අගමැති හා ඉන්දීය ජනපති අතර සාකච්ජා

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජනාධිපති ප්‍රණාබ් මුකර්ජි මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡා ඔක්තෝබර් 05 වන දා සන්ධ්‍යාවේ නවදිල්ලි නුවර රාශ්ටපති භවන් හිදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප සම්බන්ධතාව තව තවත් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා සහභාගී වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අරාධනා කර සිටින බව වික්‍රමසිංහ මහතා මුකර්ජි මහතා වෙත දැනුම් දුන්නේය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනය ගැන ඉතා සතුටු වන බවත්, තමන් වෙත එවැනි ආරාධනයක් කිරීම පිළිබඳව සිරිසේන මහතාට ගෞරවය පුද කර සිටින බවත් ඉන්දීය ජනාධිපතිවරයා පැවසීය.

අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා දශක ගණනාවක් තිස්සේ තමන්ගේ අතිශය පුද්ගලික මිතුරෙක් බව කී ඉන්දීය ජනාධිපතිවරයා කවර මට්ටමේ හෝ තනතුරු දැරූ අවස්ථාවල වුවද ඒ මිත්‍රත්වය එසේම පැවති බව අවධාරණය කරමින්,  වික්‍රමසිංහ මහතා හමුවේ ඉන්දියාවේ මෙන්ම, තමන්ගේ ද සංවේදී හැඟීම් පිළිබඳව විවෘතව සාකච්ඡා කිරීමට හැකි බව ද පෙන්වා දුන්නේය.

කලාපීය සාමය ස්ථාපිත කරලීම සඳහා වර්තමානයේ ශ්‍රී නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් යුතු ඉන්දීය ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙල වික්‍රමසිංහ මහතාගේ පැසසුමට ලක් විය.

දේශසීමා ත්‍රස්තවාදය සම්බන්ධ ඉතා උණුසුම් අවස්ථාවන්හිදී වුව, මෝදි මහතා තත්වය සංසිඳුවීම වෙනුවෙන් ඉවසීමෙන් කටයුතු කිරීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඉන්දියාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වූ ශ්‍රී ලංකාව තමන් වෙත දක්වන සුහදශීලී ආකල්පය අගය කළ ඉන්දීය ජනාධිපතිවරයා තමන් හැම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහය ලබා දීමට කටයුතු කළ බව ද සිහිපත් කළේය.

ඉන්දීය ජනාධිපති උපදේශිකා ඔමිතා පොල්, විදේශ ලේකම් ආචාර්ය එස් ජයශන්කර්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් වයි කේ සිංහා, ජනාධිපති අතිරේක ලේකම් ආචාර්ය තෝමස් මැතිව්, ජනාධිපති මාධ්‍ය ලේකම් වේනු රාජමොනි, ජනාධිපති හමුදා ලේකම් මේජර් ජෙනරාල් අනිල් ඛෝස්ලා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ සම ලේකම් රේනු පාල් යන මහත්ම මහත්මීන් ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වී සිටියහ.

ඔබගේ අදහස අපට කියන්න

Close