අගමැති පිළිගන්න නවසීළන්තයේ හකා නැටුමක් නටලා(Video)

පෙරේදා නවසීළන්තයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට එරට ඉතා ජනප්‍රිය හා පැරණි හකා නර්තනයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ එම අවස්ථාවයි.

මේ අතර අපේ ආගම, අපේ ජාතිය ගැන ආඩම්බර වෙමින්, ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු නමුත් ඒ සමගම ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකට එකමුතු විය යුතු බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඔක්තෝබර් 01 වන දා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර ඇල්බට් කන්දේ යුධ ස්මාරක ශාලාවේ පැවති ලාංකේය ප්‍රජා හමුවක දී වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ එකුමුතුව තුළින් සිදු කරන්නා වූ කැපවීම් ඔස්සේ අනාගත පරපුරට වඩාත් යහපත් ශ්‍රී ලංකාවක් ලබාදීමට වෙහෙසිය යුතු බවය.

ඒ අභියෝගාත්මක ව්‍යායාමයට පූර්ණ සහය දක්වන්නැයි වික්‍රමසිංහ මහතා ඕක්ලන්ඩ් නුවර වෙසෙන ලාංකේය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව යහපත් මාවතකට අවතීර්ණ වී ඇති බව සාධක සහිතව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, තිරසර සංවර්ධනය සහ සංහිදියාව උදා කර ගැනීම උදෙසා මේ මාවතේ තවදුරටත් ඉදිරියටම ගමන් කළ යුතු බව ප්‍රකාශ කළේය.

ඕක්ලන්ඩ් නුවර වෙසෙන ශ්‍රී ලංකේය ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටි අතර, ඔවුන් නැගූ ප්‍රශ්න ගණනාවකට ද වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දිණි.

ප්‍රජා හමුව අවසානයේ වික්‍රමසිංහ මහතා සමග පුද්ගලිකව සාකච්ඡා කිරීමට ද, ඡායාරූප ගැනීමට ද පැමිණ සිටි පිරිස් උනන්දු වූහ.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රී පානබොක්කේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබගේ අදහස අපට කියන්න

Close