ලසන්ත ඝාතන පරීක්ෂණ ගැන හිටපු ලොක්කෙක් බියෙන්ලු

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනයට කොටි ලේබලය ඇලවීමට උත්සාහ ගත් හිටපු පොලිස් ලොක්කන් කීපදෙනකු අතරින් අයකු මේ වන විට දේශපාලනඥයන්ගේ රැකවරණ පැතීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග අනාවරණ කරනවා.

ලසන්ත වික්‍රමතුංග මහතා මියගිය දිනයේ මෝටර් රිය තුළ තිබී හමුවූ ඔහුගේ රහස් දින පොත දැනට විශ්‍රාමිකව සිටින පොලිස් ලොක්කකු අතට පත්වීමෙන් පසු පොලිස් මූලස්ථානයේ එවකට සිටි පොලිස් ලොක්කකු අතට පත්වීමත්, අනතුරුව ඉහළින් ආ නියෝගයක් මත එය අතුරුදන් කළාද යන්න ගැන දැඩි සැකයක් මතුව ඇති බවයි වාර්තාවන්නේ.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ රහස් අත්පොත මුලින්ම අතට පත්වූ විශ්‍රාමික පොලිස් ප්‍රධානියකුගෙන්  රහස් පොලිසිය මෑතදී ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර එහිදී එම රහස තරමක් දුරට අනාවරණය වී ඇති බවද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග අනාවරණ කළා.

පසුගිය 27 දින ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩ ගෙන දැනට සිදුකරගෙන යන පශ්චාත් මරණ පරීක්ෂණයේ කටයුතු අවසන් වී නැති වුවද ලසන්ත ඝාතන සිද්ධිය වූ දින සිට රහස් පොලිසිය විසින් සිදුකරනු ලැබ ඇති පරීක්ෂණ ගොනු එකින් එක විමර්ශනය කරමින් සිටිනවා. ලසන්ත වික්‍රමතුංග මහතාට  බෝල්ට් නමැති උලක් විහිදෙන අවියකින් වෙඩි තැබූ බවටයි මේ වන විට සැක මතුව ඇත්තේ.
එම ආයුධය වෙනත් රටවට සතුන් ක්ෂණිකව ඝාතනය කිරීම සදහා භාවිතා කරනු ලබන්නක්.

මේ පිළිබද තහවුරු කර ගැනීම සදහා ලසන්ත වික්‍රමතුංග මහතාට බරපතළ තුවාල සිදුවී රෝහලට ගෙනගිය අවස්ථාවේ ඔහු ශල්‍යකර්මයකට භාජන කළ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිරීක්ෂණ ලබාගැනීමටද රහස් පොලිසිය කටයුතු කරමින් පවතිනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close