මිනිසාට මළවුන් සමග කතා කළ හැකිද ?

තාක්ෂණය හා විද්‍යාවේ දියුණුව ගැන අප කොතෙකුත් උදම් ඇනුවද මිථ්‍යා මත පසුපස යාම තවමත් මිනිසා අත්හැර නැත.
ඊට හොඳම උදාහරණ සපයාගත හැක්කේ, අපගේ පවුලක සමීපතම පුද්ගලයෙකු මියගිය විටය. “මළවුන් ගෙන්වන ස්ථාන” ලෙස නම්කර ඇති ඇතැම් ස්ථානවලට ගොස් එවන් පුද්ගලයන් සමග නැවත කතා කරන්නට ඇතැම්හු පෙළඹෙති. තම මියගිය සමීපතයන් ටික දිනකට පසු ඇතැමුන්ගේ ශරීරයට ආරූඪ වී ඇති බවක්ද ඇතැම් විට අසන්නට ලැබේ. එමෙන්ම ලෙඩ රෝග, ආර්ථික ගැටලු ආදියේදී ඊට හේතුව අමනුෂ්‍ය දෝෂවල බලපෑම යැයි සිතන්නටද ඇතැම්හු පෙළඹී සිටිති. මෙම කාරණා තුළ පවතින මිථ්‍යාව පිළිබඳව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් පැහැදිලි කරන්නේ මෙලෙසිනි.

මෙහිදී අප පළමුවෙන්ම අමනුස්ස යන වචනය සෑදී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අමනුෂ්‍ය යනු පාලි වචනය සෑදෙන්නේ “න+මනුෂ්‍ය – අමනුෂ්‍ය” වශයෙන් සමාස වීමෙනි. එහි තේරුම මනුෂ්‍ය නොවන යන්නයි. ඒ අනුව මනුෂ්‍ය නොවන සියල්ලෝ අමනුෂ්‍යයෝ වෙති. එම අර්ථයෙන් ගත් කල, සත්ත්ව කොට්ඨාස ද අමනුෂ්‍ය ගණයට අයත් වෙති. අමනුස්ස දෝෂ යනු අමනුස්සයන්ගෙන් වන දෝෂයි. සතුන් නිසා ඇතිවන රෝගාබාධ, අපිරිසිදුකම නිසා ඇති වන ක්ෂුද්‍ර ජීවී වර්ධනය ආදිය මගින් ඇතිවන රෝගාබාධ සියල්ලම අමනුස්ස දෝෂ නිසා ඇතිවන දේවල්ය.
උදාහරණයක් ලෙස අලුත විවාපත් දෙපළක් බොහොම සතුටින් ටික කලක් ජීවත් වුණා යැයි සිතමු. ටික දිනක් ගත වන විට ස්වාමිපුරුෂයා මත්පැන්වලට ඇබ්බැහි වීමට පටන් ගනී. ඒ හේතුව මත ඔවුන් දෙදෙනා අතර විවිධ ආරවුල් ඇති වීමට ඉඩ ඇත. එමෙන්ම ඒ හේතූන් මත ජීවිතය කලකිරුණු භාර්යාව වෙතින්, වෙනදා තම නිවස තුළ ඉටු කෙරුණු සාමාන්‍ය කාරණා පවා මගහැරෙන්නට පුළුවන. නිවෙස් පිරිසිදු කිරීම ආදිය ද මගහැරෙන්නට ඉඩ තිබේ. එමෙන්ම දෙදෙනා තුළ වෙනදා තිබූ ආධ්‍යාත්මික බැඳීම, සතුට, මානසික සුවය ආදිය ද මේ හේතුවෙන් නැති විය හැකිය. නිවසක භාර්යාව හෝ ස්වාමිපුරුෂයා යන කවුරුන් අතින් හෝ මේ වැරදි සිදු වූ කල දෙදෙනා අතර ආධ්‍යාත්මික බැඳීමට මෙන්ම නිවසේ බාහිර පරිසරයට ද සෘජුවම එය බලපානු ලබයි. එවිට ඊට හේතු සොයමින් මේ යුවළම විවිධ උපදේශනයන් කරා යොමු විය හැකියි. පන්සලකට ගොස් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මේ පිළිබඳව සැල කර බෝධි පූජා පවත්වන්නට ද පෙළඹෙති. ඒ අදාළ දිනවල පමණක් දෙදෙනා සමග එක්ව බෝධි පූජා පවත්වන විට සිතෙන්නේ එහි බලයෙන් දෙදෙනා අතර සමගිය ගොඩ නැගී ඇති බවකි. බෝධි පූජාව අවසන් වී ටික දිනක් යන විට බිරිඳ හෝ සැමියා යළි පෙර පරිදි වැරදි හැසිරීම්වලට යොමු වුණොත්, එතනදී සිදුවන්නේ බෝධි පූජාවට බැණ, වෙනත් විශ්වාසයක් කෙරෙහි යොමු වීමයි. එහිදී කොඩි විනයක් හෝ වෙනත් භූත දෝෂයක් නිසා තම පවුල අතර සමගිය බිඳී ගොස් ඇතැයි කිවහොත්, ඊට අදාළ යාතු කර්ම ආදියට ඔවුහු පෙළඹෙති. ඒ ආකාරයට විවිධ මිථ්‍යා විශ්වාස කෙරෙහි පමණක් ආකර්ෂණය වන මිනිසා, තමන්ට කරදර ඇති වන්නේ ඇයි දැයි හේතුඵලවාදීව කල්පනා කර බලන්නේ නැත. තමන්ගේ සිත හසුරුවා ගැනීම තුළින් බොහෝ කරදර මගහරවා ගත හැකි බව සිතන්නේ නැත.
නිවසක් හෝ ඒ අවට බාහිර පරිසරය අපවිත්‍ර වූ පසුව, විවිධ ගන්ධයන් නිකුත් වීම සාමාන්‍ය තත්ත්වයකි. එමෙන්ම පරිසරය අපවිත්‍ර වන විට විෂබිජ පැතිරී යාම ද වැඩිය. ඒ නිසාම එවැනි නිවෙස්වල වාසය කරන්නන් විවිධ රෝගාබාධවලට නිතර ලක්වන්නට හැකියාව ඇත. එය වෙනත් පුද්ගල කොට්ඨාසයක බලපෑමක් මත සිදුවන්නක් නොවේ. තම වාසස්ථානවල මකුළු දැල් කඩා පිරිසිදු කරගත යුතු ආකාරය පිළිබඳව වැසිකිළි-කැසිකිළි භාවිතය ආදිය පිළිබඳව පවා විනය පිටකය තුළ ද විස්තර කර ඇත. එමගින් උත්සාහ කර ඇත්තේ, භෞතිකමය වශයෙන් මිනිසා ජීවත් විය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අවබෝධ කර දීම සඳහාය.
එසේ නොමැතිව, කිසිදු අමනුෂ්‍යයෙක් තවත් කෙනෙකුට ආරූඪ වන්නේ නැත. ආරූඪ වූ බව පැවසෙන්නේ තමන්ට සමීපව සිට මියගිය පුද්ගලයෙකු ගැන පමණි. ජීවත්ව සිටින තෙක් තමන්ට හතුරුකම් කළ අයෙක් මියගිය පසු තවත් අයෙකුට ආරූඪ වූ බවක් අප කෙදිනක හෝ අසා නැත. එමෙන්ම නිවසක ආදරයෙන් ඇති දැඩි කළ බල්ලෙකු පූසෙකු වැනි තිරිසන් සත්ත්වයෙකු මියගිය පසු, ඒ නිවැසියන්ට ආරූඪ වූවා යැයි අප අසා නැත. ඊට හේතුව වන්නේ අපට එවැන්නක් ගැන ආකල්පයක් නොමැති වීමය. අප මෙලෙස ආරූඪ වීමක් ගැන කතා කරන්නේ, කුඩා කාලයේ සිටම එම ආකල්ප අප සිත තුළට ඇතුළු කර ඇති බැවිනි. ඒ නිසාම ඒවා ගැනම කල්පනා කරමින් සිටින පුද්ගලයෙකු ඒ මානසික තත්ත්වය නිසාම විවිධ රෝගාබාධවලට ලක් විය හැකියි. එමෙන්ම එවන් අවස්ථාවක තම මියගිය ඥාතියෙකු තමන්ට ආරූඪ වී ඇති බවක් රෝගියා  මෙන්ම නිවසේ අන් අය ද පවසන්නට ඉඩ ඇත. මිනිසා තුළ තිබෙන මෙම මානසික දුර්වල බවින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයෝ මෙය අද මුදල් සොයන ජාවාරමක් බවට පත් කරගෙන ඇත. ඔවුන් කරන්නේ, ශරීරයට ආරූඪ වී සිටින අමනුෂ්‍යයා ඉවත් කරන්න යැයි කියමින් විවිධ යාතු කර්ම කර, මුදල් ගරා ගැනීමක් පමණි. එවන් අවස්ථාවක රෝගී පුද්ගලයාගේ ඇඟට ආරූඪ වූ පුද්ගලයා පැමිණෙන බවත්, ඒ අවස්ථාවේ රෝගියා කතා කරන්නේ ආරූඪ වූ පුද්ගලයා ලෙසින්ම යැයි ද පැවසේ. එහෙත් එහි ඇත්තේ මනෝ විකාරී තත්ත්වයක් මිස සැබෑවක් නොවේ. තම ශරීරයට තම ඥාතියා ආරූඪ වී ඇතැයි සිතන පුද්ගලයා තුළ පවතින දුර්වල මානසික තත්ත්වය නිසා, ඔහු විසින්ම එලෙස කතා කරනවා මිස ආරූඪ වීමක් සිදුවන්නේ නැති බව පැහැදිලිවම ප්‍රකාශ කළ හැකිය.
එලෙස යම් පුද්ගලයෙකු මිය ගිය පසු, ඒ පුද්ගලයා තවත් අයෙකුට ආරූඪ වන බවට වැරදි චිත්‍රයක් සමාජගත වී ඇත්තේ, බුදුන් දේශනා කළ ධර්මය, මූලධර්ම මත පදනම් නොවී, මූලික ග්‍රන්ථයන් ආශ්‍රය කර නොගෙන, විවරණය කිරීමට යාම තුළිනි. මේ ආකාරයට ආරූඪ වීම සත්‍යයක් යැයි පිළිගන්නවා නම්, අපට බුදු දහම මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන්නට සිදුවේ. ඊට හේතුව බුදු දහමට අනුව, පුද්ගලයෙකු මියගිය සැණින් වෙනත් භවයක ප්‍රතිසන්ධිය (නැවත ඉපදීම) ලබන බැවිනි. අන්තරාභවයක් නොඑසේ නම්, ගන්ධබ්බ අවදියක් පිළිබඳව කිසිදු විටෙක බුදු දහම තුළ සාකච්ඡා කෙරෙන්නේ නැත. අයෙකු මිය යනවාත් සමගම වෙනත් මිනිස් ආත්මයක හෝ තිරිසන් ආත්මයක පිළිසිඳ ගනියි. එසේ නම්, එලෙස ප්‍රතිසන්ධියක් ලබන අයෙකු වෙනත් කෙනෙකුට ආරූඪ වන්නේ කෙසේදැයි අප තර්කානුකූලව සිතා බැලිය යුතුය.
ථෙරීය සම්ප්‍රදාය තුළින් ද අන්තරාභවය පිළිබඳ සංකල්පය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරයි. අභිධර්ම පිටකයේ ග්‍රන්ථයක් වන කථාවත්ථුප්පකරණයේ ද අන්තරාභවය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කර ඇත. එහෙත් බෞද්ධයා පවා මේ මිථ්‍යාවන් පසුපසම හඹා යන්නේ හේතුඵලවාදීව බුදු දහමට අනුව කල්පනා කරනවාට වඩා වෙනත් මිථ්‍යාවන් විශ්වාස කිරීම නිසාය.
අමනුෂ්‍ය දෝෂ ආදිය සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි ආකල්ප ගොඩනැගීමට වැරදි ආකාරයට ඇතැම් කරුණු විවරණය කිරීම ද හේතු වේ. උදාහරණයක් ලෙස ධම්මපදයේ ගාථාවක් වන “දූරං ගමං ඒකචරං….” ගාථාව ගෙන බලමු. එහි “දූරං ගමං” යන්නෙහි අර්ථය කිසිවෙකුගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර වන්නේ, “සිත තනිව බොහෝ දුර ගමන් කරනවා” යන්නය. එහෙත් නිවැරදි පිළිතුර එය නොවේ. සිත තනිව ගමන් කරන්නට නම්, සිත කයින් ඉවත් විය යුතුය. මින් වැටහෙන්නේ, එලෙස කයින් සිත ඉවත් වී, නොකඩවා අවිච්ඡින්නව චිත්ත පරම්පරාවක් ගමන් කරනවා යන්නයි. මේ අර්ථකථනය වැරදිය. මියගිය අය ආරූඪ වෙනවා යන සංකල්පය ගොඩනැගී ඇත්තේ ද ඒ අනුවයි.
අටුවාව තුළ දූරං ගමන් යන වචනය විවරණය කරන්නේ, “සිත දුර ගමන් කරන්නේ නැත. සිතින් මකුළු නූලක තරම් දෙයක් හෝ පෙරදිග ආදී දිශාවලට යාමක් නැත. කොතෙක් දුර තිබෙන සිත දැන ගනී යන අරුතෙන් දූරං ගමන් නම් වේ.” යනුවෙනි. එම නිසා කිසිදු අවස්ථාවක සිත කයින් වෙන්වෙන්නේ නැත. ශරීරයෙන් සිත අයින් වෙනවා නම් එය සිදුවන්නේ පුද්ගලයා මියගිය පසු පමණි. එම නිසා සිදුවන්නේ සිතෙන් අරමුණු ගැනීමක් පමණි. එමෙන්ම “ඒකචරං” යනු ද සිත තනිව හැසිරෙනවා යන්න නොවේ. ඉන් අදහස් වන්නේ, එක අරමුණක් ඇති වී නැති වූවාට පසුව, තවත් අරමුණක් ඇතිවෙනවා යන්නය. එනම්, එක්වර සිත තුළ අරමුණු කිහිපයක් ඇති නොවන බවය. අටුවාව තුළ එය විස්තර කරන ආකාරයට, “සිත තුළ අරමුණු හත අටක්, කැණිමඩලක පරාල මෙන් ‍පොකුරට, ක්ෂණයකින් උපදින්නට හැකියාවක් නැත.”
බුදු දහම තුළ දේශනා වූ ධර්මය නිසි පරිදි අප තේරුම් නොගත්ත නිසා තමයි, මෙලෙස මිථ්‍යාවක් කරා අපි ගමන් කරමින් සිටින්නේ. මළවුන් ගෙන්වාගෙන ඔවුන් සමග කතා කරනවා යන්න ද තවත් එක් මිථ්‍යා කාරණාවක් පමණි. මියගිය සැණින් ප්‍රතිසන්ධිය ලබන පුද්ගලයෙකු එලෙස යළි ගෙන්වන්නේ කෙසේද? මිනිසුන් සැමවිටකම පාහේ ජීවත් වන්නේ බියෙන් සහ සැකයෙනි. එම ආකල්ප සැමවිට ම පෘථග්ජන මිනිසුන් තුළ පවතී. පුද්ගලයෙකු මියගිය පසු අපේ සිත්වලට බියක් දැනෙන්නේ අප තුළ තිබෙන එම බියගුළු ආකල්ප නිසයි. මළවුන් ගෙන්වා, එලෙස ඔවුන් සමග කතා කරන්නට හැකි නම් මේ රට සංවර්ධනය කර ගැනීම සඳහා යළි දුටුගැමුණු රජු ගෙන්වා ගැනීමටත් අපට හැකියාව ඇත. ලෝප්‍රකට මහා විද්‍යාඥයන් මියගිය පසු යළි අපේ රටට ගෙන්වා ගෙන, ඔවුන්ගේ ඥානය අප වෙත ලබා ගැනීමට හැකියාව ඇත. අගමුල ගළපා ගත නොහැකි මහා ඝාතනවල තොරතුරු අනාවරණය කර ගැනීමටත්, එමගින් හැකියාව ලැබේ. එලෙස මළවුන් ගෙන්වා ගැනීමට හැකි නම් මේ දේවල් නොකර හිඳීවිද? එබැවින් මෙවැනි මිථ්‍යාවන් පසුපස හඹා යන්නට ප්‍රථම, අප බුදු දහමේ හේතුඵලවාදයට අනුව නුවණින් කල්පනා කරන්නට පෙළඹිය යුතුය.(Lakmiba)

ඔබගේ අදහස අපට කියන්න

Close