බෝසත්වරු තිරිසන් ලෝකයේ උපදිනවාද ?

අපවත්වී වදාළ අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල, මහ නා හිමියෝ සියවස් සපිරි දේශනා  කළ සක්වළ සක්මනේ 11 වැනි පියවරයි මේ.

මහ නායක හාමුදුරුවනේ, මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය අතර ඇති වෙනස කුමක්ද ?

මේ සක්වළේ කාම ලෝක 11 අතරම, ඔබ අහපු ජීව ලෝක දෙකත් ඇතුළත් වෙනවා. නමුත්, මෙහි එකිනෙකට වෙනස් ලක්‍ෂ රැසක් පවතිනවා. දැන් ආහාර ගැනීම, නිදා ගැනීම, බිය – සංකා ඇතිවීම හා වර්ගයා බෝ කිරීම කියන කාරණා දෙපිරිසටම පොදුයි. මෙම මූලික ලක්‍ෂණ හතරට සීමාවූ මිනිසුන් – තිරිසනුන් ඉපදුන ලෝක අතර ඒ තරම් වෙනසක් දකින්න බැහැ. මනුෂ්‍ය ලෝකයේ ඉපදුනාට, තණකොළ නොකෑ පළියට මනසින් උසස් මිනිසුන් වෙන්නේ නැහැ.

මිනිසත්බව ලැබීම, බුද්ධෝත්පාද කාලයක විසීම, ශ්‍රී සද්ධර්මය තිබීම, දස අකුසල්වලින් වැළකීම, සක්වළෙහි ඇති දුර්ලභම කරුණු හතර ලෙසයි සැලකෙන්නේ. මිනිසත්බව තුළ සඤ්ඤා, විඥාන හා ප්‍රඥා යන සියලු තත්වයන් පවතිනවා. ධම්ම පදයේ චිත්ත වග්ගයේ කුම්භූපමං කායම්මං “ යන ගාථාවෙන් මෙවැනි පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

මේ කය ( ශරීරය ) වහා බිඳෙන මැටි බඳුනක් වගෙයි. නමුත්, මිනිස් සිත හොඳින් ආරක්‍ෂාව තියෙන නුවරක් වැනියි. එය නිසි ලෙස මෙහෙයවා ගනිමින් නුවන නමැති ආයුධයෙන් මාරයාට වුවද පහර දිය හැකි බව අප ගෞතම බුදුරදුන් සැවැත්නුවර පන්සීයයක් භික්‍ෂූන් අරභයා දේශනා කර තිබෙනවා. තිරිසන් ලෝකය තුළ සංඤ්ඤාවට එහා ගිය විඤ්ඤාණයක් හෝ ප්‍රඥාවක් දැකිය නොහැකියි. සමහර මිනිසුන් තිරිසනුන් මෙන් හැසිරෙන්නේ විඤ්ඤාණය නැතිව ගියාමයි. යථාවබෝධය, මාර්ගඵල අවබෝධය ප්‍රඥාව හරහා මිනිසාට ළඟා කර ගත හැකියි.

මිනිසුන්ට හැකි – සතුන්ට නොහැකි කරුණු රැසක් මහා මංගල සූත්‍රයෙන් විස්තර කර තිබෙනවා නේද ?

උතුම් මංගල කරුණු අනුව, මිනිසාට සිය ජීවිතය නමැති ගොඩනැගිල්ල අලංකාර කරගත හැකියි. ඒ සඳහා බාලයන් ඇසුරු නොකිරීම, පණ්ඩිතයන් ඇසුරු කිරීම, පිදිය යුත්තන් පිදීම, සුදුසු ප්‍රදේශයක විසීම, සිත මනා සේ පිහිටුවා ගැනීම, ඇසූ පිරූ තැන් ඇති බව, ශිල්ප ශාස්ත්‍ර දැනීම, හික්මීම තිබීම, හොඳ වචන කථා කිරීම, මව්පිය උපස්ථානය, අඹුදරුවන්ට ඥාතීන්ට සැලකීම, යහපත් නිවැරදි කටයුතු කිරීම, පවින් ඈත්වීම, මත්පැනින් වැළකීම, ඉවසීම, බණ ඇසීම, ලද දෙයින් සතුටු වීම, සුවච බව, තපස් – බඹසර රැකීම, සත්‍ය දැකීම, දන්දීම, අටලෝ දහමින් කම්පා නොවීම හා නිවන් අවබෝධ කර ගැනීම මෙන්ම උවදුරු රහිතව විසීම යන කරුණු බලපානවා.

සැබැවින්ම සතුන්ට මෙපරිදි ජීවිත අලංකාර කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. බිය, සැක, සංකා, තිගැස්ම හා චකිතය වගේම කුසගින්න ආදියෙන් නිරතුරුව තිරිසන් ලෝකය දැවෙමින් පවතිනවා. අව්, වැසි, සුළං, අඳුර, සීතල හා නියඟය ඇතුළු ස්වභාවික බලපෑම්වලටත් නිරාවරණය වූ තිරිසන් ලෝකය මිහිපිට අපායක් බඳුයි.

උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය කර්ම වශයෙන් දෙවන හා තෙවන ආදී ආත්මවල සිට කර්ම විපාක දෙමින් බොහෝවිට තිරිසන් ලෝකයෙහි උපත ලබනවා. පෙර ආත්මවල ගෙවන්න බැරි වුණ ණය බල්ලෝ, බලල්ලු හරක් ( ගවයින් ), බූරුවන්, අශ්වයින් හා අලින් ලෙස ඉපදී හෝ ඒවා ( පෙර පව් ) ගෙවීමට සිදු වෙනවා.

එතකොට, තිරිසන් භවවල පුරුදු, පසුව මිනිසත් බව ලැබුවාම මතුවිය හැකිද? බුදුදහමේ එබඳු කථා පුවත් නැතිද?

ඔව්, ගොඩක් බෞද්ධ කථා පුවත්වල ඔය වගේ පෙර භව පුරුදු පිළිබඳ විස්තර වෙනවා. වරක් බුදු රදුන් සැවැත්නුවර, දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන අවස්ථාවක උපාසකයෝ පස් දෙනෙක් බණ ඇසීමට විහාරයට පැමිණ සිටියහ. එහෙත් ඔවුන් අතරින් බුදුරදුන්ගේ සුමධුර දහම් දෙසීමට සවන් දෙමින් සිටියේ, එක් අයෙකු පමණයි. අනෙක් සතර දෙනාගෙන් එක් උපාසකයෙකු නිදා වැටෙන්නට වුණා.

තව උපසාකයෙක් තමා ළඟ තිබුණු ගසක් සොලවමින් සිටියේය.

තවත් උපාසකයෙකු ඇඟිල්ලෙන් බිම හාරමින් සිටියා.

අනෙක් උපාසකයා, අහසේ පායා ඇති තරු දෙස බලමින් හුන්නේය.

මෙය දුටු ආනන්ද තෙරණුවෝ පුදුමයට පත් වූහ. බුදුරජාණන් වහන්සේ ඊට හේතු ආනන්ද හිමියන්ට මෙසේ පැහැදිලි කර දුන්හ.

“ ආනන්දය, මේ නිදා වැටෙන තැනැත්තා පෙර දිගු කලක් සර්පයෙකු ( නාගයෙකු ) වී ඉපදී දරණ මත හිස තබා ගෙන නිදා ගැනීමේ පුරුද්ද නිසා දැනුත් නිදයි.

ගස සොලවන තැනැත්තා දිගු කලක් වඳුරෙක් වී ඉපදී ලැබූ පුරුද්ද නිසා දැනුත් ගස් සෙලවීමෙහි යෙදෙයි.

ඇඟිල්ලෙන් බිම හාරන තැනැත්තා දිගු කලක් ගැඩවිල් පණුවෙකු වී ඉපදීම නිසා ලැබූ පුරුද්ද නිසා දැනුත් බිම හෑරීමෙහි යෙදෙයි.

අහස දෙස බලන තැනැත්තා, පෙර ජාතිවල දිගු කලක් නැකත් ගනින්නෙකු වී ඉපදීම නිසා ලැබූ එම පුරුද්ද නිසා දැනුත් අහස දෙස බලමින් සිටියි.

මැනවින් බණ අසන තැනැත්තා පෙර ආත්මවල දිගු කලක් මැනවින් ශිල්ප ශාස්ත්‍ර උගෙන, ඊට සිත යොමු කිරීමෙන් ලත් පුරුද්ද නිසා දැනුත් මැනවින් සිත එකඟ කර ගෙන බණ අසයි” යනුවෙන් දේශනා කොට වදාරා තිබෙනවා.

නියත විවරණ ලැබූ බෝධිසත්වවරු බුදු බව ලබන තෙක් තිරිසන් ලෝකයෙහි ඉපදීමට ඇති අවකාසය කෙබඳුද?

ඔව්, එලෙස බෝසත්වරයෙක් බුදු කෙනෙකුගෙන් නියත විවරණ ලැබූදා සිට කල්ප කෝටි ගණනක් සසර සැරි සැරුවත් අවීචි, ලෝකන්තර අපා ලෝකවල හෝ ප්‍රේත ලෝකයේ හෝ උපදින්නේ නැහැ. ඒ වගේම මනුෂ්‍ය ලෝකයේ අඳ, ගොලු, බිහිරි අංගවිකල ආත්මයක උපදින්නෙත් නැහැ.

හැබැයි තිරිසන් ලෝකෙ දුගතියක උපදින්න සිදුවුණත් පණුවන්, කුහුඹුවන් වගේ කුඩා ශරීර සහිත සත්ව ආත්මවල උපදින්නේ නැතිවීම විශේෂිතයි.

මීට අමතරව, කාම ලෝක 11 ට අයත් දිව්‍ය ලෝකවල එබඳු උතුමන් උපත ලැබූවත්, සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ නැහැ. ඒකට හේතුව, බෝසත්වරුන් තුළ කාම රාග තිබීමයි. සුද්ධාවාස බඹතලවල උපදින්නේ, අනාගාමී ඵලයන්ට පත්වු අයයි.

නියත විවරණලත් බෝසත්වරයෙක් වටු කුරුල්ලෙකුට වඩා කුඩා සහ හස්තියෙකුට වඩා විශාල වූ ශරීරයක් ඇති සතෙකු වෙන්නේ නැහැ කියලත් කියනවාද ?

ඔව්, ආපදාන අටුවාවෙහි එබඳු උත්තමයෙකුට විශේෂතා දහ අටකට වැඩි ගණනක් හිමිවන බව විස්තර වෙනවා. එම සක්වළේ හැර වෙනත් සක්වළකට නොයාම ඒ අතර විශේෂයි. මීට පෙර කළ විග්‍රහයක වගේ අපිත්, අපේ නෑදෑ හිතවතුනුත් වෙනත් සක්වළවල්හි ඉපදීමට යම් අවකාශයක් තිබෙනවා. ස්ථිරවම මේ සක්වළේම උපත ලබන්නේ නියත විවරණ ලැබූ බෝධිසත්වවරු පමණයි.

එවන් උතුමන් අපේ මනුෂ්‍ය ලෝකයේ වුණත් අඳ, ගොලු, බිහිරි, කොර, කුෂ්ඨ රෝගීන් ලෙස හෝ දාසියකුගේ කුසෙහි, ස්ත්‍රියක ලෙස හෝ මිථ්‍යා දෘෂ්ටික පවුලක හෝ හොර මැර පවිටන් වෙසෙන පෙදෙසක හෝ උපත ලබන්නේ නැහැ. ඊඟාවට, ඔබ කියූ පරිදි තිරිසන් ලෝකයෙහි ඉපදුනත්, ශරීරයෙන් ඉතා කුඩා හෝ ඉතා විශාල ලෙස හෝ ඉපදෙන්නේ නැහැ. ඒ බව පන්සිය පනස් ජාතක කථා පොතෙහි එන ( මහා කපි ආදී ) ජාතක කථා පුවත්වලින් පැහැදිලි වෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close