සිරිපා බිමේ වසර 800 ක් පැරණි රහසක් පොලවෙන් මතුවෙයි

මේ වසරේ සාහිත්‍ය මාසය වෙනුවෙන් ඓතිහාසික පැල්මඬුල්ල රජමහ විහාරය සංවිධානය කර තිබූ සාහිත්‍ය මේලා ප්‍රදර්ශනය ඉකුත් 17 දින ආරම්භ වී 23 දින නිමාවට පත්විය. ශ්‍රීපාදස්ථානාධිපති හා උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි සංවිධානය කර තිබූ මෙම සාහිත්‍ය ප්‍රදර්ශනය නැරඹීම සඳහා රත්නපුර දිසාවේ මහා සංඝරත්නය, විද්වතුන්, පාසල් දරුවන් ඇතුළු මහජනතාව විශාල පිරිසක් පැමිණියහ.

පැල්මඬුලු සාහිත්‍ය මේලා ප්‍රදර්ශනය ආරම්භ වූ ඉකුත් 17 දින මෙසේ පැමිණි ජනතාව අතර එක් විශේෂී පුද්ගලයකුද විය. ඔහු පැමිණ සිටියේ සාහිත්‍ය මේලා ප්‍රදර්ශනය නැරැඹීමට අමතරව තවත් සුවිශේෂී කාර්යයකටය. ඒ තමන් සතුව පවතින වටිනා පුරාවස්තුවක් ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් වෙත ලබාදී ඒ පිළිබඳ වතගොත රටට හෙළි කිරීමටය.
රත්නපුර, පලාබද්දල පැරැණි ශ්‍රීපාද රජ මාවතේ පදිංචි කුඩා තේ වතු හිමියකු වූ ඔහු නමින් තිලකසිරි අමරසේකරය. ඓතිහාසික පැල්මඬුලු රජමහ විහාරයේ සාහිත්‍ය ප්‍රදර්ශනය ආරම්භ වීමට මත්තෙන් ශ්‍රීපාදස්ථාන නාහිමියන් මුණගැසුණු තිලකසිරි අමරසිංහ මහතා තමන්ගෙ ගමන් මල්ලේ කඩදාසියක ඔතා තිබූ මේ පුරාවස්තුව නාහිමියන්ගේ අතට පත් කළේය.

ස්වරූපයෙන් තරමක කොණ්ඩ කැවුම් ගෙඩියක් බඳු මෙම පුරාවස්තුව විශේෂිත පාෂාණයකින් නිමවා තිබූ බැවින් ග්‍රෑම් 400ක් පමණ බරකින්ද යුක්තය. එහි මුහුණතේ දෙමහල් මන්දිරයක සලකුණක් හා ශ්‍රී පාදස්ථානයේ සලකුණක් මනාව මතුකර තිබූ අතර ඒ මධ්‍යයේ බෝධි වෘක්ෂයක සලකුණක්ද විය.
අදින් වසර 800කට පමණ පෙර ශ්‍රී පාද අඩවියේ පිහිටා තිබූ ලෝක ප්‍රකට අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ දේවප්‍රතිරාජ භික්ෂු පිරිවෙනේ භාවිත කළේ යැයි සැලකෙන පැරැණි නිල මුද්‍රාවේ කතාන්දරය කරළියට එන්නේ එසේය.

රත්නපුර-පලාබද්දල, ශ්‍රීපාද පැරැණි රජ මාවත වැටී ඇත්තේ පලාබද්දල ගම ඔස්සේය. මෙම ශ්‍රී පලාබද්දල ගම්මානයේ තේ හා කුඹුරු ඉඩම්වලින් ඉපැරැණි ගල් කණු, පැතලි උළු, මුරගල් හා වළං කැබලි, කාසි මතුවන්නට වූයේ බොහෝ කලෙක පටන්ය. එයට හේතුව නම් දෙවන පරාක්‍රම රජ දවස (1391-1397) මෙම ශ්‍රීපාද අඩවියේ දේවප්‍රතිරාජ පිරිවෙන මෙම ප්‍රදේශයේ පිහිටා තිබීමයි. වසර 800කට පෙර මෙම ප්‍රතිරාජ පිරිවෙන තිබූ ප්‍රදේශය වර්තමානයේ පලාබද්දල ගම්වාසීන් හඳුන්වන්නේ ‘ගල්කණු මඩම’ යනුවෙනි. අද වන විට මෙම ඓතිහාසික ප්‍රදේශය පෞද්ගලික තේ ඉඩම් හා කුඹුරුවලින් යුක්තය.

“මම පරණ ශ්‍රීපාද මාර්ගයේ ගමන් කරනකොට පාර අයිනේ පොල් මුලක් අස්සේ අමුතු හැඩයේ ගල් කැටයක් දැක්කා. පස්සේ මම ගමන නතර කරලා පොල්මුල හාරලා මේ කැවුම් ගෙඩියක් වගේ ගල් කැටය එළියට ගත්තා. මම හිතුවේ මේක පරණ ගුරුලේත්තුවක මූඩියක් කියලා. පස්සෙ ගෙදර අරගෙන ගිහින් පස් සුද්ද කරලා බලනකොට මෙම ගල් මූඩියේ සමතලා පැත්තේ පැරැණි සලකුණු කිහිපයක් දැක්කා. මේක පුරාවස්තුවක් බව මට හිතුණා. ගමේ අහල පහළ අයට පෙන්නුවත් මේ මොකක්ද කියා හරියටම කියන්න කාටවත් බැරි වුණා. ඔය අතර කිහිපදෙනෙක් මේක මගෙන් සල්ලිවලටත් ඉල්ලුවා. නමුත් මේ පුරාවස්තුව මම කාටවත් නොදී පෙට්ටියක දමා ආරක්ෂා කළා. මහාචාර්ය ජේ.බී. දිසානායක මහත්තයා රත්නපුරේ දේශනයකට ආපු දවසක මම එතුමාටත් මේ අපූරු වස්තුව පෙන්නුවා. එතුමා කිව්වා මේක ගොඩක් පැරැණි එකක්ය. පරිස්සම් කරලා තියාගෙන සුදුසු දවසක සුදුසු තැනකට මේක දෙන්න කියලා. ශ්‍රී පාද අඩවියෙන් හමුවුණු නිසා මේ පුරාවස්තුව වර්තමාන ශ්‍රී පාදස්ථානාධිපති ධම්මදින්න නාහිමියන්ටම දෙන්න තීරණය කළා. මෙතෙක් කලක් මම පරිස්සම් කරල තියෙන්නේ දේවප්‍රතිරාජ පිරිවෙනේ නිල මුද්‍රාව කියල එතැනදි දැනගත්තාම මට පුදුම සතුටක් දැනුණා.”

මෙම ඓතිහාසික නිල මුද්‍රාව පොළොවෙන් මතුවීම පිළිබඳ නිධාන කතාව පලාබද්දල තිලකසිරි අමරසේකර මහතා විස්තර කරන්නේ එසේය.
තමන්ට ලැබුණු මෙම ඓතිහාසික පුරාවස්තුව තිලකසිරි අමරසේකර මහතා ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් අතට පත් කරන්නේද විද්වතුන් රැසක් ඉදිරියේදීය. මහාචාර්ය දයානන්ද සෝමසුන්දර, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, ආචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ම එදින පැල්මඬුලු සාහිත්‍ය මේලා උත්සවය ආරම්භ කිරීමට පැල්මඬුලු මහ වෙහෙරට පැමිණ සිටියහ. අදින් වසර 2138කට පෙර දුටුගැමුණු රජ සමයේ විසූ මලියදේව මහරහතන් වහන්සේගෙන් ආරම්භ වූ පලාබද්දල ආරණ්‍ය සේනාසනය දෙවන පරාක්‍රමබාහු රජ දවස (1391-1397) පලාබද්දල දේවප්‍රතිරාජ පිරිවෙන බවට පත් විය. පරාක්‍රමබාහු රජතුමාගේ ඇමැතිවරයකු වූ දේව ප්‍රතිරාජ ඇමැතිවරයා විසින් මෙම භික්ෂු පිරිවෙන සඳහා දෙමහල් ගොඩනැඟිල්ලක් ඇතුළු ඉදිකිරීම් රැසක් සිදු කළ බැවින් පසු කාලයේදී පලාබද්දල පිරිවෙන දේවප්‍රතිරාජ පිරිවෙන නමින් හැඳින්වීමට පටන්ගෙන තිබේ.

ග්‍රන්ථ ධුරයෙහි හා විදර්ශනා ධුරයේ දක්ෂතා ඇති භික්ෂුන් වහන්සේ සිය නමකට අධික පිරිසක් මෙම ප්‍රතිරාජ පිරිවෙනින් බිහිවූ බව අපගේ ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි. මේ පිළිබඳ ශාසනාවතාර (නිකාය සංග්‍රහය) නමැති ග්‍රන්ථයේදී පැහැදිලි විස්තරයක් තිබේ.
මෙයට වසර 800කට පමණ පෙර ලෝකයේ දියුණුතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස පැවැති ප්‍රතිරාජ පිරිවෙන ‘ධර්මකීර්ති’ සඟ පරපුරට අයත්ය. උඩරට රාජධානියේ ආරම්භයත් සමඟම මහනුවර අගනගරය බවට පත්වූ නිසා පලාබද්දල ප්‍රතිරාජ පිරිවෙන ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්වන්නට පටන්ගෙන තිබේ. ඒ සමඟම දේවප්‍රතිරාජ පිරිවෙනද අභාවයට ගොස් ඇත. බොහෝ කාලයක් රජ මාවත ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ ගිය බැතිමතුන්ගේ නවාතැන් පළක් බවටද පත්ව තිබූ මෙම ප්‍රතිරාජ පිරිවෙන ඉන්පසු ‘ගල්කණු අම්බලම නමින්’ ව්‍යවහාර වන්නට විය. හැටන්-ශ්‍රීපාද මාර්ගය ඉදිවීමත් සමඟ රත්නපුර රජ මාවත ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ එන පිරිස ශීඝ්‍ර ලෙස අඩු වූයෙන් සෙසු අම්බලම් සමඟම ගල්කණු අම්බලමද කැලෑවට යට විය.

මෙම ප්‍රතිරාජ පිරිවෙනෙහි නටබුන් වර්ෂ 1950 වන තෙක්ම දක්නට ලැබුණු බවත් ඒ ආශි්‍රතව භික්ෂුන් වහන්සේ ජල පහසුව ලබාගත් පොකුණක් හා තරමක දුරින් ගල් පර්වතයක නෙලූ ඉපැරැණි සෙල් ලිපියක් තිබූ බවත් කිරිඇල්ලේ ඥානවිමල හිමියන් ලියූ ‘සබරගමු දර්ශන’ නමැති ග්‍රන්ථය පෙන්වා දෙයි. මෙම ප්‍රතිරාජ පිරිවෙනෙහි තිබූ ගල්කණු බොහොමයක් ශ්‍රීපාද රජ මාවතේ සංවර්ධන කටයුතුවලදී ගල්පඩි සඳහා යොදාගෙන ඇත. තවත් ගල්කණු රැසක් පලාබද්දල පහළ කොටසේ පිහිටි කීර්ති ශ්‍රී රාජසිංහ රජමහ විහාරයේ මළුව වටා සිටුවා ඇති බවත් පලාබද්දල ගම්වැසියන් පවසයි.

ශ්‍රීපාද අඩවියේ පාමුල ඉතිරිව තිබූ ප්‍රතිරාජ පිරිවෙනට අයත් අනෙක් ගල්කණු හා නටබුන් බොහෝමයක් විශාල වළවල් කපා වළදමා ඒ මත කුඹුරු හා තේ වගා කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබීමද ඛේදජනකය. වසර සිය ගණනක් තිස්සේ පොල් මුලක් යටත් තවත් ටික කාලයක් පෙට්ටගමක් තුළත් සැඟව තිබූ ප්‍රතිරාජ පිරිවෙන් නිල මුද්‍රාව හමුවීමත් සමඟ පලාබද්දල ප්‍රදේශය පිළිබඳ නැවත බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. වත්මන් ශ්‍රී පාදස්ථානාධිපති හා පැල්මඬුලු රජමහ විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් දක්වන්නේ මෙවැනි අදහසකි.

“තිලකසිරි මහත්තයා ලබාදුන් මෙම මුද්‍රාව නැත්නම් සීල් එක පලාබද්දල ප්‍රතිරාජ පිරිවෙනේ මුද්‍රාව බවට සැකයක් නැහැ. මිනිරන් මිශ්‍ර විශේෂ පාෂාණයකින් මෙය නිර්මාණය කර තිබෙනවා. එහි මුද්‍රාවේ ප්‍රතිරාජ පිරිවෙන, බෝධි වෘක්ෂයක් හා ශ්‍රීපාදය පැහැදිලිව සලකුණු කර තිබෙනවා. අපේ පැල්මඬුල්ල රජමහ විහාරයත් පලාබද්දල ධර්මකීර්ති සඟ පරපුරට අයත් පන්සලක්. එම පරපුරේ ඓතිහාසික සන්නස්් පත්‍ර, පුස්කොළ පොත් ඇතුළු ලිපිලේඛන අපේ විහාරයේ සුරක්ෂිතව තිබෙනවා. එම නිසා මෙම ඓතිහාසික නිල මුද්‍රාව එය හිමි තැනටම නැවත ලැබීම විශේෂයක්. අපේ පරපුරේ ගෞරව නාම දෙනකොට ‘ධර්ම කීර්ති ශ්‍රී’ කියල දෙන්නේ මේ ප්‍රතිරාජ පිරිවෙන සමඟ ඇති සම්බන්ධය නිසයි.”

බුද්ධික කෝණාර මුදියන්සේ (Mawbima)

ඔබගේ අදහස අපට කියන්න

Close