ලංකාවට ණයෙන් මිදෙන්න නවසීළන්තයේ සහාය

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ණය අර්බුධයෙන් මිදීම සදහා සහය ලබාදීමට නවසීලන්තය එකගතාවය පලකර තිබෙනවා. එරට සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නවසීළන්ත මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් මහතා අතර සාකච්ජාවේදීයි මෙම එකගතාවය පලව ඇත්තේ. මේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ ඇතුලත් කළ සටහනයි.

“අද උදෑසන නවසීලන්තයේ වෙලිංටන් නුවර ඉන්ටර් කොන්ටිනෙන්ටල් හෝටලයේ දී මා ඇතුළු අප කණ්ඩායම නවසීලන්ත මුදල් අමාත්‍ය බිල් ඉංග්ලිෂ් මහතා හමුවී සාකච්ඡා පැවැත්වූ අතර එහිදී නව ලෝකයේ ප්‍රවණතාවන්ට අනුකූලව ශ්‍රී ලංකාව සිදු කිරීමට අපේක්‍ෂා කරන මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා තම රටේ විශේෂඥයන්ගේ දැනුම ලබා දීමට සූදානම් බව එතුමන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව නව ආයෝජන රැල්ලක් ඇති කරලීමේ අපේක්‍ෂාව ඇතිව සකස් කර ඇති සැලසුම ප්‍රශංසාවට ලක් කළ බිල් ඉංග්ලිෂ් මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික හා මූල්‍ය වර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් තම සහයෝගය ලබා දීමට කැමැත්ත පළ කරනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින ආර්ථික හා මූල්‍ය අභියෝගයන් පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා ලක් වූ අතර පසුගිය වසර දහයක පමණ කාලය පුරා ලබා ගෙන ඇති අධික ණය බර හමුවේ ජනතාවට පීඩාවක් නොවන අයුරින්, රටේ ආර්ථිකය හැසිරවීම සහ ණය බරින් නිදහස් වීම යන දෙඅංශය කෙරෙහිම සැලකිල්ලෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබදව මා කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

බදු ආදායම් එකතු කිරීමේ දුර්වලතා අවම කර ගනිමින්, රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂයෙන් අවධානයට ලක් වුණා.

නවසීලන්ත මුදල් අමාත්‍ය පුද්ගලික ලේකම් සයිමන් ඩන්කන්, භාණ්ඩාගාරයේ ජාත්‍යන්තර අංශ ප්‍රධානී ක්‍රිස් නීස්, ප්‍රධාන සංධාන නිලධාරිනී ජොඅන්නා කෙම්ප්කර්ස්, විදේශ අමාත්‍යංශයේ දකුණු සහ දකුණු ආසියා අංශයේ ප්‍රතිපත්ති නිලධාරිනී එමා කිං යන මහත්ම මහත්මීන් නවසීලන්ත මුදල් අමාත්‍යවරයා සමග මේ සාකච්ඡාව සදහා එක්ව සිටියා.”

ඔබගේ අදහස අපට කියන්න

Close