බාහිර උපාධි කප්පාදුව සාධාරණද ? අසාධාරණයිද ?

බාහිර උපාධි පාඨමාලා සදහා බදවා ගන්නා සිසුන් ප්‍රමාණය පහල දැමීම අධ්‍යාපන කප්පාදුවක් බව ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමාජවාදී තරුණ සංගමය පවසනවා.  සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

”ඔබ කවුරුත් දන්නවා නැවත වතාවක් බාහිර උපාධි පාඨමාලා පදනම් කර ගනිමින් වර්තමාන ආණ්ඩුව සිසු කප්පාදුවකට සූදානම් වෙනවා. ඉතින් ඒ පිළිබඳව මාධ්‍යයත්, මේ සමාජයත් දැනුවත් කිරීමේ අරමුණින් තමයි අද මේ මාධ්‍ය සාකච්ඡාව අපි සංවිධානය කළේ. ඔබ කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ගේ සිහින ගණනාවක් තියෙනවා. ඒ සිහින ගණනාව ඇතුළෙ එක සිහිනයක් තමයි අනිවාර්යයෙන්ම තමන් කොහොමද උපාධියක් ලබාගන්නේ කියලා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි දන්නවා හැම වර්ෂයකම උසස් පෙළ විභාගය සඳහා ලක්‍ෂ දෙකකට ආසන්න පිරිසක් මුහුණ දෙනවා. නමුත් එයින් සමත් වෙන්නේ 125,000ක පමණ පිරිසක් තමයි. හැබැයි නිදහසෙන් පස්සේ පත්වුණු හැම ආණ්ඩුවක්ම සමත් වෙලා නැහැ ඒ සියලූ දෙනාටම උසස් අධ්‍යාපනයේ වරම් හිමිකර දෙන්න. මොකද අපි හැමෝම දන්නවා මේ අයගෙන් විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව හිමි වන්නේ 25,000ක් වගේ පිරිසකට පමණයි. ඒ කියන්නේ 100,000කට අධික පිරිසක් උසස් පෙළ සමත් වුණත් මේ අධ්‍යාපන ක්‍රියාවලිය ඇතු‍ළේ  අනාථභාවයට පත් කරලා තියෙනවා. ඒ අනාථ වුණු තරුණ පිරිසට යම් හෝ උපාධි බලාපොරොත්තුවක් තිබුණේ දීර්ඝ කාලයක ඉඳන් රාජ්‍ය විශ්ව විද්‍යාල පදනම් කරගෙන බාහිර උපාධි පාඨමාලා ප‍්‍රමාණයක් පවත්වාගෙන ඒම තුළයි.

නමුත් අපට මතකයි පසුගිය ආණ්ඩුව ඒ කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ ආණ්ඩුව 2010-2014 කාලය ඇතුළත බාහිර උපාධි පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා. ඒ වගේම  ඒ වෙලාවේ ශිෂ්‍යයන්, ගුරුවරු හා රටේ අනෙකුත් ප‍්‍රගතිශීලීන්, බුද්ධිමතුන් හා අපිත් ඇතුළුව ඊට එරෙහිව ගත්ත දැවැන්ත උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් විදියට 2014 වසරේ සිට නැවත මෙම පාඨමාලා  ක්‍රියාත්මක කරන්නට පටන් ගෙන තිබෙනවා. හැබැයි දැඩි කොන්දේසි මත. උදාහරණයක් ලෙස ගත්තොත් රුපියල් 6000ක් වෙලා තිබුණු පාඨමාලාව රුපියල් 72,000 දක්වා මිල වැඩි කිරීම කරලා තිබුණා. නමුත් ඒ තත්වය තුළ හෝ ඒ පාඨමාලාව ඉදිරියට අරගෙන ගියා. නමුත් මේ යහපාලනය කියන ආණ්ඩුව දැන් කරන්න හදන්නේ මොකක්ද? අද තියෙන අලුත්ම තත්වය තමයි අගෝස්තු මාසය වෙද්දී කැළණිය සරසවියට විශේෂ උපදෙස් පත‍්‍රිකාවක් එවලා තියෙනවා සහ ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා විශ්ව විද්‍යාලයට ඇතුළත් වන අභ්‍යන්තර සිසුන් ප‍්‍රමාණයට සමාන පිරිසක් තමයි බාහිරව බඳවා ගැනීමට පුළුවන්කම තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට කිව්වොත් විශ්ව විද්‍යාලයට අභ්‍යන්තරිකව 1000ක් දෙනා ඇතුළත් කර ගන්නවා නම් බාහිරවත් ඇතුළත් කරගන්න පුළුවන්කම තියෙන්නේ 1000ක් දෙනා පමණයි. නමුත් අපි දැන් සාකච්ඡා කරද්දී ඔවුන්ගේ පැත්තෙන් එන අදහස තමයි රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන උපාධිධාරීන් ප‍්‍රමාණය දෙගුණයක් කර ගැනීම රජයේ අරමුණ වී ඇති බවයි. බැලූ බැල්මට නම් මේක ටිකක් හොඳ වැඩක් කියලා තමයි හිතෙන්නේ. නමුත් මේක හොඳින් අධ්‍යයනය කළාට පස්සේ ඔබට පෙනේවි මේ තුළ ආණ්ඩුව සහ අදාළ බලධාරීන් විසින් ක‍්‍රියාත්මක කරන්න යන්නේ මොකක්ද කියලා. උදාහරණයක් විදියට කැළණිය විශ්ව විද්‍යාලය තුළ 2006 වසරේ දී අයදුම්පත් 11082ක් ලැබිලා තියෙනවා. නමුත් ඉන් උපාධිය අරගෙන තිබෙන්නේ 1158යි. 2007 දී ගත්තොත් 13959 ක් අයදුම් කළත් ඉන් 2057ක් පමණයි උපාධිය ලබාගෙන තිබෙන්නේ. 2008 දීත් 12656ක් වූ අයදුම්කරුවන් අතරින් උපාධිය අරගෙන තිබෙන්නේ 3518ක් පමණයි. 2009 දී ගත්තොත් අයදුම්කරුවන් 16704ක් අතුරින් උපාධිය ලබාගෙන තියෙන්නේ 2100ක් පමණයි. ඒ වගේම 2010 වසරේ දී අයදුම්කරුවන් 15400ක් අතුරින් උපාධිය සම්පූර්ණ කරලා තියෙන්නේ 1994ක් පමණයි. එතකොට දැන් පැහැදිලිව තේරෙනවා බාහිරින් උපාධිධාරීන් ප‍්‍රමාණයක් ගත්තට ඉන් 10%කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි උපාධිය සම්පූර්ණ කරලා තිබෙන්නේ. එතකොට ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබෙනවා නම් උපාධිධාරීන් ප‍්‍රමාණයක් වැඩි කර ගන්න මේ ඒකට උත්තරයක් නොවන බව පැහැදිලියි.

ඔබ දන්නවා සාමාන්‍යයෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් වන සිසුන් අතරින් 97% – 98% කට ආසන්න ප‍්‍රමාණයක් උපාධිය සම්පූර්ණ කරගන්නවා. නමුත් මං කලිනුත් කිව්වා වගේ බාහිරව ඇතුළත් කරගන්නා පිරිසෙන් 10%කට ආසන්න ප‍්‍රමාණයක් පමණයි විවිධ හේතු නිසා තමන්ගේ උපාධිය අවසන් කරන්නේ. එහෙම නම් ආණ්ඩුවේ ඔය කියන වුවමනාව සැබෑ එකක් නම් කරන්න  ඕනා පළමු දේ තමයි මේ බඳවා ගැනීම්වලට සීමා පැනවීම නතර කිරීම. ඒ වගේම මේ සඳහා යොමු වෙන තරුණ තරුණයන් මුහුණ දෙන අනෙකුත් ගැටළු ඒ කියන්නේ ගාස්තුව වැඩි වීම වගේ දේ සඳහා ඔවුන්ට සහන සලසන්න  ඕනා. ඒ නිසා පැහැදිලිවම මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩුව සැරසෙන්නේ සිසු කප්පාදුවකටයි. ඒක හරියටම පැහැදිලි කරගන්න මේ උදාහරණය ප‍්‍රමාණවත් වෙයි කියලා හිතනවා. මෙවර 2014 වසර සඳහා කැළණිය විශ්ව විද්‍යාලයට අයදුම්පත් කැඳවලා තිබෙනවා 14,000ක්. මේ ක‍්‍රමයට අනුව සිසුන් ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ 2160යි. දැන් එහෙමනම් මේ නව ක්‍රියාවලිය තුළ තවත් 12000කට ආසන්න ප‍්‍රමාණයක් නැවත වතාවක් අධ්‍යාපනය තුළ අනාථභාවයට පත්වනවා. ඒක ප‍්‍රශ්නයක්. අපි ආණ්ඩුවෙන් අහනවා මේක ප‍්‍රශ්නයක් නොවෙයිද, මේ මොකක්ද එහෙමනම් කරන්න හදන්නේ කියලා.

මේකේ තියෙන සුවිශේෂීම ප‍්‍රශ්නය තමයි බාහිර උපාධිය සඳහා ආණ්ඩුවට වෙනත් අමතර වියදමක් වැය වන්නේ නැහැ. දැනටත් ආණ්ඩුව යම් ආදායමක් ලබන කාරණයක්. ඒ වගේම කැළණිය විශ්ව විද්‍යාලයට දැන් 2014 වසර සඳහා අයදුම්පත් එවපු තරුණ තරුණියන් 14000ක් දෙනා රුපියල් 1500 ගණනේ ගෙවලා තමන්ගේ අයදුම්පත් ලබාගෙන තිබෙනවා. සමහර සිසුන් අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ පාඨමාලාව සඳහා පංති ගිහින් තියෙනවා. එතකොට දැන් කිසිඳු දැනුම් දීමකින් තොරව මේ කප්පාදුව කරමින් ඉන්නවා. ඒක නිසා අපි අහනවා මේ වර්තමාන ආණ්ඩුවෙන්, රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය පදනම් කරගනිමින් සිටින මේ උපාධිධාරීන් ප‍්‍රමාණය බරක් සේ සලකලා ඒකට බයේ ද මේ කප්පාදුවට සූදානම් වෙන්නේ? ඒ වගේම අපි රජයෙන් අහනවා දැන් මේ තියෙන තත්වයට අනුව රුපියල් 60000ක් වැනි මුදලක් ගෙවලා අපේ රටේ දුප්පත් අම්මලා තාත්තලාගේ දරුවන්ට රාජ්‍ය විශ්ව විද්‍යාල පදනම් කරගෙන උපාධිය ගන්න තියෙන අවස්ථාව වර්ධනය කරන එකද ඔබ කරන්න  ඕනා එහෙම නැත්නම් ආණ්ඩුව අනියමින් කරමින් ඉන්න ලක්‍ෂ 120 වගේ ගෙවලා උපාධි ගන්න තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා දක්කන්න වෑයම් කිරීමද කරන්න  ඕනා කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ ආණ්ඩුවට මෙහෙම අයිතියක් නැහැ. මේ ආණ්ඩුව අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න  ඕනා කියලා පිළිගත්ත ආණ්ඩුවක්. ඒ වගේම මේ ආණ්ඩුව තරුණ තරුණියන්ට රැකියා දසලක්‍ෂයක් දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුවක්. ඒ වගේම තරුණ තරුණියන්ට මෝටර් බයිසිකල් වෙනුවට කාර් දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච ආණ්ඩුවක්. එතකොට දැන් මෛත්‍රී සහ රනිල් වික‍්‍රමසිංහ මහත්වරු දැන් මොකක්ද කරමින් ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම මේ ආණ්ඩුවටත් අදාළ බලධාරීන්ටත් කියනවා මේ තීන්දුව නැවත ආපස්සට හරවා ගන්න කියලා.

ඒ වගේම අපි ඔවුන්ට නැවතත් කියන්නේ ඔබට අවශ්‍ය මේ රටේ දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයකට ඉඩ වෙන් කරමින් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කිරීමට නම් මේ ක‍්‍රියාවලියට සැරසෙන්න එපා කියලා. ඒ විතරක් නෙමෙයි. අපි දන්නවා මේ බාහිර උපාධි ක‍්‍රියාවලියට අදාළව අනෙකුත් බොහෝ අධ්‍යාපන ක්‍රියාවලීන් තුළ වගේ සංවිධානය වීමේ හැකියාවක් නැහැ. බොහෝ විට එකට එකතු වෙලා පෙරමුණක් ලෙස සටන් කිරීමේ හැකියාව අවමයි. ඒක නිසා අපි තීන්දු කළා සමාජවාදි තරුණ සංගමය විදියට මේ සටනට අපි දායකත්වය දෙන්න  ඕනා කියලා. ඒ නිසා බාහිර උපාධිවලට එරෙහි ආණ්ඩුවේ මේ දැවැන්ත ප‍්‍රහාරයට විරුද්ධව එකට එකතු වෙලා සංවිධානය වෙන්න මේ මාධ්‍ය ඔස්සේ තරුණ තරුණියන්ටත්, ගුරුවරුන්ටත් අනෙකුත් ප‍්‍රගතිශීලීන්ටත් අපි ආරාධනා කරනවා. ඒ වගේම ඉතිහාසයේ පටන්ම මේ බාහිර උපාධි ක්‍රියාවලියට අදාළව අපේ රටේ පාලකයින් විසින් එල්ල කරනු ලබන ප‍්‍රහාරවලට එරෙහිව සමාජවාදී තරුණ සංගමය ලෙස අපි විරෝධය පල කරනු ලබනවා. ඒ වගේම මේ බාහිර උපාධි අධ්‍යාපන කප්පාදු ක්‍රියාවලියට එරෙහිව අපි සටන් පෙරමුණක් ගොඩනගමින් සිටිනවා. ඒ සඳහා අපේ කාර්යාලීය දුරකථන අංකය වන 0112171021 ත් 0711017582 ත් ඔස්සේ ඔබට සිදු වී ඇති අසාධාරණය පිළිබඳ තොරතුරු ලබා දීමටත් ඒ වගේම අප හා සම්බන්ධ වීමටත් හැකියාව තිබෙනවා. ඒ නිසා අවසාන වශයෙන් මේ අධ්‍යාපන අවස්ථා කප්පාදු කිරීමේ ක්‍රියාවලිය වහාම හකු‍ළා ගැනීමට ආණ්ඩුවට බල කරන අතරම අධ්‍යාපන අවස්ථා කප්පාදු කරමින් ගෙනයන මේ ආණ්ඩුවේ ප්‍රෝඩාකාරී වැඩපිළිවෙළට එරෙහි සටන සඳහා අප සමඟ එකතු වන ලෙස මේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ප‍්‍රගතිශීලී මතයක් දරන සියලූ දෙනාටත් අපි ආරාධනා කරනවා.”

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close