අගමැති බණ්ඩාරණායක ඝාතනයට වසර 57 යි

රාජාවලියෙන් පසු නූතන ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාවේ පළමු දේශපාලන ඝාතනය සිදුවන්නේ රොස්‌මිඩ් පෙදෙසේදී අගමැති එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකට වෙඩි තැබීමෙනි. 1959 සැප්තැම්බර් 26 වැනිදාව ලංකා ඉතිහාසයේ අඳුරු දවසක්‌ ලෙස සටහන් වුවද එදා උදයේ අගමැති නිවසට එය අලුත් දවසක්‌ නොවීය. අංක 65, රොස්‌මිඩ් පෙදෙස නිවස වෙනදා මෙන්ම කාර්ය බහුල තත්ත්වයේ පසු විය.

අගමැතිතුමා මුණගැසීමට පැමිණ සිටි අමුත්තන් ගේට්‌ටුවේ සිට මිදුල පුරා සිටි අතර ප්‍රභූ පන්තියේ සමහරෙක්‌ ඉස්‌තෝප්පුව ප්‍රදේශයේ තබා තිබූ පුටු මත අසුන්ගෙන සිටියහ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සැසි වාරයකට සහභාගි වීම සඳහා අගමැතිවරයා නිව්යෝර්ක්‌ බලා පිටත්ව යැමට නියමිතව තිබූණේ, තව දින දෙකකින් යෙදෙන සඳුදාය. අගමැතිවරයා දින ගණනාවක්‌ දිවයිනෙන් බැහැරව සිටින නිසා තමන්ගේ කටයුතු කරගෙන යැමට පැමිණ සිටි පිරිස වෙනදාට වඩා තරමක්‌ වැඩි වී තිබුණි.

අගමැති පවුලේ පිරිස ද සිය දෛනික කාර්යාවලියේ නිරතව සිටි අතර බණ්‌ඩාරනායක දරුවන් වූ සුනේත්‍රා සහ චන්ද්‍රිකා ශාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය වෙත ද අනුර රාජකීය විද්‍යාලය වෙත ද පිටත්ව ගොස්‌ සිටියහ.

අගමැති බිරිඳ බණ්‌ඩාරනායක මහත්මිය, හේමා දාබරේ සමඟ නිවෙස පිටුපස කොටසේ කතා කරමින් කිසියම් කාර්යයක නිරතව සිටියහ.

උදෑසන 9.15 පමණ වන විට බණ්‌ඩාරනායක අගමැතිතුමා උඩු මහලේ නිදන කාමරයේ සිට පහත මාලයට පැමිණියේය. අගමැතිතුමාගේ පළමු කාර්යය වූයේ එම මොහොතේම තම නිවෙසට පැමිණ සිටි ඇමෙරිකානු තානාපති බර්නාඩ් ගµaලර් මහතා සමඟ සාකච්ඡා කිරීමය.

ඇමෙරිකානු තානාපතිවරයා සමඟ සාකච්ඡාව නිමා කළ බණ්‌ඩාරනායක මහතාට ආලින්දයේ අසුන්ගෙන සිටින එන්. ඊ. වීරසූරිය දක්‌නට ලැබුණි. සිරිමාවෝ මහත්මියගේ සොහොයුරු බාන්ස්‌ රත්වත්තේ, එදින උදෑසන රාජනීතිඥ එන්. ඊ. වීරසූරිය හා අගමැතිතුමන් අතර හමුවක්‌ පිළියෙල කර තිබුණි. එනිසා ප්‍රථමයෙන්ම එන්. ඊ. වීරසූරිය සමඟ සාකච්ඡා කළ අගමැතිවරයා ආලින්දයෙහි වූ අනික්‌ අමුත්තන් වෙත අවධානය යොමු කළේය.

අගමැතිවරයාගේ ඊළඟ අවධානය යොමු වූයේ, සෙනෙවිරත්න නමැති තරුණයා වෙතය. ඔහු පැමිණ සිටියේ අගමැතිවරයාගෙන් චරිත සහතිකයක්‌ ලබා ගැනීමටය. අගමැතිවරයා සෙනෙවිරත්න යාබද කාර්යාල කාමරයේ සිටි ලිපිකරු වෙත යොමු කළේය.

සෙනවිරත්න කාර්යාලයේ සිටින විට ඉදිරිපස ආලින්දය දෙසින් වෙඩි හඬක්‌ ඇසුණි. බියට පත් සෙනවිරත්න කාර්යාලයෙන් එළියට එන විට දුටුවේ සෝමාරාම ආලින්දයේ බිම වැතිර සිටින අන්දමය. සෙනඟ ඔහු වට කරගෙන සිටියහ. කාර්යාලයෙන් තමාගේ ලිපිගොනුව අතට ගෙන මිදුලට එන විට ඔහු දුටුවේ ජාතික ඇඳුමෙන් සැරසුණු තුවාල ලත් පුද්ගලයකු පෝටිකෝව යට වැතිර සිටින අන්දමය.

හෙට දිනයට වසර 57 ක්‌ සපුරන මේ ෙ€දජනක කතාව පිළිබඳව මතකය අලුත් කර ගැනීම සඳහා අප වැඩිදුර ගියේ නැත. සම්පත් දායකයා සිටියේ අත ළඟය. උපාලි පුවත්පත් සමාගමේ සභාපතිනිය ලක්‌මණි රත්වත්තේ වෙල්ගම මහත්මිය ඒ සඳහා අපගේ තේරීම විය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මියට නැන්දා යනුවෙන් ලක්‌මණි මහත්මිය අමතන්නේ, සිය පියා වූ දොස්‌තර සීවලී රත්වත්තේගේ එක කුස උපන් අක්‌කා, සිරිමාවෝ මැතිනිය බැවිනි. බණ්‌ඩාරනායක පවුල සමඟ සීවලී රත්වත්තේ පවුල තිබුණේ ඥති සමීප සම්බන්ධතාවකි. ලක්‌මණි රත්වත්තේ මහත්මිය සමග අපගේ කතා බහ සඳහා කාලය වෙන් කරන විටම ඇගේ අම්මා වූ සීතා රෝහිණි එල්ලාවල රත්වත්තේ හෙවත් සීවලි රත්වත්තේ බිරියද ඒ කතා බහට එක්‌ කර ගත්තේ, තවත් මතක ගබඩාවක්‌ අපේ කතා බහට එක්‌ කර ගැනීමේ අභිප්‍රායෙනි.

“එදා දවස මට හොඳට මතකයි… එදා මගේ උපන් දිනය. අම්මා මට සමනලයෙකුගේ හැඩයට කේක්‌ එකක්‌ හදලා තිබ්බා. එතකොට මගේ අප්පච්චි වැඩ කළේ කාසල් රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ලෙසයි. ඒ නිසා අපිට කාසල් වීදියේම නිල නිවසක්‌ ලැබිලා තිබුණා. මට උපන් දින තෑග්ගක්‌ ගන්න කියලා අම්මයි තාත්තයි, ගියා…”

ලක්‌මණි රත්වත්තේ මහත්මිය කතාවට මුල පුරනවාත් සමගම එල්ලාවල මහත්මිය ද කතාවට දායක වන්නට පටන් ගත්තාය.

“උපන් දින තෑග්ගට මෙයා ඉල්ලුවේ බෝනික්‌කෙක්‌… ශැම්පු කරලා, කොණ්‌ඩේ හෝදන්න පුළුවන් ලොකු බෝනික්‌කෙක්‌ ඕනේ කියලා තමයි කිව්වේ. ඒක ගන්න මමයි මහත්තයයි කොටුවේ කාර්ගිල්ස්‌ සාප්පුවට ගියා. “අගමැතිතුමාට වෙඩි තියලා…” අපි සාප්පුව ළඟ බහිනවාත් එක්‌කම එතැන හිටපු අය කෑගහන්න පටන් ගත්තා.  මොන බෝනික්‌කොද…? යමු …යමු…” කියලා මහත්තයා ඉක්‌මනට කාර් එකට නැග්ගා. අපි කෙළින්ම ගියේ රොස්‌මිඩ් පෙදෙසට… එතැනට යන්න බැහැ… ඒතරමට සෙනඟ පිරිලා. ඒ පාර මහත්තයා එතැනින් බැහැලා, ඩ්‍රයිවර් කෙනෙක්‌ එක්‌ක මාව ගෙදර එව්වා.

මව සහ දුව මේ කතා කරන්නේ එදා දවසේ උච්චතම මොහොත පිළිබද සිය අත්දැකීමය. සිය මාමා, බණ්‌ඩාරනායක අගමැතිතුමා සමඟ එදා කුඩා දියණියක ලෙස සුරතල් වූ ලක්‌මණි, මාමා සමඟ ඇගේ අත්දැකීම් විස්‌තර කරන්නට වූවාය.

“හැමදාම හැන්දෑවට අප්පච්චි රොස්‌මිඩ් ප්ලේස්‌ යනවා. ඒ යන බොහෝ අවස්‌ථාවල අපිවත් එක්‌කගෙන යනවා. මාමා ඉන්නේ හාන්සි පුටුවට වෙලා, පයිප්පය උර උරා… මාව දැක්‌ක ගමන් මාමා  “ආ එන්න මගේ පොඩි කොල්ලා… චම්පි… මගේ කෙල්ල නෙමෙයි, කොල්ලා.” කියලා මට කියනවා. ඒ කාලේ මම අඳින්නේම ටීෂර්ට්‌ එකයි කලිසමයි. ඒ නිසා මට විහිළුවට කියන්නෙම කොල්ලා කියලා. “මල්ලි යන්න, අන්න අයියා උඩ ඉන්නවා…” කියලා අනුර අයියා ඉන්න තැනට යන්න කියලා මගේ ඔලුව අතගානවා. මාමා අරලියගහ මන්දිරය ගෙදර විදිහට පාවිච්චි කළේ නැහැ. ඒක අග්‍රාමාත්‍ය, කාර්යාලය විදිහට තමයි පාවිච්චි කළේ. එක දවසක්‌ අපි අරලියගහ මන්දිරයට ගියා. අනුර අයියයි, එයාව බලා ගන්න හිටපු ඡේනුයි, මමයි, මාව බලාගත්ත මැණිකෙයි, ඩ්‍රයිවරුයි තමයි ගියේ. ඒ දවස්‌වල අරලිය ගහ මන්දිරය මිසක්‌ වෙන ගොඩනැඟිලි ඒ ඉඩමේ තිබුණේ නැහැ. ඒක ලොකු ඉඩමක්‌. එහෙ පෝනියෙක්‌ හිටියා. අනුර අයියා පෝනියාව පදින්න ගත්තා. මම නම් කවදාවත් පෝනි පදින්න යන්නේ නැහැ. මම ඒවට බයයි. පෝනියා පදින කොට, අනුර අයියාව බිමට වැටුණා. මම හොඳටම බයවෙලා අඬන්න ගත්තා. පස්‌සේ එතැන වැඩ කරපු සේවකයෝ එහෙම එකතුවෙලා අයියාව පිහිදාලා ගත්තා. තුවාල මුකුත් වුණේ නැහැ. එදා හැන්දෑවේ අපි රොස්‌මිඩ් ගෙදර ගියා… එතකොට මාමා හාන්සි පුටුවේ වාඩිවෙලා ඉන්නවා.

එතකොට මම මොකද කිව්වේ අම්මා…” රත්වත්තේ මහත්මියගෙන් ලක්‌මණි මහත්මිය කතාව මැදදී විමසන්නට වුවාය.

එක පාරටම දුව, මිස්‌ටර් බණ්‌ඩාරනායක ගාවට දුවලා ගියා.  “මාමා … මාමා … අයියා දඩෝන් ගාලා අස්‌පයා පිටින් වැටුණා. ඉතිං මම ඇඬුවා…”.

“චම්පි කොල්ල ඇඬුවේ ඇයි…?”

“අයියා වැටුණාට මට දුකයි”

මේ කතාව මිස්‌ටර් බණ්‌ඩාරනායකට හරි විනෝදයක්‌ වුණා.

“ඊට පස්‌සේ මාව දකිනකොට මිනිස්‌ටර්ස්‌ලා ඉස්‌සරහා දැටිස්‌ මයි චම්පි කොල්ලා…ඔන්න කියන්න ඔක්‌කොම ඉන්න තැන, අයියා වැටුණ හැටි… කියලා මට කියලා අර කතාව කියවා ගන්නවා. මම චම්පා ලක්‌මණි නිසා, මාමා තමයි මට චම්පි කියලා නමක්‌ දැම්මේ. අනුර අයියාට කියන්නේ මල්ලෝ, චන්ද්‍රිsකා අක්‌කට නංගෝ, සුනේත්‍රා අක්‌කාට, අක්‌කා කියලා තමයි මාමා කතා කළේ. ඇත්තටම හරි හොඳ ගතිගුණ තිත්බ අහිංසක කෙනෙක්‌. වෙඩි වැදිලා ඉස්‌පිsරිතාලේ මාමා ඉන්න කොට අපේ තාත්තාගේ අත අල්ලගෙන කියලා තියෙන්නේ  “ලූකාෆ්ටර් අනුර කියලා” අනුරව හොඳට බලාගන්න කියලා තමයි, එදා අන්තිමට ඉල්ලලා තියෙන්නේ.”

බණ්‌ඩාරනායක මතකය මේ දෙදෙනාගේ අතින් සුපැහැදිලිව කියවෙයි. සමීප නෑකම සහ ඊටත් එහා ගිය හිතවත්කම මේ මතකයේ නිදාන කතාවය.

“මිස්‌ටර් බණ්‌ඩාරනායක කොච්චර හොඳ කෙනෙක්‌ ද කිව්වොත්, වෙඩි තියපු මිනිහට හිරිහැරයක්‌ කරන්න එපා කිව්වලු. එයා බාල කෙනෙක්‌ කිව්වලු. මෝඩයා කියන වචනයවත් පාවිච්චි කරලා නැහැ. ඒ නිසා කිසිම හිරිහැරයක්‌ කරන්න එපා කිsව්වලු. ” ඒ මතකය එල්ලාවල රත්වත්තේ මහත්මියගේය. මිස්‌ටර් බණ්‌ඩාරනායක, අපේ මහත්තයා එක්‌ක හරිම යාළුකමක්‌ තිබ්බා. එයාගේ නම සීවලි නිසා, මිස්‌ටර් බණ්‌ඩාරනායක එයාට ආදරයට කිව්වේ ශිවා බෝයි කියලා. මහත්තයා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගියේ රොස්‌මිඩ් ගෙදර ඉඳලා. එක දවසක්‌ එයාගේ බයිසිකල් එක හොරු අරගෙන තිබ්බාලු. මේක ගෙදර ඇවිල්ලා කියපු ගමන් සිsරිමාවෝ අක්‌කා බණින්න පටන් ගත්තාලු. ඒත් කිසිම වචනයක්‌ කියන්නේ නැතිව මිස්‌ටර් බණ්‌ඩාරනායක එයාට බයිසිකල් එකක්‌ අරන් දුන්නලු.

බණ්‌ඩාරනායක මහත්තයා හොඳ බෞද්ධයෙක්‌ වුණා. එයා හොඳට බුද්ධාගම ඉගෙන ගත්තා. තරුණ කාලේ බණ්‌ඩාරනායක තව යාළුවො කට්‌ටියක්‌ එක්‌ක කොළඹ ලේඩිස්‌ ක්‌ලබ් එකට ටෙනිස්‌ ගහන්න ගිහිල්ලා තියෙනවා. මේක වෙලා තියෙන්නේ එංගලන්තේ ඉඳන් ආපු දවස්‌වල. එතැන තිබිලා තියෙනවා පොඩි පන්සලක්‌. ඒ එක්‌කම සයිවර් කඩයක්‌ තිබ්බලු. හැමදාම ටෙනිස්‌ ගහලා ඉවරවෙලා සයිවර් කඩේට ගිහිල්ලා කෑම කන්න මේ කට්‌ටිය පුරුදු වෙලා ඉඳලා තියෙනවා. එක දවසක්‌ කාලා යන්න හදන කොට වහින්න පටන් අරන් තියෙනවා. “බණ්‌ඩා… බණ්‌ඩා… ඉට්‌ස්‌ ගොයින් ටු රේන්…” කියලා යාළුවො ටික බයිසිකල්වල නැඟලා යන්න ගිහින්. මෙයා වැස්‌සේම ගහක්‌ යටට වෙලා ඉදලා.ඒ වෙලාවේ එතැන බෝ ගහ ළඟ පොඩි පන්සලේ බණ කතාවක්‌ තිබිලා. ඒක අහන්න තමයි මෙයා නැවතිලා තියෙන්නේ. එකේ මාතෘකාව කල්‍යාණ මිත්‍රයෝ. එදා බුද්ධාගම ගැන හිත පැහැදිලා තියෙන්නේ. මහත්තයාට මේ කතාව කියනකොට  “ශිවා බෝයි… දැට්‌ ඩේ අයි වොස්‌ එන්ලයිටන් බයි බුඩිසම්” කියලා කිව්වා. එදා තමයි මිස්‌ටර් බණ්‌ඩාරනායක බුද්ධාගම හිතට අරගෙන තියෙන්නේ. එයා නිතරම අපිට කියන්නේ Ñඕගොල්ලෝ උපතින් බෞද්ධ. සීයා, සීයාගේ සීSsයා නිසා බෞද්ධ. මම ඉගෙන ගෙන බෞද්ධ වුණේ.” කියලා. එහෙම කියන්නේ හරි ආඩම්බරයෙන්. ඒවගේ හිත හොඳ කෙනෙක්‌ මම නම් කවදාවත් දැකලා නැහැ.”

අගමැතිවරයාගේ මරණයෙන් පසුව සිය නැන්දණිය සමඟ එක වහළක්‌ යට වසන්නට, ලක්‌මණි මහත්මිය ඇතුළු රත්වත්තේ පවුලට සිදු වූහ..

“මගේ පවුලේ හිටියේ මම විතරයි… අනිත් අයට එක්‌කෝ ළමයි කිහිප දෙනෙක්‌ හිටියා. ඒ නිසා අපි තුන්දෙනා, රොස්‌මිඩ් ගෙදර නැවතුණා. අපි හිටියේ පල්ලෙහා කාමරේ. ඒ කාලේ අයියා හරිම දඟයි. තාත්තාගේ හුරතලය නැතිවෙච්ච නිසා එයා කේන්තියෙන් වගේ තමයි හිටියේ. අක්‌කලා දෙන්නා එතකොට ලොකුයි. කාර්ගිල්ස්‌ එකට ගිහිල්ලා අයියාට කොමික්‌ස්‌ බුක්‌ ගේන්නේ මාමාමයි. මාමා පාර්ලිමේන්තු ගිහිල්ලා එන සමහර දවස්‌වල මේ පොත් ගේන්න අමතක වෙනවා. අනුර අයියා ගිහිල්ලා “තාත්ති කෝ මගේ කොමික්‌ස්‌ බුක්‌” කියලා අහනවා… Ñ”කොල්ලෝ, මගේ රජෝ… මට මතක නැතිවුණා. ” කියලා ආයිත් කාර් එකේ මාමාම ගිහිල්ලා පොත් අරගෙන එනවා. මේ වගේ දේ නිසා අයියා හිටියේ ගොඩක්‌ දුකෙන්. මගේ යාළුවා වුණේ අයියා තමයි. “මේ මගේ අම්මා, මේ මගේ අප්පුච්චා…ඔයාව අහුලා ගත්තේ කාණුවෙන්…” කියලා අපේ අම්මයි අප්පච්චියි පෙන්නලා, මට කියනවා. උදෙන්ම අපේ ඇඳට ඇවිල්ලා, අම්මාගෙයි අප්පච්චිගෙයි මැද්දට එයා පනිනවා. එතකොට මට හරියට කේන්ති යනවා. උදේට ඇවිල්ලා, “මාමා තාත්තා එයිද…?” කියලා අයියා අපේ අප්පච්චිගෙන් අහනවා… එක දිගට ඒකම අහනවා.

අනුර අයියා නම් හරිම දඟයි. ඉස්‌සර අපි ඔක්‌කොම සිල් ගන්න යන්නේ කොටුවේ ජනාධිපති මන්දිරේට. නැන්දා අගමැති කාලේ, එකේ හිටියේ ගොපල්ලව. අනුර අයියට, එක විදිහකට ඉන්න බැහැ. දොළහට කාලා ඉවර වුණාම, අනුර අයිය ආයිත් ටොµs එකක්‌ හරි ඉල්ලනවා.

එතකොට නැන්දා අහක බලාගෙන ඉන්නවා. හවස හය වෙනකං ඉන්න හරිම අමාරුයි. එයා ගාව පොඩි කොටි පැටියෙක්‌ හිටියා. කවුද කෙනෙක්‌ එයාට ගෙනල්ලා දීලා. මම නම් ඒ කොටියා අතේ ඉන්න කොට යන්නවත් කැමැති නැහැ. එක දවසක්‌ නැන්දා කැබිනට්‌ මීටින් එකේ ඉන්න කොට අයියා මේ කොටි පැටියව මේසෙට ගෙනල්ලා දාලා. ඇමැතිවරු ඔක්‌කොම බයවෙලා. පැටියෙක්‌ වුණත් කොටියෙක්‌නේ… මාමාත් සත්තුන්ට හරිම ආදරෙයි. ඔය විමුක්‌තිත් සත්තුන්ට ආදරේ ඒ පරම්පරා පුරුද්දට වෙන්න ඇති.

අගමැති බණ්‌ඩාරනායක චරිතයක්‌ නොව යුගයකි. එම යුගයේ සන්ධිස්‌ථානමය මතකයන් අතින් මේ දෙපල බොහෝ පොහොසත්ය.

ඒ ශෝචනීය දිනය පිළිබඳව මතක්‌ කරන විට පවා ලක්‌මිණි රත්වත්තේ වෙල්ගම මහත්මිය සහ සීතා රත්වත්තේ මහත්මිය තවම එය අදහාගත නොහැකි කතාන්දරයක්‌ සේ කියාගෙන යන්නෝය.

එදා උදෑසන කාර්ය බහුලත්වය මැද්දෙන් නිවන්තිඩියේa ආනන්ද හිමි අගමැතිවරයා මුණගැසීමට පැමිණ සිටියේ, පොළොන්නරුවේ, කෘෂිකාර්මික අලෙවිසලට කළමනාකාරවරයකු පත්කර ගැනීම පිණිස, අගමැතිවරයාගේ සහාය ලබා ගැනීමටය. පෙර දින සන්ධ්‍යාවේ අගමැතිවරයා මුණගැසීs ඒ පිළිබඳව පෙත්සමක්‌ භාර දුන් විට, අගමැතිවරයා ආනන්ද හිමියන්ට සිකුරාදා පෙරවරුවේ පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

පෙරවරු නවයයි තිහට අගමැතිවරයාගේ රොස්‌මීඩ් නිවෙසට පැමිණි ආනන්ද හිමි, සෙනෙවිරත්න නැඟිsට යැමෙන් හිස්‌වූ අසුනෙහි වාඩි විය. එතැන සිට අඩි හයක්‌ පමණ ඈතින් ආලින්දයේ දකුණු පසට වෙන්නට සෝමාරාම අසුන් ගෙන සිටියේය.

ආනන්ද හිමි එක්‌සත් භික්‌ෂු පෙරමුණෙහි සාමාජිකයකු නොවූවත් 1944 සිටම සෝමාරාම හඳුනාගෙන සිටියේය. ඉඩම් ඇමැති සී. පීs. ද සිල්වාගේ 1952 ඡන්ද ව්‍යාපාරයේදී පොළොන්නරුව ආසනයේ ඡන්ද කටයුතු සඳහා ආනන්ද හිමි සක්‍රීයව සහභාගි වෙමින් ඔහුගේ ජයග්‍රහණය සඳහා සහාය වී තිබුණි.

සියම් නිකායට අයත් භික්‌ෂුවක වූ සෝමාරාම, නිකායට නොගැළපෙන ආකාරයෙන් දෙඋරහිසම වැසෙන ලෙසින් සිවුර හැඳ සිටිනු ආනන්ද හිමි නිරීක්‌ෂණය කළේය. සෝමාරාම මෙලෙස නුහුරු ආකාරයෙන් සිවුරු ඇඳ සිටීම පිළිබඳව ආනන්ද හිමියන්ගේ සිතෙහි දැඩි කුකුසක්‌ ඇති කළේය.

සෙනෙවිරත්නට කතා කර ඔහු ලිපිකරු වෙත යෑවීමෙන් පසු අගමැතිවරයා ආනන්ද හිමියන්ට වැඳ පැමිණි කාරණය විමසා සිටියේය. සමුපකාර සංවර්ධන කොමසාරිස්‌වරයාට අවශ්‍ය කරුණ පිළිබඳව දන්වා ඇති නිසා එම කාර්යාලය වෙත ගොස්‌ කොමසාරිස්‌වරයා හමුවන ලෙස ආනන්ද හිමියන්ට අග්‍රාමාත්‍ය උපදෙස්‌ ලැබුණි. අසුනින් නැගිටි ආනන්ද හිමි අගමැතිවරයාට ස්‌තුති කර ආපසු යැමට සැරසුණේය. ආනන්ද හිමි දෙසට හැරුණු අගමැතිවරයාද සමුපකාර සංවර්ධන කොමසාරිස්‌ කාර්යාලය වෙත යන අන්දම දන්නේ දැයි විමසීය.

එයට පසු අගමැතිවරයා ආලින්දයේ කෙළවරක සිටි භික්‌ෂුන් වහන්සේ කෙනෙකු වෙත ගොස්‌ පැමිණියේ මන්දැයි විමසනු ආනන්ද හිමියන්ට ඇසුණේය.

ඒ සමඟම වෙඩි හඬක්‌ නැඟුණි. ආපසු හැරුණු ආනන්ද හිමි දුටුවේ දෙඅතින්ම රිවෝල්වරයක්‌ අගමැතිවරයා දෙස එල්ල කර ගෙන සිටින සෝමාරාමය.

“කවුරුවත් එන්න එපා. මගේ වැඩේ ඉවරයි.” සෝමාරාම පවසනු නිවෙස තුළට යන හේම දාබරේට ඇසුණි. අග්‍රාමාත්‍යයෙ කාර්ය මණ්‌ඩලයේ හේම දාබරේ මෙන්ම, ආනන්ද හිමියන් ද, සෝමාරාමගේ එම වදන්වලින් සිතුයේ, අගමැතිවරයාට වෙඩි තැබීම ඔහුට පැවරූ මෙහෙයක්‌ ඔහු නිමා කළ බවය.

හේම දාබරේ සෝමාරාම වෙත කඩා පනින විට සෝමාරාම දාබරේගේ කකුලට වෙඩි පහරක්‌ එල්ල කළේය. සෝමාරාමගේ අතින් පිස්‌තෝලය ගිලිහුණු අතර ඔහු එය ගැනීමට තැත් කළේය. බිම වැටුණු සෝමාරාම යටපත් කර ගැනීsමට රත්වත්තේට සහ දාබරේට හැකි විය. උදෑසන දහයට අගමැතිවරයා කොළඹ මහ රෝහලට ඇතුළත් කරන ලද අතර වෛද්‍ය පීs. ආර්. ඇන්තනිස්‌ගේ අධීක්‌ෂණය යටතේ අගමැතිවරයා ප්‍රතිකාර සඳහා යොමු විය.

“මට ඒ තරම් අමාරුවක්‌ නැහැ. වෙඩි කීපයක්‌ වැදුණා විතරයි” අගමැතිවරයා සැහැල්ලු ලෙස රෝහලේ සිටි අයට පැවැසීය.”

“මට වෙඩි වැදුණේ ඉස්‌සරහින්… දැන් ඔබ මට පිටුපස්‌සෙන් වෙඩි තියන්න හදනව ද?” එක්‌ස්‌ කිරණ පරීක්‌ෂණයකට සූදානම් කරන අතර අගමැතිවරයා විහිළුවක්‌ ද කළේය.

වෛද්‍ය ඇන්තනිස්‌ගේ ප්‍රධානත්වයෙන් වූ කණ්‌ඩායමක්‌ අගමැතිවරයා සඳහා ශල්‍යකර්මයක්‌ කිරීමට ලහි ලහියේ සූදානම් වූහ.

“අගමැතිතුමා මොකද වුණේ?” වෛද්‍ය ඇන්තනිස්‌ අගමැතිවරයාගෙන් විමසිය.

“කළු දෙයක්‌ සිවුර යටින් එළියට එනකම් මම දැක්‌කෙ නැහැ මොකද වෙන්න යන්නෙ කියලා” අගමැතිවරයා පැවැසීය.

ශල්‍යකර්මය දහවල් එකොළහට ආරම්භ වූ අතර එය නිම කිරීමට පැය පහක්‌ ගත විය.

“සිවුරක්‌ ඇඳගත්ත පහත් පුද්ගලයකු අද උදෑසන මගේ නිවසේදී මට වෙඩි තබන ලදී. ඔහුට කිසිදු හිරිහැරයක්‌ නොකරන ලෙස මම ඉල්ලා සිටිමි. මගේ රටේ ජනතාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ ඉවසිලිවන්තව සිටින ලෙසය. කිසිවකුට හිරිහැර නොකරන ලෙස මම ඉල්ලා සිටිමි.” අගමැතිවරයා ගිලන් යහන මත සිටම ජනතාව වෙත පණිවුඩයක්‌ නිකුත් කළේය.

අගමැතිවරයා වෛද්‍ය ඇන්තනිස්‌ගේ සුපරීක්‌ෂාව යටතේ රාත්‍රිය ගත කළේය. වෛද්‍යවරුන් කෙතරම් දැඩි උත්සාහයක යෙදුණත් සැප්තැම්බර් විසිහය වැනි දින පෙරවරු 7.45 ට එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක සිය නාමය ඉතිහාසයට එක්‌ කර සමු ගෙන ගොස්‌ තිබුණි.

ඔබගේ අදහස අපට කියන්න

Close