ලසන්ත ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පතිවරු දෙදනකු අත්අඩංගුවට ?

සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම, පරීක්‍ෂණ යට ගැසීම, සාක්‍ෂි විනාශ කිරීම ඇතුළු චෝදනා කීපයක්‌ සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පතිවරුන් දෙදෙනකු සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම හිටපු පොලිස්‌පතිවරුන් දෙදෙනාගෙන් සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අවස්‌ථා කීපයකදීම ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
ලසන්ත වික්‍රමතුංග මහතාට ජීවිත තර්ජන එල්ල කළ පුද්ගලයන් පිළිබඳව රහසිගත තොරතුරු සටහන් කර තිබූ ඒ මහතාට අයත් සටහන් පොතක්‌ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්‌පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් එවකට පරීක්‍ෂණ පවත්වමින් සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉවත් කර එම පරීක්‍ෂණය ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය වෙත භාර දීම සම්බන්ධයෙන් හිටපු තවත් පොලිස්‌පතිවරයකුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

මෙම පොලිස්‌ නිලධාරීන් ලසන්ත ඝාතන සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සිතාමතාම යට ගැසීමට උත්සාහ කර ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම නිලධාරීන්ට එරෙහිව බරපතළ චෝදනා රැසක්‌ එල්ල වී තිබෙන බවත් ඔවුන් ළඟදීම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර විශ්‍රාමික ‍පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු විශ්‍රාමික සහ දැනට සේවයේ නිරත ‍පොලීසියේ ඉහළ නිලධාරීන් 15 දෙනෙකුට එරෙහිව පුළුල් විමර්ශන පැවැත්වෙන බව ‍පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.අපරාධ වසන් කිරීම, අපරාධ සඳහා ආධාර අනුබලදීම, රජයේ දේ‍පොළ අනිසි ලෙස පරිහරණය කිරීම ආදී චෝදනා එම නිලධාරීන්ට එල්ලවෙමින් ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.
විශ්‍රාමික ‍පොලිස්පතිවරු දෙදෙනාට අමතරව විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරු දෙදෙනෙක් විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරු තිදෙනෙක්, විශ්‍රාමික ‍‍‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු තිදෙනෙකු සහ දැනට සේවයේ නිරත ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙකු නියෝජ්‍ය ‍පොලිස්පතිවරු දෙදෙනෙකු, සහ ‍පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලධාරීන් දෙදෙනකු සිටින බව ‍පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඔබගේ අදහස අපට කියන්න

Close