දේහය ගොඩගනිද්දී කනත්තට උඩින් ගිය ඩ්‍රෝන යානයට වැඩ වරදී

ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය බොරැල්ල කනත්තේදී ගොඩගත් අවස්ථාවේ  එම ස්ථානයට ඉහළින් ගමන් කළ  ඩේ‍රා්න කැමරාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු දක්වා තිඛෙනවා.  ඒ සිද්ධියට අදාළ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහාබ්දීන් මහතා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.

මියගිය ලසන්ත වික්‍රමතුංග මහතාගේ පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම මත  එම දේහය ගොඩගනු ලබන අවස්ථාව මාධ්‍යයට අනවසර  කලාපයක් බවට පත් කළද එම අවස්ථාවේ එම ස්ථානයට ඉහලින් ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවීම සැක සහිත බවයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.

සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර ‍පොලිස් අධිකාරි තිසේරා මහතා මෙසේ කියා සිටියා.

මෙම සැකකරු යුද හමුදාවෙන් ලබාදී ඇති දුරකථනයත් පාවිච්චි කරලා තියෙනවා. මේ සිද්ධිය වුණ 2009 ජනවාරි 08 වැනිදා මෙම දුරකථනය මාත‍ලේ තිබූ බව අනාවරණය වෙලා තිබෙනවා. ඔහුගේ දුරකථනය මාත‍ලේ තිබූ බව පිළිගන්නවා. නමුත් ඔහු මාත‍ලේ සිටිය බව පිළිගන්නේ නෑ.
එසේම ස්වාමිනී. මේ සම්බන්ධයෙන් ලසන්තගේ රියැදුරු ඩයස් නමැත්තා පැහැර ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා.

ඒ සිද්ධියට පසුව ස්වාමිනී, රියැදුරු නවාතැන් වෙනස් කරමින් ජීවත් වුණා. අවසානයේ බණ්ඩාරගම ප්‍රදේශයේදී කිසිවකුගේ සම්බන්ධයකින් තොරව මොහු ජීවත් වෙලා තිබෙනවා. උදලාගම කියන මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන කරගෙන යාමේදී ඔහු සාමාන්‍ය සෙබළෙක් ලෙස සිටිමින් 2010 වර්ෂයේදී ජර්මනියේ තානාපති කාර්යාලයේ ආරක්ෂක නිලධාරි ලිපිකරු ලෙස විශේෂ වරප්‍රසාදයක් යටතේ පත්වීමක් ලැබි ඇති බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒ තනතුර ඔහුටම නිර්මාණය කරලා දුන්න තනතුරක් ස්වාමිනී.

එම පත්වීම අවුරුද්දකින් අවසන් වූවාට පසුව යම් කාලයකට යළිත් එම තනතුර දීර්ඝ කරලා තියෙනවා. එසේම ස්වාමීනි, කිසිවකුගේ නියෝගයක් මත සැකකරුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාට ද එම රටට යාමට අවස්ථාව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සලසා දී තිබෙනවා. එම නියෝගයට අදාළ ‍ලේඛන රහස් ‍පොලිසිය භාරයේ තියෙනවා.
හමුදා මූලික පරීක්ෂණ උසාවිය මගින් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයට අදාළ වාර්තාව ලැබිලා තියෙනවා ස්වාමීනි. හමුදා උසාවිය නිගමනය කරලා තියෙනවා මෙම සැකකරු රාජකාරි සිදු කළ කඳවුර තුළදී හමුදාවට අදාළ නොවන කාර්යයන් සිදු කර තිබෙනවා. ඒ වගේම ‍ලේඛන අස්ථානගතවීමට මොහු වගකිව යුතුයි කියලා නිගමනය කරලා තියෙනවා.

ඒ වගේම ස්වාමීනි, බුද්ධි අංශ කඳවුරේදී ගිනිඅවි නිකුත් කිරීම සහ දුරකථන ලිපිගොනු සම්බන්ධයෙන් මොහු කටයුතු කරලා තියෙනවා. සමහර ‍ලේඛන අස්ථානගත වීම සම්බන්ධයෙන් හා මෙම සැකකරුගේ නිවාඩු සම්බන්ධයෙන් ‍ලේඛන අස්ථනගතවීම සම්බන්ධයෙන්ද මොහු සම්බන්ධ බවට සඳහන් කරලා තියෙනවා. මොහු සම්බන්ධයෙන් හමුදා විශේෂ උසාවිය මගින් විනය පරීක්ෂණයක් සිදු කරන බවද සඳහන් කරලා තියෙනවා.

සැකකරු වෙනුවෙන් නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා පෙනී සිටිමින් ඇප ඉල්ලීමක් කළ අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල එස්. රණගල මහතා ඇප ලබාදීම සම්බන්ධයෙන් විරෝධය පල කරනු ලැබුවා.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරමින් නඩුව එදින තෙක් කල් තැබුවා.

ඔබගේ අදහස අපට කියන්න

Close