කබ්රාල්ගේ ගණුදෙනු 13ක් හොයන්න / මන්ත්‍රීවරුන් අගමැතිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සේවය කළ සමයේ කරන ලද මහා පරිමාණ ගනුදෙනු 13ක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් භාරදී තිඛෙනවා.
වර්ෂ 2006-2015 දක්වා කාලය තුළ මහ බැංකුව විසින්  කර ඇති, එහෙත් මහා පරිමාණ මූල්‍ය වංචාවන් ලෙස සැලකෙන ගනුදෙනු 13 ක තොරතුරු එම ලිපියට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.
අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරය දැරූ කාලය තුළ කරන ලද ඉහත ගනුදෙනු කිසිවක් පිළිබඳව මහ බැංකුව මේ වන තෙක් කිසිදු පරීක්ෂණයක් කර නැති බවත්, එම ලිපියේ දක්වා ඇතැයි සදහන්.
වසර නවයක කාලයක් පුරා ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ ඉහත ගනුදෙනු 13 පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් හෝ පරීක්ෂණයක් සිදුකරන ලෙසයි එමගින් ඉල්ලීමක් සිදුකර ඇත්තේ.
එම ලිපියේ සඳහන් ප්‍රධාන මූල්‍ය වංචා 13 පහත පරිදි වේ.
01. සම්මත වෙළෙඳ‍පොළ ප්‍රතිපත්තීන් උල්ලංඝනය කරමින් රජයේ අරමුදලින් අවශ්‍යතාවයෙන් 90- 95ක්ම ආයෝජකයන් විසින් පෞද්ගලිකව ඉදිරිපත් කළ මිල ගණන් මත (Privet Placements) ඔවුන් වෙත රජයේ සුරැකුම්පත් විකිණීම තුළින් රැස් කර ගැනීම සහ ඒ හරහා සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා.
02. 2011 වසර සඳහා වන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇති පරිදි ජාතික සංචිත කළමනාකරණය පිළිබඳව වන
විචක්ෂණශීලී ආයෝජන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් ජාතික සංචිත අරමුදල් අත්තනෝමතිකව ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් සිදුකරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 15.6ක් හෙවත් එවකට ආසන්න වශයෙන් රුපියල බිලියන 1.7ක් වූ අලාභය.
2012 ඔක්තෝබර් 25 වැනි දින නිකුත් කරන ලද රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ අතුරු වාර්තාව තුළ මෙය ඉහළ අවදානමක් ඇතිව සහ අවම වගකීම් සහගත බවකින් යුතුව කරන ලද ගනුදෙනුවක් බවක් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනයක් කළ යුතුව ඇති බවත් දන්වා ඇත.
අජිත් නිවාඩ් කබ්රාල් අධිපතිවරයා යටතේ එවකට ඔහුගේ අතකොළුවක්ව කටයුතු කළ ‍‍‍ජ්‍යෙෂ්ඨ මහ බැංකු නිලධාරියෙකු දුන් උපදෙස් මත සිය වෘත්තීයමය භාවය සහ ප්‍රාගුණ්‍යය නොතකා මෙම ආයෝජනය සිදුකරනු ලැබුවේ තවත් ඔවු වැනිම මහ බැංකු නිලධාරියෙකු විසිනි.
03. විගණන වාර්තා තුළින් සහ ජන මාධ්‍යයන් මගින් හෙළිදරව් වූ පරිදි රාජ්‍ය විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් කළමනාකරණයේ දී අනුගමනය කළ යුතු විචක්ෂණශීලී පිළිවෙත් නොතකා හරිමින් සේවක අර්ථ සාධක අරමුද‍ලේ මුදල් අපරික්ෂාකාරී ව ආයෝජනය කිරීමෙන් එම අරමුදලට සිදු වූ අති විශාල අලාභය.
එවකට මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුද‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරිනියකගේ සහෝදරයා සතු සමාගමක මෙයින් ඇතැම් ආයෝජනයන් සිදු කර ඇත.
04. ඊනියා සන්නිවේදන වැඩසටහන මුවාවෙන් එවකට මෙරට ප්‍රබල දේශපාලකයන්ව සිටි කිහිප දෙනෙකු සහ මහ බැංකුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදයේ දී මුණගැසුණ අතර එහිදී ගනු ලැබූ ඡායාරූප ඉදිරිපත් කරමින් මෙම ගමනේ ව්‍යාජ අරමුණ සාර්ථක වූ බව මුදල් මණ්ඩලයට ඒත්තු ගන්වන ලදී. මෙම ගමන සඳහා වූ ඇතැම්  ගෙවීම් එවකට මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරීවරයා විසින් නිසි අනුමැතියකින් තොරව සිදුකර ඇති අතර ඇතැම් ගෙවීම්වලට අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරුණු හේතුකොට ගෙන එම ගෙවීම් ජාත්‍යන්තර බැංකු විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
05. විගණකාධිපති විසින් වාර්තා කර ඇති පරිදි මුදල් නීති පනතේ ප්‍රතිපාදන ඉක්මවා යමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය යන රටවල් ද්වයෙහි නිශ්චල දේපළ අත්පත් කර ගැනීම.
06. මහ බැංකුවේ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂ මෙන්ම මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමයෙහි සභාපතිවරයා ද වූ නිලධාරියා මෙම මිල දී ගැනීම සාධනීයකරණය කරමින් විවිධ ‍ලේඛන ඉදිරිපත් කිරීමට පටන්ගෙන ඇත. මෙම බරපතළ අනනුරූපතාවය විසඳා ගැනීම සඳහා මහ බැංකුව මේ වන විට දැඩි අරගලයක නිරතව සිටී.
07. මුදල් නීති පනත උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකු පරිශ්‍රය අවට පිහිටා ඇති පැරණි ගොඩනැගිලි කිහිපයක් මිල දී ගැනීම.
08. කුලියට බද්දට දීම පිණිස මෙම ගොඩනැගිලි පිළිසකර කිරීමේදී අදාළ කාර්යයන් සඳහා කොන්ත්‍රාත් පිරිනැමීම්වලට අදාළව ඉහතින් සඳහන් කරන ලද මහ බැංකුවේ පහසුකම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ එවකට සිටි අධ්‍යක්ෂට එරෙහිව විගණන විමසුම් රාශියක් ඉදිරිපත් වී ඇත.
09. මහ බැංකු අධිපතිවරයාගේ පරිහරණය පිණිස මිලට ගත් රුපියල් මිලියන 35ක් ඉක්මවන වටිනාකමකින් යුත් මෝටර් රථයක් ද එක් නියෝජ්‍ය අධිපතිවරයෙක් වෙනුවෙන් අනුයාත වර්ෂ 03කදී මිලදී ගත් අලුත්ම වාහන 03ක් ද ඇතුළුව සුඛෝපභෝගී වාහන රාශියක් මහ බැංකුව වෙත කිසිදු අනුමත මිලදී ගැනීමේ පටිපාටියක් අනුගමනය නොකර මිලට ගැනීම.
මෙය ද සිදුකරන ලද්දේ ඉහත කී පහසුකම් කළමනාකරණ අධ්‍යක්ෂ විසින්මය.
10. මහ බැංකුවේ අති විශාල අලාභ නොතකා හරිමින් සහ රජය විසින් මහ බැංකුව වෙත කළ යුතු ගෙවීම් බේරුම් කිරීමෙන් තොරව සකසන ලද ව්‍යාජ ගිණුම් වාර්තා මගින් සිදුකළ ලාභ පැවැරීම තුළින් රජයට මුදල් සැපයීම සහ එමගින් මුදල් නීති පනත මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ගිණුම් ප්‍රමිතීන් ද උල්ලංඝනය කිරීම. එවකට මහ බැංකුවේ ප්‍රධාන ගණකාධිකාරී විසින් මෙම අරමුදල්  මාරු කරන ලද්දේ කළමනාකාරීත්වය විසින් දෙනු ලැබූ වාචික නියෝග මතය.
11. ලෝක වෙළෙඳ‍පොළේ රන් මිල ඉතා ඉහළ මට්ටමක තිබූ අවධියක නිල සංචිත ඉහළ දැමීමේ අරමුණ පෙන්වමින් රන් තොග විශාල වශයෙන් මිලට ගැනීම හේතුවෙන් සිදු වූ අලාභ සහ විදේශ සංචිත ඉහළ නැංවීමේ අරමුණු දක්වමින් මුදල් හුවමාරු ගිවිසුම්වලට එළැඹීම සඳහා දේශීය බැංකු වලට දෙනු ලැබූ අභිමතානුසාරී වට්ටම් හේතුකොට ගෙන ඇති වූ අලාභ.
12. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් භාවිතා කළ මුදල් නෝට්ටු වලට හුවමාරු කිරීම පිණිස රු. 5000 නැවුම් නෝට්ටු මිටිවලින් සමන්විත මලු කිහිපයක් සුරක්ෂිතාගාරයෙන් පිටතට ගැනීම සහ ඒවා එවකට අධිපතිවරයා භාවිත කළ වාහනයෙන් මහ බැංකුවෙන් පිටතට ප්‍රවාහනය කිරීම.
13. ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කිසිදු සාධාරණ හේතුවක් හෝ සාධාරණීකරණය කළ හැකි ප්‍රතිඵලයකින් තොරව නිරන්තරයෙන් විදේශ සංචාරවල යෙදීම මගින් මහජන මුදල් සහ විදේශ විනිමය අපහරණයට ලක් කිරීම මෙවැනි නිරන්තර විදේශ සංචාරවලින් පිදුම් ලැබුවේ අධිපති කබ්රාල්ගේ සමීපතයින්ව සිටි මහ බැංකුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබැවූ නිලධාරීන් කිහිප දෙනෙකි.

ඔබගේ අදහස අපට කියන්න

Close