ඉකුත් රජය ආනයනය කළ ගුවන් යානා 4කින් රජයට දැවැන්ත අලාභයක්

ශ්‍රී ලංගමයට බස් රථ අවශ්‍ය මේ මොහොතේ රටට අනවශ්‍ය එයාර් බස් ආනයනය කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය රජය විසින් අනායනය කර ඇති එම ගුවන් යානා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කලහොත් රජය විසින් රුපියල් කෝටි 1960 ක් ගෙවිය යුතුවන බවයි.

වැඩි දුරටත් අදහස් දැක් වූ රවී කරුණානායක මහතා –

“අපි දැන් 2017 අයවැය සකස් කිරීමේ කටයුතුවල නිතර වෙලා ඉන්නෙ. අධ්‍යාපයට මුදල් වෙන් කිරීමේ දී අපට ආපු බරපතල ගැටලුවක් තමයි කලින් ආණ්ඩුව කළ අනවශ්‍ය වියදම් පියවා ගන්නා ආකාරය. විශේෂයෙන් ම ශ්‍රී ලංකන් එයාර් සමාගම සිදු කළ අවිධිමත් මිලදී ගැනීම්වල ප්‍රතිඵල අපි භුක්ති විඳිමින් ඉන්නවා. ශ්‍රී ලංකන් ආයතනය විසින් ඇණවුම් කළ ඒ 350 වර්ගයේ එයාර් බස් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. මේව අරගෙන තියෙන්නෙ අධික මිල ගණන්වලට. මේ සඳහා අපි මාසික වාරිකය අමෙරිකානු ඩොලර් මිලියන 1400ක් විතර ගෙවනවා. නමුත් ඇත්තට ම අපි ගෙවන්න ඕනෙ මිලියන 950ක් විතර මුදලක්.

මේ ගුවන් යානාවල ඇත්ත වටිනාකමට වඩා, 25%කට වැඩි මුදලකට තමයි මේවා ලබා ගෙන තියෙන්නෙ. වැරැදි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළ නිසා වැඩි මුදලක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වර්ගයේ අහස් යානාවක් එකවර පැය 17ක් විතර පියාසර කරවිය හැකියි.

මං අහන්නෙ අපි ශ්‍රී ලංකාවේ ඉඳන් කොයි රටට ද මේවා, පියාසර කරවන්නෙ. අපට එහෙම ගමනාන්ත තියෙනව ද? ඉතින් අපි තීන්දු කළේ මේක අපට ඉදිරියට ගෙනියන්න බෑ කියලයි. එහෙම අරගෙන ගියොත් එක මාසයකට අපට අමෙරිකානු ඩොලර් මිලියන 890ක අලාභයක් ගෙවන්න වෙනවා. ඒ අනුව පාඩුව අවම කිරීමේ පියවරක් විදියට අදාළ කල්බදු සමාගමට ම, මේ යානා නැවත ගන්න කියල ඉල්ලීමක් කළා. ඒ වෙනුවෙන් අපි කෝටි 1960ක විතර වියදමක් දරන්න ඕනෙ.

මේක අපට අධ්‍යාපනයට යොදවන්න තිබුණ. පාසල් පොත් ටික අරන් දෙන්න, විද්‍යාගාර හදන්න අපට මේ මුදල් වෙන් කරන්න පුළුවන්කම තිබුණ. මේකෙන් තව ගෙවල් ලක්ෂයක් දෙකක් හදල දෙන්න තිබුණ. මේක කලින් ආණ්ඩුව කිසිම විනිවිධභාවයක් නැතුව අත්තනෝමතික ලෙස ගත්ත ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක්. ඒ අය ඒ විදියට කටයුතු කළාට අපට තමයි දැන් එවට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නෙ. මාධ්‍යයේ වගකීම තමයි මේ සිදු වෙලා තියෙන දූෂණ ජනතාවට පෙන්වල දෙන එක.”

ඔබගේ අදහස අපට කියන්න

Close