කොන්ත්‍රාත් නියමයන් කැඩුවාට උතුරු මැද මහ ඇමතිට නොතීසි

රුපියල් කෝටි විසි පහක් පමණ වන රජයේ ඉදිකිරීමේ කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු එම පළාත් සභාවේ අමාත්‍යවරුන් ඇතුළු නිළධාරීන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානය අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සියළුම වගඋත්තරකරුවන්ට මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ජනතා  විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී  හා දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වන වසන්ත සමරසිංහ මහතා අධි නීතිඥ කරුණාරත්න හේරත් මහතා මගින් ඉදිරිපත් කල පෙත්සම සලකා බලමින් විනිසුරුවරයා නියෝගය නිකුත් කලේය.

උතුරුමැද පළාතේ පිහිටි පාසල් 31ක් ඉදිකිරීම සදහා රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් රජයේ ප‍්‍රසම්පාදන නියමයන් උල්ලංගණය කරමින් දේශපාලන හිතවතුන්ට ලබාදිමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු වගඋත්තකරුවන් ගෙන ඇති තීරණයක් අභියෝගයට ලක් කරමින් දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු හා ජනතා  විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් මන්ත‍්‍රී  වසන්ත සමරසිංහ මහතා අධිකරණය හමුවේ පෙත්සම ගොණුකර තිබුණි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී. බී. දිසානායක, පලාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, උතුරු මැද පළාත් අමාත්‍යවරුන් වන පුංචිබංඩා රත්නායක, කේ.එච්.නන්දසේන, අජිත් සමරකෝන්, එච්. බී.  සේමසිංහ, පළාත් ප‍්‍රධාන ලේකම් කේ.ඒ.තිලකරත්න සහ පළාත් ප‍්‍රධාන අමාත්‍යශයේ ලේකම් අනෝමා මානෙල් යනට මේ මස 17 වනදා අධිකරණය හමුවේ පෙනිසිටින ලෙස නියෝග කෙරුණි.

ඔබගේ අදහස අපට කියන්න

Close