තිස්සට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

ව්‍යාජ ලේඛනයක් සකසා ජාතීන් අතර සමගිය කඩාකප්පල් කිරීමට තැත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට  ලබන මස 19 වනදාඅධිකරණයේ පෙනී සිටින මෙන් කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඉහත කී චෝදනාව යටතේ හිටපු සෞඛ්‍යය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට  එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ පැවරූ නඩුවකට අදාළවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන විසින් අදාළ නොතිසිය නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අධිචෝදනා පත සලකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර රටට හානිකර ගිවිසුමක් ඇති කර ගෙන තිබෙන බව සඳහන් ව්‍යාජ ලේඛනයක් තිස්ස අත්තනායක මහතා විසින් මාධ්‍ය හමුවකදී ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇති බව අධිචෝදනා පත්‍රයේ සඳහන්.

ඒ හරහා තිස්ස අත්තනායක හිටපු ඇමතිවරයා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්ති පනත උල්ලංඝනය කරමින් වරදක් සිදු කර ඇති බව දක්වමින් නීතිපතිවරයා විසින් ඉහත කී අධිචෝදනා ඉදිරිපත් කරනු ලැබ තිඛෙනවා.

 

ඔබගේ අදහස අපට කියන්න

Close