මාවතගම පවුල් 5000 කට ජලය සපයන ව්‍යෘපෘතිය හෙට ඇරඹෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම මැතිවරණ කොට්ඨාශයේ දිගු කලක් පුරා පැවැති ජල ගැටලුවට පිළියම් සපයමින් මැටිබොක්කේ සිට මල්ලවපිටිය දක්වා මහනුවර මාර්ගය දෙපස කිලෝමීටර දෙකක දුර ප්‍රදේශයකට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක්හෙට අරම්භ කරන බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සම සංවිධායක ජේ සී අලවතුවල මහතා පවසනවා.

ඔහු ලංකා ඒ නිවුස් වෙත කියා සිටියේ මේ සදහා රුපියල් මිලියන 3126 ක පිරිවැයක් දැරීමට නියමිත බවයි.
මෙමගින් නිවාස 4650 ක වෙසෙන ජනතාවට / පාසල් / කර්මාන්තශාලා හා රාජ්‍ය ආයතන රැසකට ජල පහසුකම් සැපයීමට නියමිතයි.
ජේ සී අලවතුවල මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මේ සදහා සහාය ලබාදී තිඛෙනවා.
මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් කල් නොයවා කඩිනම් පිළියම් ලබාදීමට කැපවන්නැයි කුරුනෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී  ජේ සී අලවතුවල මහතා ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිඛෙනවා.
ඒ මාවතගම ආසනයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගොවිජන සේවා නිළධාරීන්ගේ හමුවට සහභාගී වෙමින්.
රටට බත සපයන ගොවියාගේ සිට සියලුම කෘෂි බෝග වගාකරුවන්ට හැකි උපරිම සහන හා කඩිනම් සේවාවන් සැපයීම රජයේ අපේක්ෂාවයි.
එම අරමුණ සාර්ථක කර ගැනීමට හැකිවන්නේ නිලධාරීන්ගේ සහයෝගය නිසි පරිදි හිමිවුවහොත් පමණක් බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
ඉදිරි ලෝකය කාබනික වගාව කෙරේ යොමුවන අවස්ථාවක ගොවි ජනතාව ඒ කෙරෙහි යොමු කිරීමෙන් වැඩි ආදායමක් මෙන්ම සෞඛ්‍ය සම්පන්න පරපුරක්ද බිහි කළ හැකියි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ කෘෂි ගොවීන්ට විදෙස් වෙළදපල ජය ගැනීමටද එමගින් ඉදිරියේදී අවස්ථාව හිමිවනු ඇති බවයි ජේ සී අලවතුවල මහතා මෙහිදී කියා සිටියේ.

ඔබගේ අදහස අපට කියන්න

Close