අවංක වුණොත් අවුරුද්දක් පීට්සා නොමිලේ

පීට්සා බොහෝ දෙනකු අනුභව කිරීමට ප්‍රිය කරන ආහාරයක්. මේ කතාවත් පීට්සා තරම්ම රසවත් වන්නේ පීට්සා ආහාරයකට අවංකකම මුසුවීම නිසයි. අමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සෙලේනා ඇවලෝස් පසුගිය දිනක සිය නිවසට පීට්සා රැගෙන එන්නැයි එක්තරා සමාගමකට දන්වා තිබුණා. ඇය අපේක්ෂා කළ ආහාරය මද වේලාවකින් නිවසට ලැබී තිබූ අතර එය විවෘත කළ පසු දුටු දසුනින් ඇය විමතියට පත්වුණා.
එහි වූයේ පීට්සා පමණක් නොවෙයි. අමෙරිකානු ඩොලර් 5,000 ක මුදලක්ද එය තුල තිබුණා. මෙයින් කලබලයට පත්වූ ඇය වහාම අදාළ සමාගමට ඇමතුමක් ලබාදී ඔවුන්ගේ මුදල් පැමිණ ගෙන යන්නැයි දන්වා සිටියා.
ඇයෙ මන්ම අදාළ සමාගමත් පුදුමයට පත්වුණා. ඊට හේතුවූයේ එම කාන්තාවගේ අවංකභාවය පිළිබදවයි.
එතන තිබුණේ ඩොලර් 20 ක් නෙවෙයි. ඩොලර් 5000ක්. ඉතින් මම කොහොමද ඒක තියාගන්නේ. සෙලේනා ඇවලෝස් ඒ බී සී 7 රූපවාහිනියට ප්‍රකාශ කළේ එවැන්නක්.
කෙසේ වෙතත් මෙම යහපත් ක්‍රියාවේ ප්‍රතිඵල ලැඛෙන්නට වැඩි කල් ගතවුණේ නැහැ. අදාළ පීට්සා සමාගම දැන් දිනකට වරක් බැගින් වසරක් ඇයගේ නිවසටම පීට්සා සපයන්නේ කිසිදු ගාස්තුවකින් තොරවයි. ඒ ඇයගේ අවංකකමට ලබාදෙන ත්‍යාගයක් ලෙසින්.

ඔබගේ අදහස අපට කියන්න

Close