාව දැක්‌කා, චිත්‍රා බාලසූරිය සමඟ මා අසලට ආවා. “මෙයා හොඳයි” කියලා කිව්වා. “පරසතු මල්” රූගත කිරීම අරඹන්න කලින් පුණ්‍යා ඇතුළු අපි සියලු දෙනා හමුවුණා. පිටපත ගැන සාකච්ඡා කළා.

‘නෝනේ’ චරිතය රඟපාන්න ඔබ එකවරම කැමති වුණාද?

නෑ….මට ගාමිණී පිටපත ගෙනත් දුන්නා. මම කියවා බැලුවා, මට බය හිතුණා. මම කිව්වා “මට බයයි…… මම මීට කලින් මේ වගේ චරිතයක්‌ කරලා නෑ….කියලා. ගාමිණී මට කිව්වා මේ චරිතය කරන්න….මේක ලස්‌සන චරිතයක්‌….මමයි අධ්‍යක්‌ෂණය කරන්නේ…ඔයාගේ නම කැත වෙන්න ඉඩ දෙන්නේ නෑ….කියලා. මම චරිතය රඟපෑවා. ඒ වගේම හුඟාක්‌ ජනප්‍රිය වුණා.

ඔබ පළමුව පෙනී සිටි දර්ශනය මතකද?

ඔව්…හෙට්‌ටිපොළ පොල්වත්තක පොල් ඇහිඳින දර්ශනය. නෝනේව බොනී මහත්තයා මුලින්ම දකින්නේ ඒ දවසේ. ඊට පස්‌සේ අග්‍රා එකේ දර්ශන රූගත කළා. වරකාපොළ පැත්තේ රබර් වත්තක ලස්‌සන ගෙයක්‌ තිබුණා. එහි රූගත කිරීම් කළා. ‘රන්සළු’ චිත්‍රපටයටත් මේ ගෙදර යොදාගත්තා. අපි උදේ පාන්දරම දර්ශන තලයට යනවා. මට මතකයි “පරවුණු මල්වල” ගීතය රූගත කළේ මහ රැයක.

චිත්‍රපටයේ ගීත ජනප්‍රිය වුණා….?

ඔව්….පරවුණු මල්වල ගීය, “සඳකැන් පිණිදිය” ගීය. මේ මුළු චිත්‍රපටයම ගීයක්‌ වගේ හරිම රසවත්.

ගාමිණී ෙµdන්සේකා නමැති අධ්‍යක්‌ෂවරයාව එදා ඔබ දුටු ආකාරය….

ඔහු හරිම හොඳින් චිත්‍රපටය මෙහෙයවූවා. සැර නෑ.. හරිම ආදරෙන් කණ්‌ඩායමට කතා කළා. ඔහුගේ විශේෂ ගති ලක්‌ෂණ තිබුණා. මගේ වෙස්‌ ගන්වද්දී ඔහු ඇවිත් බලාගෙන ඉන්නවා. අඩුපාඩු පෙන්වනවා. කොණ්‌ඩේ හොඳට පීරලා තිබුණොත් ඔහු ඇවිත් කොණ්‌ඩේ අවුල් කරනවා, චිත්‍රපටයේ ඉන්න ඕනේ ඒ විදිහට කියලා.

ආචාර්ය ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ මහතාත් “පරසතු මල්” ඇතැම් දර්ශන අධ්‍යක්‌ෂණය කළ බවට එකල කතාවක්‌ පැතිර ගියා…?

ඔව්…..ඒත් ඒ කතාව බොරුවක්‌. පුණ්‍යා හීන්දෙණිය ඉන්න ජවනිකා අධ්‍යක්‌ෂණය කළේ ලෙස්‌ටර් මහත්මයා කියලා තමයි කතාව ගියේ. නැහැ…..ගාමිණීට රූගත කිරීම් සඳහා එන්න බැරි වුණු දවසක ලෙස්‌ටර් මහත්මයා ඇවිත් දර්ශන කීපයක්‌ රූගත කළා. ඒත් ඒ අදාළ දර්ශන සියල්ලම ගාමිණී ෙµdන්සේකා එකින් එකට චිත්‍රයට නඟලා තිබුණා. ඒ අනුවයි ලෙස්‌ටර් මහත්තයා රූගත කිරීම් කළේ. නමුත් චිත්‍රපටය අධ්‍යක්‌ෂණය කළේ ගාමිණී.

එදා පරසතුමල් චිත්‍රපටයටත්, ඔබටත් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මංගල දර්ශනය දවසෙම ප්‍රතිචාර ලැබුණා. මට අද වගේ මතකයි එදා ආණ්‌ඩුකාරවරයා වුණ විලියම් ගොපල්ලව මහත්තයාත්, චිත්‍රපටය බලන්න ආවා. චිත්‍රපටය බලලා අවසන් වූ වහාම ගොපල්ලව මහත්තයා මා ළඟට ආවා. මගේ අත අල්ලලා සුබ පැතුවා. මේ වගේ චරිත ඕනෑතරම් ගමේ තියෙනවා….බොනී මහත්තයලා ඕනෑ තරම් ගම්වල ඉන්නවා….කියලා විලියම් ගොපල්ලව මහත්තයා එදා කිව්වා.

ඔබ ගොළු හදවත රඟපෑවේ “පරසතු මල්” චිත්‍රපටයට පසුව…?

ඔව්. “පරසතුමල්” රඟපෑ පසුව “සීතල වතුර”, “දරු දුක” ඉන්පස්‌සේ “ගොළු හදවත” හැටහයේදී රඟපෑවා. “චණ්‌ඩියා” චිත්‍රපටයෙන් ලැබූ ජනතා ආදරය නොඅඩුව දිගටම ලැබුණා. අවුරුදු තුනක්‌ එක දිගටම ජනප්‍රිය නිළිය වුණා. “ගොළු හදවත” දම්මිගේ චරිතය ගැන අදත් කතා කරනවා. දම්මිලා, සුගත්ලා….එදා වගේම අදත් සමාජයේ ඉන්නවා. යෞවනයේ අත්දැකීම්නේ. දම්මිට වගේම තවමත් ජනතාව මටත් ආදරය කරනවා. මට වයස අවුරුදු හැත්තෑවයි. ඒත් අදත් පාරේ තොටේ යද්දී සමහරු මා සමඟ “දම්මි” ගැන කතා කරනවා. දම්මි කියලා මට ආමන්ත්‍රණය කරනවා.

පරසතුමල් “නෝනේ” චරිතය ගැන……?

පී. කේ. ඩී. සෙනෙවිරත්න මහත්තයානේ තිර රචනය කළේ ගැමි චරිත. ඔහු අත්දැකීම් අනුවයි ඒ චරිත ගොඩනඟලා තිබුණේ. රදළ පවුලක උපන් බොනී මහත්තයා දකින දකින කාන්තාවන් ඇසුරු කරනවා. අන්තිමේ “නෝනේ” ගෙන් තමයි බේරෙන්න බැරි වුණේ. නෝනේ බොනී මහත්තයා මත්තෙම එල්ලීගෙන හිටියා. “පරසතු මල්” එන්න එන්නම අලුත් වෙනවා. පැරැණි චිත්‍රපටවලට තවමත් ජනතාව ආදරය කරනවා. අලුත් පරපුර ඒ චිත්‍රපට රසවිඳිනවා.

අද ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද ?

මම දැන් මගේ පොඩි පුතා එක්‌ක මාතර පදිංචිවෙලා ඉන්නවා. ළඟදී උදයකාන්ත වර්ණසූරියගේ “වස්‌සානේ සඳ” චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ මව ලෙස රඟපෑවා. අවුරුදු හතකට පස්‌සෙයි චිත්‍රපටයක රඟපෑවේ. අවුරුදු හතරකට පස්‌සේ අලුත් ටෙලි නාට්‍යයකත් රඟපෑවා. හැමවිටම මගේ රංගන ජීවිතයේ මේ වගේ ලොකු ඉඩක්‌ තියලා තමයි රඟන්නේ. මම විවාහයෙන් පස්‌සේ අවුරුදු දහයක්‌ රඟපෑමෙන් ඉවත්වෙලා හිටියා. “අඹ යාළුවෝ” රඟපාලා ආයිත් අවුරුදු දහසයක්‌ රඟපෑමෙන් ඉවත් වී හිටියා. කාලයක්‌ ඉඳලා ඇවිත් ජනතාවගේ මතකයේ මම ඉන්නවා. අද ඉන්න දරුවන් පවා දන්නවා මම “අඹ යාළුවෝ” ටෙලි නාට්‍යයේ අම්මා කියලා. හොඳ චරිතයක්‌ ලැබුණොත් රඟපානවා. මම දැන් අත්තම්මා කෙනෙක්‌. මුණුපුරන් දෙදෙනයි, මිනිපිරියකු=යි ඉන්නවා. ලොකු පුතා ඔසඳ පදිංචිය ඔස්‌ටේ්‍රලියාවේ, පොඩි පුතා බිනර එක්‌ක තමයි මම මාතර ඉන්නේ……

“පරසතු මල්” අවුරුදු පනහක සංවත්සරය නිහඬව සමරද්දී චිත්‍රපටයේ එන කාගෙත් සිත් ගත් හැඟුම්බර කවි පෙළ මතකයට නැඟේ.

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත හඬන හිරියාමල් පිපුනාවේ
මා ආදරය දුටු බව නොම හැඟුනාවේ
මා නැති කලෙක උන් සුවඳක්‌ දැනුනාවේ

ඔබගේ අදහස අපට කියන්න

Close