පුද්ගලයින්ගේ ආත්මභව වල අස්ථි කොටස් විශ්වය පුරා

අපවත්වී වදාළ ඛෙල්ලන ඥානවිමල මහා නාහිමියන් මෙරට වැඩ විසූ උතුම් සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ විසින් සිය ධර්ම ඥානයෙන් යුතුව බුදුසරණ පුවත්පතට දෙසා වදාළ  සක්වල සක්මන දේශනා මාලාවේ 15 වන පියවරයි මේ.

මහ නායක හාමුදුරුවනේ, එක කල්පයක් තුළ පමණක් මෙලෙස ඉපදි ඉපදී මැරි මැරී යන එක් අයකුගේ ශරීර ඇටසැකිලි කොටස්වල ප්‍රමාණය කොපමණ වෙයිද ?

ඔව්, එක කල්පයක් තුළ වුණත් අපි විවිධ ආත්මභාව ලබා උපන් ශරීරවල ඇට සැකිලි කොටස් මේ විශ්වය පුරා විසිර තිබිය හැකියි. ඒ අතරින් ඔබේ හෝ වෙන කෙනෙකුගේ හෝ එම පූර්ව ආත්මවල ශරීර කොටස් නූතන ඩී. එන්. ඕ. තාක්‍ෂණයෙන් හරි, මෝහණ විද්‍යාවෙන් හරි සොයා හඳුනාගත හැකි නම්, ඒවා එකතු කර ගොඩක් ගැහුවොතින් ඔබ පුදුම වනු නියතයි. ඒ තරමටම ඔබ විවිධ ආත්මභාවවල ඉපද ඉපදී මැරි මැරී යනවා.

මෙලෙස අපි විවිධ ආත්මභාව ලැබ උපන් ශරීරවල ඇට සැකිලි ඇසුරෙන් කල්පයක විශාලත්වය පිළිබඳව අප ගෞතම බුදු රදුන් ද පෙන්වා දී තිබෙනවා. ඒක සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායෙහි එන කුඩා ග්‍රන්ථ 15 න් එකක් වන “ඉතිවුත්තක” කථා පෙළෙහි විස්තර කර ඇත්තේ මෙසේයි.

“එක් කල්පයක් තුළ රැස් කරන ලද එක් පුද්ගලයකු උපන් ජාතීන්ගේ (ආත්මභාවයන්හ) ශරීරවල ඇටසැකිලි සමූහය එක් කළ (ගොඩ ගැස) විට රජගහනුවර මේ වේපුල්ල පර්වතයට සමාන වෙනවා”

වේපුල්ල පබ්බත හෙවත් පර්වත කන්ද කියන්නේ අසල්වැසි දඹදිව රජගහනුවර පිහිටි ප්‍රධාන කඳු පහ (05) අතරින් විශාලම කන්දටයි. ඉතින් අප එක කල්පයක් තුළ පමණක් එපමණ ආත්ම ගාණක් ඉපදී මැරෙනවා.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවරදීම ඊට පෙරත් අප බෝසතුන් ශරීරය අතැර ගොස් තිබෙනවා ද ?

ඔව් උන්වහන්සේ කුසිනාරාවේදී අවස්ථා කිහිපයකදීම ශරීර නික්‍ෂෙපය හෙවත් සිරුර අතහැර යාම (පොළවට බහාලීම) සිදු කර ඇති බව “මහා සුදස්සන සූත්‍රයෙහි” දැක්වෙනවා. දීඝ නිකායට අයත් 17 වන සූත්‍රය ලෙස සැලකෙන මෙම “සුදස්සන සූත්‍රයෙන්” මෙබඳු විස්තරයක් කර තිබෙනවා.

‘කුසිනාරා නුවර උපවත්තන සල් උයනේදී ආනන්ද තෙරුන් බුදු රදුන් වෙත ගොස් මෙසේ කීය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස කුඩා නුවරක් වූ නොසම නුවරක් වූ ශාඛා නගරයක් වූ මේ කුඩා කුසිනාරා නුවර පිරිනිවන් නොපාන සේක්වා.”

“ආනන්දය, කුඩා නුවරය, නොසම නුවරය, ශාඛා නගරයයි, මෙසේ නොකියව, පෙර කාලයක අභිෂේක ලැබුවාවූ ක්‍ෂත්‍රිය වංශයෙහි උපන් මහා සුදස්සන නම් රජෙකු මෙහි විය. ඔහුගේ මේ කුසාවතී නමැති පුරාණ රාජධානිය සියලු සම්පතින් සමෘද්ධිමත්ව පැවතිණ.

ආනන්දය, සංස්කාරයන්ගේ අනිත්‍යතාව බලව. සියලුම ඒ සංස්කාර ධර්මයෝ ඉකුත් වූහ. නිරුද්ධ වූහ. විනාශ වූහ.

ආනන්දය, මම වනාහී මේ ප්‍රදේශයෙහි මීට පෙර හය වාරයක්ම ශරීරය නික්‍ෂෙපය (සිරුර අතහැරීම) කළ බව දනිමි. ඒ වනාහි ධාර්මික වූ ධර්මරාජයන් වූ චක්‍රවාළය (සක්වළ) කෙළවර කොට ඇති සතර මහාද්වීපය ජය ගත්තා වූ ජනපදයන්හි ස්ථිරභාවයට පැමිණියා වූ සප්තවිධ රත්නයෙන් යුක්ත වූ සක්විති රජ කාලයන්හිමය. මේ මාගේ සත්වෙනි ශරීර නික්‍ෂෙපය (සිරුර අතහැරීම) වන්නේය.

ආනන්දය, දෙවියන්, මරුන්, බ්‍රහ්මයන් සහිතවූ දෙව් මිනිසුන් සහිත වු ලෝකයෙහි (සක්වළෙහ ) යම් තැනක්හි තථාගත තෙම (බුදුන් ) අටවෙනි වර ශරීර නික්‍ෂෙපය (ශරීර කොටස් දැමීම) කරන්නේ ද එබදු වූ ප්‍රදේශයක් කිසිම සක්වළක මම නොදක්නෙමි යි “ වදාළ සේක.

එතකොට, අද සිටින සිත දියුණු කළ භාවනා යෝගීන්ට වුණත් මේ කල්පය තුළ තමන් උපන් අතීත ආත්මභාව දකින්න බැරිද?

දැන් ඔබ හිතලා බලන්න. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ එකම නගරයක් තුළ හත් (07) වතාවක්ම ඊට ආසන්න විවිධ ආත්මභාවවල ඉපදී ශරීරය අතහැර ගියා නම්, අපි කල්පයක් තුළ විවිධ තැන්වල අපේ ශරීරවල ඇට කටු ඉතිරි කර මැරි මැරී යන්නට ඇතිද ? අපේ භවයේ (සසර) ඇති දිගු බවත් කල්පයක පවතින දීර්ඝ බවත් බුදුහාමුදුරුවෝ තවත් තැනක මෙලෙස විග්‍රහ කර තිබෙනවා.

“මහණෙනි, තමන්ගේ අතීත ජාති (පූර්ව ආත්ම) සිහිපත් කළ (ස්වයං මෝහනය) හැකි වන සේ “ පුබ්බේනිවාසානුස්සති ඤාණය” ලැබූ මහා ශ්‍රාවකයන් සතර නමක්, වෙනත් සියලුම කටයුතු නවතා දමා ඉතා වේගයෙන් ඔවුහු පෙර ජාති (ආත්ම) සිහි කරන්නාහු, එහි එක දිනකට එක කල්පයක ජීවිත සිහිපත් කොට අවසන් කළහොත්, මේ ලෙසින් අවුරුදු සියයක් ගත කිරීමට උන් වහන්සේලාට හැකි වුවත්, උන්වහන්සේලාගේ සියලු කාලය ගෙවී අවසන් වන්නේ මුල (ආරම්භය) නොදැකමයි.”

එහෙමනම්, සක්වළේ හටගත් විවිධ කල්පවලින් යම් යම් වෙනස්කම් පවතිනවාද ?

ඔව්, හැම කල්පයක්ම එකිනෙකට වෙනස් වෙනවා. දැන් අපි මේ ගත කරන්නේ මහා භද්‍රකල්පයකයි. ඉනික්බිතිව, නිර්මාණය වෙන්නේ බුද්ධ ශූන්‍ය කල්පාවලියක්. ඒ කියන්නේ මේ භද්‍ර කල්පයේම මතු බුදුවන මෛත්‍රී බුදුන්ගෙන් පසු කල්ප ගණනාවක් ඉදිරියට බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ නොවන මිසදිටු අඳුරින් පිරුණු කල්ප ශුන්‍ය කල්ප ලෙස හැඳින්වෙනවා. මේ වගේ බුද්ධොත්පාද කාල අශූන්‍ය කල්ප වශයෙන් දැක්වෙනවා. මෙම අශූන්‍ය කල්ප සාර, මණ්ඩ, වර, සාරමණ්ඩ හා මහා භද්‍රකල්ප යනුවෙන් වර්ග කෙරෙනවා.

(1) මිස දිටු ශුන්‍ය කල්පයකට වඩා සාරගුණ උපදින කල්පය “සාර කල්පය” යි. මිථ්‍යා දෘෂ්ටියෙන් තොරවූ සාර කල්පය ශූන්‍ය කල්පවලට වඩා ගුණධර්මවලින් සාර වෙනවා.

(2) කන් දෙකටම කණ්ණාභරණ පැළැදීමෙන් මනා ලෙස සැරසිය හැකි ලෙස බුදුවරුන් දෙදෙනෙකු එක කල්පයක් තුළ පහළ වීමම ලොවට බුද්ධ මණ්ඩපයක් වැනියි.

(3) අසිිරිමත් බුදු උපත් තුනක වර, ලැබීමෙන් වර කල්පයේ මිනිසුන් බෙහෙවින් සතුටට පත් වෙනවා. මෙහි පළමුව පහළ වන බුදුන් මීළඟ බුදුන්ගේ ගුණත්, දෙවනුව පහළ වන බුදුන් තෙවැනි බුදුන්ගේ ගුණත් පවසනවා. එමගින් බුදුගුණ රැසක් ඇසීමට වර කල්පයේ මිනිසුන්ට වරයක් (භාග්‍යයක්) ලැබෙනවා.

(4) මේ සියලු කල්පවල උපත ලැබුවාට වඩා ඉතා අතිශය යහපත සලසාගත හැකි කාලය භද්‍ර කල්පයේදී අවස්ථාව සැලසෙනවා. මේ භද්‍ර කල්පයට වඩා බුද්ධාදින්ගෙන් සැරසුණු අනෙක් කල්පයක් තවත් ඇත්තේ නැහැ. ලෝකයට භද්‍ර කල්පයක් උදාවීම යනු “නුග දිඹුල් රුක්වල මල් හට ගැනීමක්” මෙන් අති දුර්ලභ කාලයක්. භද්‍ර කල්පයක උපත ලද හුඟ දෙනෙකුට බුදු, පසේ බුදු, මහ රහත් උතුමන්ගේ ඇසුර ලැබීමට හා එම උත්තරීතර දහම් කරුණු දැන ගැනීමට මඟ සැලසෙනවා.(Budusarana)

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close