කොමාන්ඩෝ රෙජිමේන්තු මෝටර් රැලිය ඔක්තෝබර් 2

දශක දෙකකට වැඩි කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිමාකොට ශ්‍රී ලංකාවට සාමය උදාකරලීමට විශාල මෙහෙවරක් ඉටු කළ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව තුන්වැනි වරටත් සංවිධානය කරන 4×4 කොමාන්ඩෝ ගවේෂණාත්මක මෝටර් රැලිය සහ පළමුවරට සංවිධානය කරන කොමාන්ඩෝ චැලෙන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය ඔක්තෝබර් මස 2 වැනිදා ආරම්භ කෙරේ.

‘කොමාන්ඩෝවරුන් සමග පැදයන්න‘ තේමාව යටතේ මෙවර පැවැත්වෙන ගවේෂණාත්මක චාරිකාව ඔක්තෝබර් 2 වැනිදා පෙරවරු 9.00ට ශ්‍රී ජයවර්ධනපුර රෝහල අබියස යුද හමුදා අවන්හල් රථගාලෙන් ඇරැඹෙන්නේ ප්‍රදර්ශනාත්මක ආරම්භයක් සනිටුහන් කරමිනි. අනතුරුව මහනුවර බෝගම්බර පිටියෙන් නිල වශයෙන් ගවේෂණාත්මක චාරිකාව ඇරැඹීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 3 වැනිදාය.

ගවේෂණාත්මක චාරිකාවට එක්වන ජීප්රථවලට විවිධ පාරිසරික හා කාලගුණික තත්ත්වයන් අත්දැකීම් බවට පත් කරමින් කඳු තරණය හා වෙනත් අභියෝග හමුවේ ත්‍රාසජනක හැඟිම් සමුදායක් ලබා දෙමින් පැවැත්වීමට නියමිත මේ අපූරු චාරිකාව මෙරට ප්‍රධාන පළාත් 4ක් ඔස්සේ කිලෝමීටර් 566ක දුරක් ආවරණය කෙරෙන්නකි. බස්නාහිර, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත් ආවරණය කරමින් පැවැත්වෙන කොමාන්ඩෝ ගවේෂණාත්මක චාරිකාව දින තුනක කාලයකින් පසුව ඔක්තෝබර් මස 5 වැනිදා ඌව කුඩා ඔයෙන් නිමාවට පත්වනු ඇත.

මහනුවර, වත්තේගම, සෙම්බුවත්ත, ලොග්ගල ඔය, මහියංගනය, සොරබොර වැව, මහ ඔය, දමන, ආරුගම්බේ හරහා ඌව කුඩාඔය දක්වා වන විවිධ පාරිසරික කාලගුණික පරිසර පද්ධතීන් මෙන්ම සුන්දර වෙරළ තීර, හරිත කඳු පද්ධති, විවිධ ස්වභාවයෙන් යුතු කලපු, විශාල වැව් පසු කොට රාත්‍රි දෙකක වික්‍රමාන්විතයක අත්දැකීම් ගොන්නක් රැලියකට එක්වන ධාවකයන්ට ලබාදීමට කොමාන්ඩෝ රෙජිමේන්තුව සූදානමින් පසුවෙයි. ඒ අතරම රාත්‍රී කඳවුරු බැදීම්, විවිධ ස්ථාන නැරඹීම්, මසුන් ඇල්ලිම්, සඳහා ධාවකයන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් අවස්ථාව ලබාදෙන අතර ගිණිමැල සංදර්ශණ සමඟ විනෝදාත්මක අයුරින් මේ චාරිකාව සැලසුම් කොට තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව සමග ශ්‍රි ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) එක්ව පළමු වරට සංවිධානය කරනු ලබන මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය වන කොමාන්ඩෝ සුපර්ක්‍රොස් තරගාවලිය ඌව කුඩා ඔය කොමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ අභිනවයෙන් ඉදිකළ ධාවන පථයේ දී ඔක්තෝබර් 9 වැනිදා පැවැත්වෙන්නේ ඊට සමගාමීවය.

වසරේ විශිෂ්ටතම මෝටර් රථ සහ යතුරු පැදි ශූරයන් තෝරන ස්ලාඩාර් වාර්ෂික ඉසව්වට අයත්වන මේ සුපර්ක්‍රොස් තරගාවලිය සියැට් ශ්‍රි ලංකා සුපර් සීරිස් තරගාවලියේ තුන්වැනි අදියර ද වෙයි.

කිලෝමීටර් 1.68ක දුරකින් සමන්විත වේගවත් ධාවන පථයක් තුල පැවැත්වෙන මේ තරගාවලියට මෙරට ප්‍රධාන පෙලේ මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන් වැඩි දෙනකු තරග වැදීමට නියමිතය. මේ තරගාවලිය මෝටර් රථ ධාවන තරග 12කින් සහ යතුරු පැදි ධාවන තරග 10කින් සමන්විතය. ඊට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ සියැට් ශ්‍රී ලංකා සමාගම විසිනි. කොමාන්ඩෝ ගවේෂණාත්මක චාරිකාව සහ සුපර්ක්‍රොස් තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුව පසුගියදා නෙළුම් පොකුණ රඟහල් ශාලාවේදී පැවැත්විණි. ඊට ශ්‍රි ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ සභාපති නිශාන් වාසලතන්ත්‍රී, ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අධිපති බ්‍රිගේඩියර් ආර්.ඒ.නුගේරා, සියැට් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි හා වෙළෙඳ උපසභාපති රවී ඩඩ්ලානී, යුද හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් එච්.එච්.ඒ. එස්.පී. කේ. සේනාරත්න, යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රීගේඩියර් ඒ.එම්.ඩබ්.පී.ආර්.සෙනෙවිරත්න සමග කමාන්ඩෝ සූපර්ක්‍රොස් ධාවන පථයේ නිර්මාතෘ හාන්ස් රැල්ෆ් කාපින්ස්කි මහත්වරු ඇතුළු යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ ශ්‍රි ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ නියෝජිතයන් රැසක් එක්වී සිටියහ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close