රට නොගිය ලක් කතකට ඔස්ටේ්‍රලියා පොලිසියෙන් දඩ කොලයක් එවලා

කොළඹ නගරයටවත් එක් වරකට වඩා ගොස් නැති තලාවේ පදිංචි විවාහක කාන්තාවට පසුගිය මාස තුනක කාලයක සිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී සිදු කළ රථවාහන වැරදි 2ක් සම්බන්ධයෙන් ඇමෙරිකානු ඩොලර් හයසීයකට වැඩි මුදලක් ගෙවන ලෙස දන්වමින් දඩ පත්‍රිකා එවීමෙන් ඇය දැඩි පීඩාවකට හා බියකට පත්ව සිටින්නීය.
තිරප්පනය තලාව අංක 112 පස්වන පටුමග ලිපිනයේ පදිංචි සෝමරත්නගේ දයාවතී (46) හැවිරිදි කාන්තාවට මෙසේ ඕස්ට්‍රේලියා වික්ටෝරියා ප්‍රාන්ත ‍පොලීිසියෙන් දඩ පත්‍රිකා දෙකක් ලැබි තිබේ. ඇයට ඒ 013589868 දරන රියැදුරු බලපත්‍රය හිමි අතර 2006 වසරේ සැප්තැම්බර් මස 04 වනදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් බලපත්‍රය නිකුත් කර තිබේ.
එම වසරේ නොවැම්බර් මාසයේ ඇයට ලියාපදිංචි තැපෑලෙන් අදාළ (ඒ 013589868) අංකයට නිකුත් කළ රියැදුරු බලපත්‍රය ලැබි ඇතත් එහි ඇගේ ඡායාරූපය වෙනුවට වෙනත් පිරිමියෙකුගේ ඡායාරූපයක් වීම නිසා ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට ඒ පිළිබඳව ලිඛිතව දන්වා තිබේ. පසුව ඇය විසින් ඇගේ ඡායාරූපය ඇතුළත් රියැදුරු බලපත්‍රය  සකසාගෙන ඇති අතර සිය නමට වූ වැරදි ඡායාරූපයක් සහිත රියැදුරු බලපත්‍රය නැවතත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට භාරදීමට කටයුතු කර තිබේ.
මේ වන විට ඇය තැති ගැන්මට ලක් කරමින් අවස්ථා හතරකදී ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ‍පොලීසිය හා ඊශ්‍රායල් ‍පොලීසියක් මගින් රථවාහන වැරදි කිහිපයකට දඩ නිකුත් කරමින් දඩපත් ශ්‍රී ලංකාවේ තලාව නගරයේ පිහිටි නිවසට එවා ඇති අතර එම දඩමුදල් සමග ප්‍රමාද ගාස්තු ගෙවා දමන ලෙසද දන්වා තිබේ.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දයාවතී මහත්මිය. මම ‍පොඩි කා‍ලේ කොළඹට ගියාට පස්සේ කිසිම දවසක
කොළඹටවත් ගිහින් නෑ. නමුත් වේගසීමා, උල්ලංඝනය කරමින් රිය ධාවනය කරා කියලා වික්ටෝරියා ‍පොලීසිය මගින් ඇමෙරිකානු ඩොලර් 302.60ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 45,000ක් පමණ) දඩයක් මේ මස (18) වනදාට පෙර ගෙවන්න කියලා දඩපතක් එවලා.
තව දඩපතක් එවලා තියෙනවා විද්‍යුත් සංඥා නොසලකා රිය ධාවනය කළා කියලා. එකේ ප්‍රමාද ගාස්තුවක් එක්ක ඇමෙරිකානු ඩොලර් 379ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 56500ක් පමණ) ගෙවන්න කියලා තියෙනවා. ඊට අමතරව මාස ගානකට ඉහතදී ඊශ්‍රායල් ‍පොලීසියෙන් මට දඩ පතක් එවලා තිබ්බා. මේ සිද්ධීන් පිළිබඳව මම ‍පොලීසියට, උසස් ‍පොලිස් නිලධාරීන්ට හා දැන්විය යුතු සෑම ආයතනයකටම දැන්වූවා, නමුත් ඊට කිසිම ප්‍රතිචාරයක් නෑ.
මම මගේ මියගිය සහෝදරයන් ඇතුළු ඥාතීන්ගේ දරුවන් නම දෙනෙක් ‍පෝෂණය කරනවා. ඒ දරුවනුත් මේ නිසා බයෙන් ඉන්නේ. මගේ නමට පිරිමි ඡායාරූපය සහිත ආපු රියැදුරු බලපත්‍රය කවුරුහරි විදේශයක භාවිතා කරනවා ඇති. නැත්නම් කොහොමද මගේ නමට දඩපත් එන්නේ. ඒ රියැදුරු බලපත්‍රය මට ලැබුණේ යුද සමයේ.
ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ අයෙකු මගේ රියැදුරු බලපත්‍රයක් අරගෙන ඒ නමින් විදේශගත වෙලා ඒක පාවිච්චි කරනවද කියලා මට සැකයක් තියෙනවා. ඔහු  විවිධ රටවල්වලට සංක්‍රමණය වන අයෙක් කියලා විශ්වාසයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා මට සාධාරණයක් කරන්න කියලා මම ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය ඇතුළු වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටිනවා” යැයි ඇය පැවැසුවාය.(lakbima)

ඔබගේ අදහස අපට කියන්න

Close