බියර් සමාගමකට බදු සහන දුන්නාට මුදල් ඇමතිට නොතීසි

ලයන් බෲවරි සිලෝන් ලිමිටඞ් සමාගමට රුපියල් කෝටි 600කට ආසන්න රේගු බදු සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන ඔක්තොබර් 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මුදල් ඇමැති රවි කරුණානායක, රේගු අධ්‍යක්ෂක ජනරාල් , මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 14 දෙනකුට නියම කරමින් අභියාචානාධිකරණය අද නොතීසි නිකුත් කරනු ලැබුවා.

මාස හතරක රේගු බදු සහන ලයන් බෲවරි සමාගමට ලබාදීමට ගෙන ඇති තීරණය අහෝසි කර එම රුපියල් කෝටි 600කට ආසන්න මුදල මහජන සුබ සිද්ධිය සඳහා යොදවන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බලමිනුයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ අභියාචනාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ  මෙම පෙත්සම කැඳවිණි.

සිංහල ජාතික පෙරමුණේ සභාපති අගලූගල්ලේ ශ්‍රී ජිනානන්ද ,රත්ගම සුමංගල ,බියගම සුසීල ,උඩගෝමනියේ රතනවංශ යන භික්ෂූන්වහන්සේලා සය නමක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණා.
එහි දැක්වෙන්නේ පසුගිය සමයේ හටගත් ගංවතුර තත්ත්වය වෙනුවෙන් බව පවසමින් මෙම බදු සහනය ලබාදී ඇති බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close