අත ලකුණේ අනාගතය ගැන ජ්‍යෙතිෂ්‍යවේදීන්ගෙන් අනාවැකි

ඉදිරි මැතිවරණ වලදී අත ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටී. අත ලකුණ ඉදිරියේදී නිදහස් පක්ෂයට ජය උදාකරයිද යන්න සම්බන්ධයෙන් ජ්‍යොතෂ්‍යවේදීන් පල කළ අනාවැකි එකතුවක් පහතින් කියවන්න.

දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දීර්ඝ ඉතිහාසයක් තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වර්තමානය තුළ තීරණාත්මක අවස්ථාවකට මුහුණදී සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැඩිලා කණ්ඩායම් දෙකක් වන බවට මීට ඉහතදී කිහිපවතාවක්ම අප ප්‍රකාශ කර ඇත.
පක්‍ෂයක සලකුණ හා වර්ණය තීරණය කිරීමේදී පක්‍ෂය පිහිටුවන අයගේ උපන් ග්‍රහචාරයට අනුව එම ගැළපීම කළ යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ උපන් ග්‍රහචාරයට අනුව පක්‍ෂයේ සලකුණු වන අත ලකුණ හා
පක්‍ෂය ආරම්භ කළ මොහොත එතරම් සුබදායක යැයි සිතිය නොහැකිය. පසු කාලීනව ශ්‍රී ලනිපය කීප වතාවක්ම රටේ පාලන බලය දැරුවත් පත්වූ නායකයන් ජයග්‍රහණය කළේ වෙනත් සලකුණු මුල්කරගෙනයි. එයට එම සිදුවීම් කදිම නිදසුනකි පුටුව, බුලත් කොළය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජය සංකේත විණි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවතත් අත ලකුණ යොදා ගනිමින් මැතිවරණවලට ඉදිරිපත් වීම තුළින් පක්‍ෂයට කුමන ඉරණමක් අත්වේද යන්න කවුරුත් විමසිල්ලෙන් බලා සිටින කාරණයකි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන නායකයා වන මෛත්‍රිපාල ජනාධිපතිතුමන් ජයග්‍රහණය කළේ හංසයා සලකුණ මුල් කරගෙනය. එතුමා අත සලකුණ සුබවාදීව පිහිටයිද යන්න එතුමාගේ උපන් ග්‍රහචාරය අනුව විමර්ශනය කර බැලිය යුතුයි. පසුගිය දිනවල සිදුවූ ගුරු මාරුව අප රටට එතරම් සුබ නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුල් සලකුණ නැවතත් කරළියට ගෙනඒම පක්‍ෂයේ ඉදිරිගමනට බාධාවක් වන්නට පුළුවන. ඉදිරි මැතිවරණවලදී අත සලකුණෙන් තරග කළොත් එහි වාසිය ඒකාබද්ධ
විපක්‍ෂයට අත්වීමට බොහෝදුරට ඉඩකඩ පවතී.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී
සරත්චන්ද්‍ර බෝතලාගේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කර ඇත්තේ 1951 සැප්තැම්බර් මස 02 වැනිදාය. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් නායකත්වය දරමින් පංච මහා බලවේග තර කරමින් සියලු වාමාංශික පක්ෂවලට අත දිගු කරමින් ඒකරාශි වූ ශ්‍රීලනි පය පීඩිත ජනතාවගේ පක්ෂයක් බවට පත්විය. මෙහි ලාංඡනය ලෙස අත ලකුණ යොදා ගත්තද එය ශ්‍රීලනි පාක්ෂිකයන්ගේ හදවතටම ගිලා බැස ගත්තේය.
1951 සැප්තැම්බර් මුල් භාගයේ ආරම්භ කළ ශ්‍රීලනිපක්ෂය කෙටි කලකින් 1956 නව රජයක් පිහිටුවීමට තරම් බලවත් විය. ශ්‍රීලනි පාක්ෂිකයා අත ලකුණට දැක්වූයේ අසීමිත ආදරයකි.

ශ්‍රීලනි පක්ෂය ආරම්භ කරන මොහොතේ තත්කාල ලග්නය තුලා ලග්නය බවත් තත්කාල ලග්නයේ පැවැති දෝෂ නිසාත් කාලීනව ග්‍රහයන් ගෝචර වීම තුළින් පක්ෂය තුළ නොයෙකුත් ප්‍රශ්න ඇති වීම සිදු වී ඇත.
පක්ෂයේ උරුමක්කාරයන් පක්ෂය හැරගියත් සමහර අවස්ථාවල පක්ෂය බිමට සමතලා වීමට තරම් ප්‍රශ්න ඇතිවුවත් වැටි වැටී නැඟිටින පක්ෂයක් බව නම් පෙන්වා දිය හැකිය. ශ්‍රීලනි පක්ෂයට අත ලකුණ තරම් කිසිම ලකුණක් නොවටී. අත ලකුණ යොදා ගතහොත් එහෙම බලවේගයන් ඒකරාශි කරගැනීමට අත ලකුණට ශක්තියක් පවතී. කිසි දිනෙක එකතු නොවන
එජාපක්ෂය පවා සම්බන්ධ කරගැනීමට ශ්‍රීලනි පක්ෂයට හැකි වූවා නම් වෙන මොන කතාද?
අත ලකුණ ඉදිරියට එමින් ශ්‍රීලනි පක්ෂය සන්ධාන ගතවූ සෑම මොහොතකම ශ්‍රීලනි පක්ෂය ජයග්‍රාහී මාවතට ගෙන යෑමට හැකි විය. මොන ලාංඡනයෙන් තරග කළත් ශ්‍රීලනි පාක්ෂිකයන් හදවතේ තිබුණේ අත ලකුණය. ඒ ගැන සිතා ඡන්ද පාවිච්චි කළ බව නම් සැබෑය.
මෙවර ශ්‍රීලනි පක්ෂය 65 වැනි සංවත්සරය මහත් අභිමානයෙන් පවත්වමින් වැටි වැටී නැඟිටින ශ්‍රීලනි පක්ෂයට ජවයක් දීමට වර්තමාන ජනාධිපතිතුමාට හැකි විය. එතුමා එහිදී ප්‍රකාශ කළේ මීළඟ සෑම මැතිවරණයක්ම තරග කරන්නේ අත ලකුණින් බවය. මොන බාධක කරදර ආවත් එයට නායකත්වය දුන් නායකයන්ගේ වාසනාව තුළ පක්ෂය ඉදිරියට ගිය බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත.
වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අත ලකුණ ඉදිරියට ගෙන ඒම තුළින් පැහැදිලි වන්නේ පක්ෂය තුළ කැඩී බිඳී ගිය අය නැවත එකතු කරගැනීමට ශක්තිය ලැබෙන බවයි.
කවුරු මොනවා කිව්වත් නව පක්ෂ පිහිටුවන බවට ප්‍රකාශ කළත් සැබෑ ශ්‍රී ලංකාකාරයාට අත ලකුණට පිටුපෑමට නොහැකිය. එයට හේතුව සැබෑ ශ්‍රීලනි පාක්ෂිකයාගේ හදවතේ අත ලකුණ සදාකාලිකව තැන්පත් නිසාය. ඒ තරමට ශ්‍රීලනි පක්ෂය අත ලකුණ නිසා බැබළේ. අත ලකුණ ශ්‍රීලනි පක්ෂයේ වාසනාවන්තම ලාංඡනය බව නම් පැහැදිලිය.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී
එස්.ජේ. සමරකෝන්

ජේ‍යාතිෂයේදී ‘අත’ අයත් වන්නේ තුන්වැනි රාශිය වන මිථුනයේ දෙවැනි ‍ෙදාෂ්කාණයටය. පිරිමියාගේ දකුණු අතේ වැළමිටෙන් පහළත්, ස්ත්‍රීන්ගේ වම් අතේ වැළමිටෙන් පහළ කොටසත් එමඟින් නියෝජනය කෙරේ.
සාමාන්‍යයෙන් අතක ඇඟිලි පහක් පිහිටනු ඇත. නමුත් සමහර අවස්ථාවලදී ඇඟිලි හයක් ඇති අසාමාන්‍ය අත් ද දක්නට ලැබේ. නමුත් 1951 සැප්තැම්බර් මස 02 වැනි දින බණ්ඩාරනායක සිරිමතාණන් විසින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සලකුණ වූයේ ඇඟිලි පහකින් යුත් අතකි.
අප රටේ විසූ නිහතමානී ජන නායකයකු වූ දිවංගත ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිඳුන් විසින් තම අභිනව පක්ෂයේ ලාංඡනය සඳහා ‘අත’ ලකුණ තෝරා ගන්නා ලද්දේ කුමන හේතු සාධක මුල් කරගෙනදැයි කිව නොහැක.

එහෙත් මගේ මනසට ගෝචර වන අන්දමට නම් එතුමා අත ලකුණ තෝරා ගන්නට ඇත්තේ අතක පිහිටන ලද ඇඟිලි පහෙන් ‘පංච මහා බලවේගය’ වන සඟ, වෙද, ගුරු, ගොවි හා කම්කරුවන් නියෝජනය කිරීම සඳහා විය යුතුය. එය උපකල්පනයක් වුවද සමහර විට නිවැරැදි වීමට පුළුවන.
1951 සැප්තැම්බර් මස 02 වැනි දින කුරුණෑගල පිහිටි ශ්‍රී නිශ්ශංක මහතාට අයත් ‘තිරගම වත්තේ’ බංගලාවේදී ‘අත’ ලකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල ලාංඡනය ලෙස සභා සම්මත කරගන්නා ලදී.
එම ඓතිහාසික දිනයේ සූර්යෝදය සටහන් වන්නේ පෙ.ව. 06.36ටය. එම මොහොතේ නැඟෙනහිර ක්ෂිතිජයේ සටහන් වූයේ බලවත් තත්කාල ග්‍රහ ගෝචරයකි. රාජ්‍ය කාරක රවි ග්‍රහයාට අයත් සිංහ ලග්නය හා සිංහ නවාංශකය උදා වූ එම මොහොතේ අංශක ගණනින් ලග්නයේ හරි මැදට සමීප වෙමින් තිබිණි.
ග්‍රහ මඬුල්ලේ රජු ලෙසින් අභිෂේක ලද රවි හෙවත් ආදිත්‍ය කුමරු එම අවස්ථාවේ සිංහ ලග්නගතව ස්වක්‍ෂේත්‍රව හා මූල ත්‍රිකෝණ බලයෙන් විරාජමානව සිටියදී බුධ, සිකුරු, චන්ද්‍ර හා කේතු යන ග්‍රහයන්ද රවි හා යෝගව සිටියේය. එය බලවත් පංචග්‍රහ සංයෝගයකි.
‘අත’ ලකුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා සම්මත කරගත් එම දිනය රවි ග්‍රහයාගේම දිනය වූ ඉරිදාවක් වූ අතර නවාංශක කේන්දරයේද සිංහය තුළම රවි පිහිටීමෙන් රවි ග්‍රහයා වර්ගෝත්තම විය. එය බලවත් පිහිටීමකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, අත ලකුණත් ප්‍රසිද්ධියට පත් කළ එම දිනයේ තත්කාල කේන්දරයේ සිංහ ලග්නය හා රවි ග්‍රහයා කෙතරම් බලවත්ව සිටියද රවි ග්‍රහයා එම අවස්ථාවේ ගමන් කරමින් සිටියේ තමන්ට සතුරු සිකුරුගේ පුවපල් නැකැතේය. එමෙන්ම එදින නැකැත් අධිපති චන්ද්‍රයාද තමන්ට සතුරු පුවපල් නැකැත තුළ ගමන් කිරීම යහපත් ග්‍රහගෝචරයක් ලෙස පෙන්වා දිය නොහැකිය.
පංච මහා බලවේගය නියෝජනය කරනු ලබන
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවතත් ‘අත’ ලකුණින් බලයට පැමිණෙන බව වත්මන් ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කුරුණෑගලදී පැවැසීය.

ප්‍රවීණ ජේ‍යාතිෂවේදී
කොටදෙණියාවේ
ඩග්ලස් ගුණවර්ධන

ඔබගේ අදහස අපට කියන්න

Close