නවසීලන්තයේ කිරි පිටි නිෂ්පාදන කර්මාන්ත අගමැතිගේ නිරීක්ෂණයට

නව තාක්‍ෂණය සහ යන්ත්‍ර සූත්‍ර උපයෝගී කර ගනිමින් කිරි නිෂ්පාදනය සිදු කරලීමේ ප්‍රායෝගික පසුබිම නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස ඔක්තෝබර 02 වන දා පෙරවරුවේ නවසීලන්තයේ හැමිල්ටන් නුවර ෆොන්ටේරා කිරි නිෂ්පාදන කර්මාන්ත ශාලාව වෙත ගියහ.

ලෝකයේ ප්‍රධානතම කිරි නිෂ්පාදන අපනයනය කරන ෆොන්ටේරා සමාගම නවසීලන්තයේ සත්ව ගොවිපල පවත්වාගෙන යන පවුල් 10,500 කින් සමන්විත සමුපකාර සමාගමකි.

කිරි ලීටර බිලියන 22 කට වඩා සැකසීමේ කාර්යයේ නිරත ෆොන්ටෙරා සමාගම ඉන් කිරි ලීටර බිලියන 18 ක් නවසීලන්තයෙන් ද, ඉතිරි බිලියන 4 ලෝකයේ අනෙක් රටවලින් ද ලබා ගනී. දිනකට කිරි ලීටර ලක්‍ෂ දෙකක් සැකසිය හැකි විශාලතම කර්මාන්ත ශාලාව සතුව ඇත්තේ ද ෆොන්ටෙරා සමාගමට ය.

හැමිල්ටන් නුවර ටෙ රපා නගරයේ හි පිහිටා ඇති ෆොන්ටෙරා කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ශ්‍රී ලංකා දූත පිරිස ඉන් අනතුරුව ෆොන්ටෙරා සමාගමේ සභාපති ජෝන් විල්සන් මහතාගේ සත්ව ගොවිපල නැරඹිමට ද ගියහ.

ශ්‍රී ලංකවේ කිරි ගොවියන්ට වැඩි අදායම් මාර්ග ලබා ගත හැකි වන අයුරින් කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරලීමේ හැකියාව සහ නවීණ තාක්‍ෂණය ඒ සඳහා උපයෝගී කර ගත හැකි අන්දම පිළිබඳව ද මේ නිරික්‍ෂණ චාරිකාවේදී අවධානය යොමු කෙරිණි.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමතිනි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර්, අග්‍රාමාත්‍ය විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රී පානබොක්කේ යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබගේ අදහස අපට කියන්න

Close