කෝණාගම බුදු හිමි සමයේ නටඹුන් ඉන්දු නිම්නයෙන් හමුවෙයි

අපවත්වී වදාළ ඛෙල්ලන ඥානවිමල මහා නාහිමියන් මෙරට වැඩ විසූ උතුම් සංඝ පීතෘවරයෙකි. උන්වහන්සේ විසින් සිය ධර්ම ඥානයෙන් යුතුව බුදුසරණ පුවත්පතට දෙසා වදාළ සක්වල සක්මන දේශනා මාලාවේ 16 වන පියවරයි මේ.

මහා නායක හාමුදුරුවනේ,
“රාවණ” කියන්නේ කාශ්‍යප බුද්ධ (පෙර) කල්පයේ මෙරට හිටපු අවසන් රජු (පාලකයා) ට ද?

සෑම කල්පයකම ආධ්‍යාත්මික බලය සහ භෞතික බලය උපරිමයකට පත්වන අවස්ථා දෙකක් තිබෙනවා. මේ දෙක එකම කාලයක පවතින්නේ නැහැ. සාමාන්‍යයෙන් ලෝකයට බුදුවරු පහළවෙන්නේ ආධ්‍යාත්මික ශක්තිය ඉස්මතුවන කාලවලයි. ඊඟාවට ඔබ කියපු ‘රාවණා’ වගේ බලගතු සක්විති රජවරු බිහි වෙන්නේ, භෞතික දියුණුව හිනිපෙත්තට වැඩුණු විනාශයට ළං වූ අවධිවලයි.

වාල්මිකීගේ ‘රාමායනයේ’ විස්තර වන අන්දමට ‘රාම – රාවණා’ යුද්ධය තාරකා මිසයිල ගුවන් යුද්ධයක් දක්වා වර්ධනය වූවක්, රාවණගේ ‘දඬුමොණරය’ ගුවන්යානය මේ කල්පයේ නිර්මාණය වූවක් නොවෙයි. පැරණි ලංකාපුරය, ඊජිප්තුව හැරුණු කොට කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගාව ආශි‍්‍රත ටෝලීමා නටඹුන් වලින් ද පුරාණ ගුවන් යානා (Gold Flyer) ආකෘති ආදිය හමු වී තිබෙනවා. මෑත යුගයේ දී රයිට් සහෝදරයෝ අලුතින් ගුවන් යානය නිර්මාණය කළාට ඊට පූර්ව යුගවලදීත් ලොව ගුවන් යානා තාක්‍ෂණය පවා තිබී ඇති බව නූතන විද්‍යාඥයනුත් අද පිළිගනු ලබනවා.

හොඳයි, එතකොට මේ ගෞතම බුද්ධ කල්පය නිර්මාණය වුණේ එම භෞතික බලය පිරිහීමෙන් පසුව ද?

ඔව්. මෙහෙම ගිහිල්ලා දැන් මේ අද දවසේ පවතින භෞතික විද්‍යාවේ දියුණුව හා බටහිර භෞතික බලයත් හිනි පෙත්තටම ගිහින් එක්තරා තැනකදී නතර වෙනවා. මෙලෙස භෞතික ශක්තියෙන් සන්නද්ධ වුණාම මිනිස්සු තුළ ‘මෘංග සංඥා’ පහළ වෙන්න පටන් ගන්නවා. ඉනික්බිතිව, එතෙක් නිපදවපු, නොහිතන තරම් අති ප්‍රබල අවි ආයුධවලින් මහා දරුණුවට යුද්ධ කරනවා. ඒ මහා ‘මෘගසන් යුද්ධයෙන්’ සියලු ශිෂ්ටාචාර, රාජධානී මුළුමනින් වැළලී යනවා. ඊට පස්සේ ඉතිරි වූ මිනිසුන් සුළු පිරිස ක්‍රමිකව ආයෙමත් ආධ්‍යාත්මයට නැඹුරු වීමෙන් පසු මතු මෛත්‍රී බුද්ධ කල්පය නිර්මාණය වෙනවා.

එහෙමනම්, එන මෛත්‍රී බුද්ධ කල්පයේදීත්, මේ ගෞතම බුද්ධ කල්පයේදි නිර්මාණය වූ සියලු භෞතික ඉදිකිරීම් පවා විනාශ වී යනවා ද?

ඔව්. බොහෝවිට එහෙම වෙනවා. ඉතාම කලාතුරකින් තමයි යමක් ඉතිරි වෙන්නේ. දැනට මේ මහා භද්‍රකල්පයේ දෙවෙනි අන්තඞකල්පයේ පැවති කෝණාගම බුද්ධ ශාසනයේ ඇතැම් නටබුන් ඉන්දු නිම්නයෙන් හා හරප්පා ශිෂ්ටාචාරය තුළ තිබී හමු වී තිබෙනවා. යුනිකෝන් හිසක් සහිත හිස් තුනේ සත්ව මුද්‍රාව, නාග බෝධි, ධර්ම චක්‍ර හා ශෛලමය බුදුරුව මෙන්ම මෙසපොතේමියාවේ සිඟුරත් ගර්භයක තිබූ බුදු පිළිම ඒ අතර ඉතිරි වූ නටබුන් කිහිපයක්. ස්ථිර ලෙසම මේ දේවල් ක්‍රි.පූ. 5, 000 කටත් වඩා පැරණි බව තහවුරු වී තිබෙනවා.

කෝණාගමන බුදුසසුනේ නටබුන් මෙලෙස හමුවුණත්, ඊට පසු පැවති කාශ්‍යප බුදු සසුනේ නටබුන් ඉතාම අඩුවෙන් හමු වෙන්නේ ඇයි? කාශ්‍යප බුදුන්ගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සර්වඥතා ධාතු නොවිසිරී ඝන රන් පිළිමයක් සේ ඒක ඝනව පැවතියා. ඒ උන්වහන්සේ කළ ප්‍රාර්ථනාවක් අනුවයි. ඒ නිසා කාශ්‍යප බුදුරදුන්ගේ ධාතු තැන්පත් කර ඉදිකිරිමට හැකි වී ඇත්තේ, එකම එක ස්තූපයක් පමණයි. ඊට පෙර අන්තඞ කල්පයේ පැවති කෝණාගමන බුදු සසුනේ පුරාණ වෙහෙර විහාර නටබුන් වලට වඩා ඉතාම අඩු සලකුණු ප්‍රමාණයක් කාශ්‍යප බුදු සසුනෙන් මතු වෙන්නේ මේ නිසා විය හැකි යි.

පෙර පැවති කල්පවලට අයත් තවත් දේවල් සොයාගෙන තිබෙනවාද?

ඔව්. දැන් අපි මේ සාකච්ඡා කරන භූමියට යාබදව පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයෙන් පවා වසර 3, 000 කට වඩා පැරණි ඉතා දියුණු නගරයක නටබුන් වැළලී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබෙනවා. කොළඹ වරාය, හිල්ටන් හෝටලය තිබෙන ස්ථානවලින් ඉපැරණි නගර ලක්‍ෂණ කිහිපයක් ම හමු වී ඇති බවත්, කැලණිය පුදබිම ආශි‍්‍රතව වෙනත් යුගවල සලකුණු හඳුනාගෙන ඇති බවක් වත්මන් පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.

ඒ වගේම, සීගිරිය අලුත්යාය ප්‍රදේ්ශයේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් සුදු තිරුවානා කන්දෙන් රාවන යුගය තරම් ඈත කාලයට දිවෙන උමං මාර්ගයක් හමු වුණා. අඩි 15 ක් පොළව යටින් මතු වූ මාර්ගය රාවණ කතා ග්‍රන්ථයේ සඳහන් සීගිරියේ සිට ලග්ගලට යන මඟ විය හැකි බවත්, සීගිරිය රාවණගේ නිර්මාණය බවටත් ඉතිහාසඥයන් මාධ්‍යයට මත පළකර තිබුණා.

හොඳයි. විදෙස් රටවලිනුත් මෙවැනි නෂ්ටාවශේෂ හමුවුණ බවට වාර්තා නැද්ද?

ඊජිප්තු පිරමීඩ් දේවාලයක තිබූ මැටියෙන් අඹන ලද ගුවන්යානා ආකෘති හතරෙහි පුරාවස්තුව වසර 4500 කට වඩා පැරණි බව කාබන් පරීක්‍ෂණයෙන් තහවුරු වී තිබෙනවා. ඊඟාවට අසල්වැසි ඉන්දියාවේ බොම්බායට සැතපුම් 200 ක් උතුරට වන්නට ගුජරාටියට නුදුරෙන් පිහිටි කුම්බේ බොක්කේ අඩි 4000 ක් ගැඹුරු මුහුදු පත්ලේ නවදිල්ලි නුවරට නොදෙවෙනි පුරාණ විශාල නගරයක නටබුන් හමු වුණා. 2003 වසරේ දී එරට සාගර දූෂණ කොමිසම මඟින් සොයා ගනු ලැබූ මෙම මුහුදට ගිලා බැසුණ නගරය වසර 10, 000 කට ආසන්න ඉපැරණි බවට විශ්වාස කරනවා.

මීට අමතරව, මැදපෙරදිග කටුක කාන්තාර යටින් දියුණු නගර පුරා වස්තු නටබුන් මතු කරගෙන තිබෙනවා. මෙම ඉපැරණි නගර මේ කල්පයේ තිබූ ඒවා නොවෙයි. එමෙන්ම, වසර 3, 000 ක් තරම් පැරණි ‘බැටරි ෂෙල්’ මෙලෙස කාන්තාර ආශි‍්‍රතව කළ කැනීම්වලින් සොයා ගෙන තිබෙනවා. නූතන මිනිසා ‘බැටරිෂෙල්’ සොයා ගෙන තවම වසර 200 ක් වත් ගත වෙලා නැහැ. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා විසින් එංගලන්ත රූපවාහිනී වැඩසටහනක දී නිශ්චිත ලෙසම පෙර යුගයක භාවිත වූ ඒවා බවත්, නූතනයේ පවා එම බැටරි සක්‍රීය කළ හැකි බවත් අනාවරණය කරනු ලැබුවා.

මේ විධියට පුරාණ දියුණු නගර ශිෂ්ටාචාර නූතනයේ කාන්තාර වීමට හේතුව කුමක්ද?

මිථ්‍යාවෙන්, අධර්මයෙන් හා බලකාමයෙන් මත් වීමෙන් අත් වන්නේ හැමවිට විනාශයයි. අද වුණත්, මැදපෙරදිග ඇවිලී යන යුද ගැටුම් මඟින් අවසානයේ මතු කල්පයට දැකබලා ගැනීම ඉතිරි වන්නේ, එවැනිම නෂ්ටාවශේෂ වූ නගර ශිෂ්ටාචාර පමණයි. අන්තඞ කල්ප යුග විනාශවලදී සුළු සුළු වශයෙන් හෝ මෙලෙස නෂ්ටාවශේෂ ඉතිරි වූවත් මහා කල්පය අවසානයේ දී (මෛත්‍රී බුද්ධ කල්පයෙන් පසු) සිදුවන ලෝක විනාශයේ දී සියල්ල දූවිලි ගොඩක් බවට පත් වෙනවා. ඒක හරියට ජීවය විනාශ වී ගිය සඳ, අඟහරු වැනි ග්‍රහ ලෝක වගෙයි. අඟහරු ලෝකයේත් කලකට පෙර ජීවීන් සිටි බවටත්, සිඳී ගිය ගංගා, මුහුදු ආදී පසුබිමකුත් නිරූපණය කරන ඡායාරූප කිහිපයක් කියුරියෝසිටි යානයෙන් පසුගියදා එවා තිබුණා. අඟහරු ග්‍රහයාගේ මතුපිට කැනීම් ආරම්භ කළාට, තවමත් අපි ඉන්න පෘථිවියේ අඩි 30 කට වඩා යටට පුරාවිද්‍යා කැනීම් සිදු කරලා නැහැ. එහෙම යටට කැනීම් කළොත් මීට වඩා ඉකුත් කල්පවලට අයත් තවත් නටබුන් පුරාවස්තු දැක ගන්න පුළුවන් වෙයි.

ඔබගේ අදහස අපට කියන්න

Close