කාන්තා පිල ලෝක කුසලානයෙන් දුරස් වන ලකුනු

පසුගිය සති කිහිපය මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති කාන්තා ක්‍රිකට් ශූරතාවලියේදී 3-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම 2017 කාන්තා ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබීය.

ඒ අනුව ලබන වසරේ ගිම්හානයේ එංගලන්තයේදී පැවැත්වීමට යෝජිත ජගත් ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ පළමු රට ඕස්ට්‍රේලියාවයි.

මීට වඩා වැඩි දස්කම් දැක්වීමට බලාපොරොත්තු වූ නමුත් පරාජයෙන්  තවත් අත්දැකීම් උකහාගත් බවයි, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මේ අතර පවසන්නේ.

“පළමු තරඟයේදී ඕස්ට්‍රේලියාවේ කඩුලු කිහිපයක් දවාගන්න අපිට පුළුවන් වුනා. නමුත් අනෙක් තරඟවලදී අපේ අවධානය අඩු වුනා කියල මට හිතෙන්නේ,” ඇය පැවසීය.

තරඟාවලිය අතරවාරයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිය ප්‍රසාදනී වීරක්කොඩි ශ්‍රේණිගත කිරීම්වලින් 26 වැනි ස්ථානය දක්වා ඉහලට ඒමට සමත් වූ අතර, නායිකා චමරි අතපත්තු පන්දු යවන්නියන් අතරින් ස්ථාන 17 ක් ඉදිරියට ඒමට සමත් වූවාය.

ශ්‍රී ලංකාවේ කාලගුණ තත්වයට ඉතා ඉක්මනින් පුරුදුවීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි, ශූරතාවලියේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායිකා මෙග් ලනින්ග් කියා සිටියේ.

අයිසීසී ජගත් ක්‍රිකට් සම්මේලනයේ ශ්‍රේණිගත කිරීම් අනුව ඕස්ට්‍රේලියාව අංක එක ස්ථානය දරන අතර ශ්‍රී ලංකාව දැනට සිටින්නේ එහි අවසාන ස්ථානය වන අංක අට ස්ථානයේයි.

ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන හතර දරන රටවල් ජගත් කුසලානයට සුදුසුකම් ලබන අතර, ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ ශූරතාවලියේදී අනෙක් කණ්ඩායම්වලට සුදුසුකම් ලැබීමේ අවස්තාව හිමිවේ.

ඔබගේ අදහස අපට කියන්න

Close