දත් රෝගවලට නොවරදින පිළියම්

පාසල් දරුවන් අතර පවතින බහුලතම රෝග අතර දන්තාබාධයන්ට ඇත්තේ ප්‍රධාන තැනකි. දන්ත සායනය හෙවත් දත්වල කුහර ඇතිවීම, විදුරු මස් දියවීම ඇතුළු ඒ රෝග නිසා දැඩි වේදනාවට හා පීඩාවට පත්වන දරුවන් එම රෝගී තත්ත්වයන්ගෙන් මුදා ගන්නේ කෙසේ ද? වැඩිහිටියකුගේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා අත්හළ යුතු අයහපත් පුරුදු මොනවාද? නිවැරැදිව දත් හා විදුරු මස් පිරිසුදු කළ යුතුවන්නේ ඇයි? අද ඔබ දැනුම්වත් කෙරෙන්නේ මේ පිළිබඳවයි.

දන්ත ව්‍යසනය, එසේත් නැතිනම් තවමත් ව්‍යවහාරයේ පවතින දත්පණුවන් කෑම සිදුවන්නේ කෙසේ ද?

අප ගන්නා ආහාර (පිටි සහ සීනි) දත්වල සහ දත් අතර රැඳී තිබීමෙන් ඒ මත බැක්ටීරියා වර්ධනය වෙනවා. එවිට එම ආහාර කැබලි පැසීමකට ලක් වී එතැන පළමුව මධ්‍යසාරත් දෙවනුව විනාකිරිත් (ඇසිටික් අම්ලය) නිෂ්පාදනය වෙනවා. එසේ ඇති වූ ඇසිටික් අම්ලය මඟින් දත්වල ඇති කැල්සියම් පොස්පේට් ඉවත් කිරීම නිසා දත දියවී කුහර සැදෙනවා. දන්ත ව්‍යසනය ලෙස හැඳින්වෙන්නේ ඒ ක්‍රියාවලි‍යයි.

බුරුසුවකින් දත් පිරිසුදු කිරීමේදී සමහර අයගේ විදුරුමසින් ලේ ගලන්නේ ඇයි?

විදුරුමසින් රුධිරය ගැලීමට ප්‍රධාන හේතුව විදුරුමස බැක්ටීරියා ආසාදනයට ලක්වීමයි. දත්වල බැඳී ඇති මැලියම්වල ජීවත්වෙන ලක්ෂ සංඛ්‍යාත බැක්ටීරියාවන් විසින් නිපදවනු ලබන අපද්‍රව්‍ය සහ විෂ ද්‍රව්‍ය මඟින් විදුරු මසෙහි ප්‍රදාහ තත්ත්වයක් ඇති වෙනවා. විදුරුමස රතු පැහැවීම, ඉදිමීම, සැරව ගෙඩි ඇතිවීම, සැරව ගැලීම ආදිය සිදු වන්නේ ඒ හේතුවෙන්.

ඊට අමතරව විටමින් ඌණතාව, අපස්මාරය සඳහා භාවිත කරන ඖෂධ නිසා ද විදුරුමසෙන් රුධිරය ගැලිය හැකියි. විදුරුමසට සිදුවන අනතුරු මෙන්ම ලියුකේමියා වැනි රුධිරගත රෝග ද ඒ සඳහා හේතු විය හැකියි. ගර්භණී සමයේ ඇතිවන හෝර්මෝන වෙනස්කම් ද ඊට බලපාන්නට පුළුවන්.

විදුරුමසින් ලේ ගලන විට දත් පිරිසුදු කළ යුත්තේ කෙසේ ද?

එවැනි අවස්ථාවක සාමාන්‍ය බුරුසුවකින් දත් මැදීම ඉතා වේදනාකාරී විය හැකියි. ඒ නිසා දත්වල මැලියම් ඉවත් කිරීමට සුමුදු කෙඳි සහිත බුරුසුවක් භාවිත කිරීම සුදුසුයි. කළ යුතු වන්නේ විදුරුමස සහ දත් මැදීමට වඩා ඒවා පිස දැමීමකුයි. දත් මැදීමේ දී බුරුසුව තදින් දත් අතර එහා මෙහා ගෙන යාම නුසුදුසුයි. යමක් ලියන විට පෑනට බර දෙන ප්‍රමාණයට දත් මදින විට බුරුසුවට බර දීම ප්‍රමාණවත්.

උඩු ඇන්දේ දත් ඉහළ සිට පහළටත්, යටි ඇන්දේ දත් පහළ සිට ඉහළටත් වන ආකාරයට බුරුසුවේ කෙඳි ගෙන යාම ද වැදගත්. සෑම අතටම බුරුසුව ගෙන යාමෙන් නරක් වූ විදුරුමස තව දුරටත් තුවාල විය හැකියි. විදුරුමස නරක් වී තිබේ නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමු වී අදාළ ප්‍රතිකාර ගැනීම වැදගත්.

පාසල් දරුවකු නම් පාසල් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමු වී අදාළ ප්‍රතිකාර ගැනීම වැදගත්.

පාසල් දරුවකු නම් පාසල් දන්ත චිකිත්සකවරයකු හමු වී දත් සහ විදුරුමස අතර තදින් බැඳී ඇති දන්ත පථ හෙවත් මැලියම් ඉවත් කොට මුඛය පිරිසුදු කරගත හැකිය. ‘ස්කේලිං’ කරගැනීම ලෙස හැඳින්වෙන්නේ ද එම ප්‍රතිකාර ක්‍රමයයි. එම ප්‍රතිකාරවලින් පසු එම වෛද්‍යවරයා වෙතින් ම දත් හා විදුරුමස් ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාගත යුතුයි.

කිරි දතක් නරක් වීමෙන් පසු එය ගලවා ඉවත් නොකළේ නම් පසුව එන ස්ථිර දතට බලපෑමක් වෙනවා ද?

කුඩා දරුවකුගේ මුලින් එන කිරි දත් 20 නියමිත කාලයක දී වැටී ස්ථිර දත් එනවා. යම් හෙයකින් එසේ ව්‍යසනයට ලක් වූ කිරි දතක් ගලවා නොදැමීමෙන් පසුව එන ස්ථිර දතේ හැඩය වෙනස් වීමට හෝ විකෘති වීමට පුළුවන්.

කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුතු නිවැරැදි ක්‍රමවේදයක් තිබෙනවා ද?

ඔව්. බොහෝ කුඩා දරුවන් දත් මැදීමට දැඩි මැළිකමක් දක්වනවා. ඒ නිසා දරුවාත් සමඟම මවත් දත් මැදීමට පෙලඹිය යුතුයි. උදේ ආහාරයෙන් පසු සහ රාත්‍රී ආහාරයෙන් පසු දත් මදින්නට දරුවා හුරු කළ යුතු අතර අවුරුදු පහක් පමණ වනතුරු ඒ සඳහා දරුවාට උදවු කළ යුතුයි. විශේෂයෙන් අවුරුදු 5 – 7 අතර කාලයේ දී දරුවා දත් මදින ආකාරය වැඩිහිටියකුගේ මනා අධීක්ෂණයට ලක්විය යුතුයි. කටේ දන්තාලේප පුරවාගෙන දත් බුරුසුවෙන් කූරූ ගෑම නිවැරැදි දත් පිරිසුදු කිරීමක් නොවන බව ද දරුවාට වටහා දීම ඉතා වැදගත්.

ළදරුවකුගේ දත් පිරිසුදු කිරීම කළ යුත්තේ කෙසේ ද?

සාමාන්‍යයෙන් ළදරුවකු ගේ කිරි දත් මතු වන්නේ මාස 06 න් පසුවයි. මෙහිදී දරුවා නින්දට ගිය පසු පිරිසුදු සිනිඳු තෙත් රෙදි කැබැල්ලක් දත් මත තබා පිස දැමීම කළ හැකියි. එමෙන්ම පිරිසුදු රෙදි කැබැල්ල ඇඟිල්ලේ පටලවා දිව මතුපිට ඇති කිරි කාරම ද ඉවත් කිරීම පුරුද්දක් කරගත යුතුයි.

පාසල් දරුවන් අතර දන්ත ව්‍යසනය වැඩියි කියන්නෙ ඇයි?

පාසල් දරුවන් අතර දන්ත ව්‍යසන වැඩිවීමට ප්‍රධානම හේතුව ඔවුන්ගේ ආහාර රටාවයි. අතීතයට වඩා වර්තමානයේ මේ තත්ත්වය වැඩි වී තිබෙනවා. විශේෂයෙන් චොක්ලට්, ටොෆි ආදි පැණි රස ආහාර සහ පිරිපහදු කළ ආහාර නිතර නිතර ආහාරයට ගැනීම හා ඉන්පසු හොඳින් කට නොසේදීම ඊට හේතුවයි. රසකැවිලි වෙනුවට පලතුරු ආහාරයට හුරු වීම, ප්‍රධාන ආහාර වේලකින් පසුව පමණක් පැණි රස ආහාර ගැනීමට ද හුරුවීම වැදගත්.

දත් කැක්කුම හට ගන්නේ දතක් නරක් වීමෙන් පමණ ද?

දත් කැක්කුම හට ගැනීම සඳහා බලපාන හේතු රැසක් තිබෙනවා. දන්ත ව්‍යසනය හෙවත් දතක් නරක්වීම ඉන් ප්‍රධානයි. ඊට අමතරව දත් පිපිරීම, දතේ සංවේදී කොටස් විවෘත වීම (විදුරු මස් දියවීම නිසා) සැරව ගෙඩි හා විදුරුමසේ වෙනත් ආසාදන ඊට බලපෑ හැකි මූලික සාධකයන්. එසේ වුවද දන්තමය නොවන, එහෙත් දත්වලට යාබදව ඇති වායු කෝටරය ප්‍රදාහය සහ ‘නියුරැල්ජියා’ නම් වූ දත් අවට පටකවලට සැපයෙන ස්නායු ප්‍රදාහයන් නිසා දත් කැක්කුම ඇති විය හැකියි.

දත් කැක්කුම සමනය කරගත හැකි ප්‍රතිකාර තිබෙනවා ද?

දත් කැක්කුම හට ගත් පසු අධික වේදනාවක් හට ගන්නවා. දතෙහි වේදනාව ඇතිවේගන එන විගසම ප්‍රථමාධාරයක් ලෙස වේදනා නාශක ඖෂධයක් ලබා ගත හැකියි. පැරසිටමෝල්, ඉබියුප්‍රොපේන්, මෙෆනමික් ඇසිඩ්, ඩයික්ලොෆැනැක් සෝඩියම් හා ඩයික්ලොෆිනැක් පොටෑසියම් වැනි ඖෂධ ලබා ගත හැකියි. කෙසේ වෙතත් වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ගැනීමයි. වෛද්‍යවරයා විසින් රෝගියා හොඳින් පරීක්ෂා කර බලා සුදුසු ප්‍රතිකාර නියම කිරීම ඊට හේතුවයි.

දතක් නරක් වූ පසු එය ගැලවිය යුතුම ද?

නෑ. දතක් ගලවා දැමිය යුතු වන්නේ එය සංරක්ෂණය කිරීමට වෙනත් විකල්පයක් නොතිබුණේ නම් පමණයි. දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා දත් ආරක්ෂා කරගැනීමේ ක්‍රම ගණනාවක් තිබෙනවා. නවීන දන්ත ශල්‍ය වෛද්‍ය ක්‍රම භාවිතයෙන් දත් පිරවීම, ස්නායු පිරවීම, ගැලවූ දත වෙනුවට එතැනට ස්ථිරව කෘත්‍රිම දතක් සවි කිරීම (බ්‍රිජ් දැමීම) සහ දත් සිටුවීම ඉන් ප්‍රධානයි. කෙනෙකු ගේ දන්තාබාධයට ගත යුතු පිළියම කුමක්දැයි තීරණය කළ හැකි වන්නේ දන්ත ශල්‍ය වෛද්‍යවරයකු පමණයි.

දතක් ගැලවීමෙන් පසු පිළිපැදිය යුතු උපදෙස් තිබෙනවා ද?

දතක් ගැලවූ පසු පැය භාගයක්, ඇතැම් විට පැයක් පමණ ගතවන තුරු එතැනින් රුධිර වහනය විය හැකියි. එම නිසා දත ගැලවූ තැන කුහරයට පුළුන් කැබැල්ලක් ඔබා සපාගෙන සිටිය යුතුයි. දත ගැලවූ ස්ථානය දිවෙන් හෝ ඇඟිල්ලෙන් ස්පර්ශ නොකිරීම ද කළ යුතුයි. විෂබීජ ඇතුළු වී දත් කුහරය පැසවිය හැකි වීම ඊට හේතුවයි. එමෙන්ම පැය දෙක තුනක් ගත වන තුරු උණුසුම් ආහාරපාන ගැනීමෙන් ද වැළකී සිටිය යුතුයි. දත ගලවා පැය තුනක් පමණ ගත වූ පසු හා දින කිහිපයක් යනතුරු මඳ උණුසුම ඇති ලුණු වතුරෙන් කට සේදීම වඩාත් සුදුසුයි.

දතක් ගැලවීමෙන් පසු එම ස්ථානයේ රළු ගතියක් දැනෙන්නේ ‍දතේ කොටසක් ඉතිරි වීම නිසා ද?

නෑ. දත ගැලවූ ස්ථානයේ ඇති හනුක අස්ථි කොටස් එසේ දිවට රළුවට දැනිය හැකියි. දින කිහිපයකට පසු දන්ත කුහරය විදුරුමසින් වැසී යාමත් සමඟ එම රළු බව නැතිවී යා හැකියි.

හදිසි අනතුරක් නිසා දතක් අහිමි වූ අවස්ථාවක කළ යුතු වන්නේ කුමක් ද?

දත ගැලවී ගියේ කුඩා දරුවකු ගේ නම් වහාම එය මවගේ කටේ හෝ මවුකිරිවල, පැස්ටරීටීකරණය කරන ලද කිරිවල හෝ සේලයින්වල හෝ දමා දන්ත ශල්‍ය වෛද්‍යවරයා වෙත ගෙන යා යුතුයි. එම දත නැවත සවි කළ හැකි අතර පැය භාගයක් ඇතුළත එය සිදු කළේ නම් ඉතා සාර්ථක විය හැකියි.

වැඩිහිටියකුගේ වුවද හදිසි අනතුරක දී දතක් ගැලවී ගියේනම් එය විසිකර දැමීම නොකළ යුතුයි. ගැලවී ගිය දතේ මුල තවමත් සජීවී සෛල ඇති නිසා එහි කෙළවරින් අල්ලා කුණු තැවරී තිබේ නම් තත්පර දෙකක් පමණ පිරිසුදු වතුරෙන් සෝදා වහාම කටේ තබාගෙන දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වෙත ගෙන යා යුතුයි. ඒ සඳහා ඔබ ඉක්මන් වන තරමට ප්‍රතිඵල සාර්ථකයි.

සමහර අයගේ මුඛය ඇතුළත, දිවේ සහ තොල් කෙළවර වරින් වර වේදනාකාරී තුවාල හට ගන්නේ ඇයි?

ඒ සඳහා විවිධ හේතු බලපෑ හැකියි. වරින්වර හට ගන්නා මේ තුවාල ‘අප්තස් වණ’ හෙවත් ‘ආතති වණ’ වීමට පුළුවන්. තොල්වල යටි පැත්තේ, දිවේ යටි පැත්තේ, මුඛය පතුලේ සහ කම්මුල ඇතුළු පැත්තේ ඒ තුවාල හටගත හැකියි. මේ තුවාල ඇතිවීමට බලපාන නිවැරැදි ම හේතුවක් සොයා ගෙන නැතත් විටමින් ඛනිජ ලවණ ඌණතා ඊට හේතු විය හැකියි. එසේත් නැතිනම් වෛරස් ආසාදනයක්

වීමට ද පුළුවනි. නිතර අධික ආතතියෙන් සිටින අයගේ ද ‘අප්තස්’ ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. ඒ තුවාලවලින් ඇතිවන වේදනාව සමනය කිරීම සඳහා ආලේපන සහ වේදනානාශක ඖෂධයක් වෛද්‍ය උපදෙස් අනුව ලබාගත හැකියි.

මුඛයේ හටගන්නා එවැනි වණ පිළිකාවක පෙරනිමිති ද?

නෑ. අප්තස් වණ හෙවත් ආතති වණ කිසි විටෙකත් පිළිකා බවට පත් නොවන අතර ඒවා දින කිහිපයකින් සුව වෙනවා. සාමාන්‍යයෙන් මුඛයේ පිළිකාවක් සෑදීමට පෙර එම ස්ථානයේ සුදු පැහැති හෝ රතු පැහැති ලප ඇතිවිය හැකියි. එසේත් නැතිනම් සුව නොවන තුවාලයක් හට ගත හැකියි. මේ තත්ත්වයන්ට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර කළේ නම් පිළිකා බවට පත්වීම වළක්වා ගත හැකියි. ඒ නිසා එවැනි පූර්ව පිළිකා අවස්ථා මතුවේදැයි විමසිල්ලෙන් සිටීම වැදගත්. එවැනි සැකයක් ඇති වූයේ නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමු වීම ද වැදගත්.

සාමාන්‍යයෙන් මුඛ පිළිකාවට ප්‍රධාන හේතුව බුලත් විට සැපීම, දුම්පානය සහ මත්පැන් භාවිතයයි. මේ පුරුදුවලින් දුරස් වීම ද මනා මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හේතු වනවා.

දත් දෙකක් අතර කුහර සෑදී තිබේ නම් කළයුතු වන්නේ කුමක්ද?

දත් දෙකක් අතර කුහර සෑදී තිබෙනවා යනු දත් දෙකම ව්‍යසනයට ලක්වීමයි. එවැනි අවස්ථාවක දන්ත ශල්‍ය වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ප්‍රතිකාර ගත යුතුයි‍.

දියවැඩියා රෝගියෙකු, ව්‍යසනයට ලක්වූ දතක් ගැලවීම සුදුසු ද?

දියවැඩියාව ඇති අයගේ දත් ව්‍යසනයට ලක්වීමේ මෙන් ම විදුරු මස් රෝග ඇති වීමේද වැඩි නැඹුරුවක් තිබෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් දන්ත සෞඛ්‍ය රැක ගැනීම පිළිබඳව වඩාත් උනන්දු විය යුතුයි.

දියවැඩියාව මෙන් ම අධිරුධිර පීඩනය සහ හෘදයාබාධවලට ලක්වූ රෝගීන් ද ව්‍යසනයට ලක්වූ දතක් ගැලවීමේ දී අදාළ රෝග සඳහා ප්‍රතිකාර ගන්නා වෛද්‍යවරයාගෙන් මෙන් ම දන්ත ශල්‍ය වෛද්‍යවරයාගේ ද සහය ලබාගත යුතුයි. විශේෂයෙන් ව්‍යසනයට පත් දතක් ඉවත් කැරෙන්නේ එම රෝග පාලනය කිරීමකින් පසුවයි.

අයිස්ක්‍රීම් හා අඹ වැනි ඇඹුල් සහිත පලතුරු ආහාරයට ගැනීමෙන් දත් දිරා යනවා කියන කතාව ඇත්තද?

බොහෝ අයට අඹ වැනි ඇඹුල් සහිත ආහාර ගත්විට දත් හිරි වැටීමට ලක් වෙනවා. එසේ වන්නේ දන්තිනිය’ නිරාවරණය වූ විට යි. අයිස්ක්‍රීම් කෑමෙන් පසු හොඳින් කට සෝදා නොදැමීමෙන් දත් දිරාපත් විය හැකියි. ඒ හැර අයිස්ක්‍රීම් හා අඹ දත්වලට අගුණ වන්නේ නෑ.

දත්වල ඇතුළු පැත්තේ ඇති ගන මැලියම් දත් දිරායාමට බලපානවාද?

ඔව්. ඒ මැලියම් අතර ජීව ක්‍රියාව නිතරම සිදුවෙනවා. බැක්ටීරියා වියෝජනයක් සිදුවෙනවා. එය දන්ත ව්‍යසනයට බලපානවා.

සමහර අය දත් පිරිසුදු කිරීම සඳහා විවිධ කුඩු වර්ග සහ ලුණු භාවිතා කරනවා. එය සුදුසු ද?

නෑ. දත් පිරිසුදු කිරීම සඳහා භාවිතා කරන කුඩු වර්ග නිසා දත් සීරී යා හැකියි. දත් මැදීම සඳහා ලුණු කුඩු භාවිතය නුසුදුසු වුව ද ලුණු වතුර භාවිතය වරදක් නොවෙයි.

දත් පිරිසිදු කිරීමේ නිවැරැදි ක්‍රමයක් තිබෙනවා ද?

ඔව්. එක් අවස්ථාවක දී දත් පිරිසිදු කිරීම සඳහා ප්ලෝරයිඩ් අඩංගු දන්තාලේප කඩල ඇටයක් ප්‍රමාණයක් හොඳටම ප්‍රමාණවත්. පනාවක රැඳුණු කුණු ඉවත් කරන ක්‍රමයට අත තද නොකර බුරුසුවෙන් දත් අතර රැඳුණු කුණු ඉවත් කළ යුතුයි. කැඩපතක් දෙස බලාගෙන පහසුවෙන් හා පිළිවෙළට දත් පිරිසුදු කර ගැනීම පහසුයි. වරකට මිනිත්තු 5 – 10 බැගින් අවම වශයෙන් දිනකට දෙවරක්වත් කෑමෙන් පසු දත් මැදීමෙන් මුඛයේ පිරිසුදු බව ‍ රඳා පවත්වා ගත හැකියි.

මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකි යහපත් පුරුදු මොනවා ද?

දත් සිදුරු අතර සිරවුණු ආහාර කැබලි ගැනීමට හැට්ට කටු, අල්පෙනෙති ආදි දේ භාවිත කිරීම සමහර අයගේ පුරුද්දක්. එය ඉතා අහිතකරයි. ඒ වෙනුවට ‘ප්ලොස්’ නමැති නූල් හෝ ‘අන්තර් දන්ත’ බුරුසුවක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. එමෙන් ම චොකලට්, ටොෆී ආදි සීනි අඩංගු ආහාර ප්‍රධාන ආහාර වේලකට පසුව පමණක් සීමා කළ යුතුයි. ඒ වෙනුවට හැකි පමණ පලතුරු වර්ග අනුභව කරන්නේ නම් ඉතා සුදුසුයි.

දුම්පානයෙන්, මද්‍යසාර භාවිතයෙන් හා බුලත්විට සැපීමෙන් දුරස් වීම ද ඉතා වැදගත්.

තවත් සමහරු දත්වලින් බෝතල් මූඩි වැනි දේ ඇරීමට පුරුදු වී සිටිනවා. එය ද දත්වලට ඉතා හානිකරයි.

එමෙන් ම දත් කැක්කුම, විදුරුමසින් ලේ ගැලීම හෝ මුඛයෙන් දුර්ගන්ධය වහනය වේ නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්.

මුඛයේ රෝගී තත්ත්වයක් නොතිබුණ ද මාස හයකට අටකට හෝ වරක් පවුලේ දන්ත ‍ශල්‍ය වෛද්‍යවරයා ලවා මුඛය පරීක්ෂා කර ගැනීමෙන් ද මනා මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යා හැකියි. තමන්ගේ මුඛය හා දත් ආශ්‍රිත ඇති විවිධ රෝගාබාධ පිළිබඳ තමන්ට විනිශ්චය කළ නොහැකි වීම ඊට හේතුවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close