ඉන්දු ලංකා මිතුරුදම විශේෂයි – මෝදි කියයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික භාවයෙන් ඔබ්බට ගිය සුවිශේෂී මිත්‍රත්වයක් බවත්, දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන් අතර සම්බන්ධතා පුළුල් කරලීමට මේ මිත්‍රත්වය හේතු සාධක වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

අද දින නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග දිවා භෝජන සංග්‍රහයකට එක්වූ අතර එහිදී එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ දෙරටේ රාජ්‍ය නායකයන් හා දේශපාලන නායකයන් අතර ඇති පුද්ගලික මිත්‍ර සම්බන්ධතා ද මෙහිදී විශේෂ කාර්ය භාරයක් සිදු කරන බවයි.

ආර්ථික, ආරක්‍ෂක, නීතිය හා සාමය, වෙළඳ, තාක්‍ෂණික, කර්මාන්ත, සේවා, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍රයන් ගණනාවක සංවර්ධනය හා ප්‍රගමනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී  අදහස් හුවමාරු කර ගනු ලැබුවා.

එමෙන්ම ඉන්දීය සාගර කලාපය නිදහස් නාවුක ගමනාගමනය සුරක්‍ෂිත කෙරෙන සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමේ වැදගත්කම සම්බන්ධව ද මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

ත්‍රස්තවාදය දුරුකොට සාමය ස්ථාපිත කරලීමේ ව්‍යයායමයට සාර්ක් සංවිධානයේ සියළුම රටවල් දායක කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය ලක් වූ අතර සාර්ක් රටවල සාමය වෙනුවෙන් පෙනී සිටින සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක් කර ගනිමින් මේ වෑයමට පදනම දැමීමේ හැකියාව සම්බන්ධයෙන් ද විශේෂ අවධානයට ලක් කර තිබෙනවා.

තවද කලාපයේ තිරසර සංවර්ධනය සහ සාමය වෙනුවෙන් දෙපාර්ශවය විසින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් හා උපාය මාර්ග සම්බන්ධවද මෙහිදී අදහස් හුවමාරු වූ අතර එහිදී සාර්ක් සංවිධානය ක්‍රියාශීලී සහ ඵලදායී මට්ටමින් පවත්වාගෙන යෑම වැදගත් වනු ඇති බව දෙපාර්ශවයේම අදහස් වී තිබෙනවා. එමෙන්ම වර්තමානයේ සාර්ක් සංවිධානය ලක් වී ඇති අභියෝගාත්මක අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව ද අවධානය යොමු කෙරුණා.

ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවරයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටළු උදෙසා තිරසර විසඳුමක් ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් දෙරටේ විදේශ කටයුතු සහ ධීවර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඉහළ පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට දින නියම කර ගැනීම ද මේ සාකච්ඡාවේදී ම සිදු විය. ඒ අනුව ලබන නොවැම්බර 05 වන දා මේ සාකච්ඡාව නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතය.

 

ඔබගේ අදහස අපට කියන්න

Close