ඉදිරි කාලයේ නැරඹිය හැකි උල්කාපාත වැසි මෙන්න

එදා අපේ මුතුන් මිත්තන් තරු කඩා වැටෙනවා එහෙමත් නැත්නම් දේවතා එළි කියල හැඳින්වූ උල්කාපාත වර්ෂා අදටත් සෑම වසරකම විවිධ කාල සීමාවන් වල දැකිය හැකඅභ්‍යවකාශයේ පවතින පාෂාණ කැබලි මෙන්ම දූවිලි පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවී පෘථිවිය දෙසට ඇදී එනවිට පෘථිවි වායුගෝලයේ ගැටී සෙන්ටිග්‍රේඩ් අංශක 3000 පමණ අධික උෂ්ණත්වයකට පත්වේ. එම හේතුවෙන් මෙම වස්තූන් පොළවට වැටීමට ෙපරම ගිනිගෙන දැවී අළු බවට පත් වේ. මෙම පාෂාණ දැවීයාමේදී අපට ඒවා විවිධ වර්ණ වලින් විචිත්‍රවත් ලෙස දැකිය හැක. ඒ මෙම ද්‍රව්‍ය වල අඩංගු විවිධ මූලද්‍රව්‍ය හේතුවෙනි. උදාහරණයක් ලෙස සෝඩියම් අඩංගු පාශාණයක් නම් උල්කාවන් දිස්වන්නේ කහ පැහැයෙනි. ඒ අනුව පහත ආකාරයට විවිධ මූලද්‍රව්‍ය අනුව වර්ණයන් වෙනස් වේ.

උල්කාපාත වර්ෂාවන් ඇතිවීම පිළිබඳ ප්‍රධාන මත දෙකක් පවති. වල්ගාතරු සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන අතර ඒවා ගමන් කරන මාර්ගයේ ඉතිරිවන දූවිලි සහ පාෂාණ කැබලි ඇති ස්ථාන වලින් පෘථිවිය ගමන් ගන්නා විට එනම් පෘථිවි කක්ෂය හා වල්ගා තරුවේ කක්ෂය ඡේදනය වන ස්ථානයේ උලකාපාත වර්ෂා ඇතිවිය හැකිය යන්න එක් මතයකි. අනෙක් මතය නම් අභ්‍යවකාශයේ දූවිලි වලාවන් සහ පාෂාණ ඇති ස්ථාන අසලින් පෘථිවිය ගමන් ගන්නා විට මෙවැනි උල්කාපාත වර්ෂා ඇතිවන බවයි.

ඒ අනුව සෑම වසරකම ඒකම කාල වකවාණුවක යම් ස්ථිර ස්ථානයකින් මෙම උල්කාපාත වර්ෂා දැකිය හැක.

මූල ද්‍රව්‍ය

වර්ණය

ලිතියම් (Li)

රතු

සෝඩියම් (Na)

කහ

සීසියම් (Cs)

නිල්

කැල්සියම් (Ca)

ගඩොල් රතු

ස්ට්‍රොන්ටියම් (Sr)

ක්‍රිම්සන් රතු

කොපර් (Cu)

රතු තද කොළ

ඉදිරි කාලය තුළදී ඔබට දැකිය හැකි උල්කාපාත වර්ෂාවන්

උල්කාපාත වර්ෂාව

උල්කාපාත වර්ෂාව පසුබිමෙන් ඇති තාරකා රූපය

දර්ශණය වන කාලය

උපරිම වර්ෂාව දැකිය හැකි දින

ඩ්‍රැකොනිඩ්

(Draconid)

ඩ්‍රැකො තාරකා රූපය

ඔක්තෝබර් 06 – ඔක්තෝබර් 10

ඔක්තෝබර් 07

ඔරිනිඩ්

(Orionids)

දඩයක්කාරයා

ඔක්තෝබර් 02 – නොවැම්බර් 07

ඔක්තෝබර් 21 සහ 22

ටෝරීඩ්ස්

(Taurids)

වෘෂභ රාශිය

සැප්තැම්බර් 07 – දෙසැම්බර් 10

නොවැම්බර් 04 සහ 05

ලියෝනීඩ්

(Leonids)

සිංහ රාශිය

නොවැම්බර් 06 – නොවැම්බර් 30

නොවැම්බර් 17 සහ 18

ජෙමිනීඩ්ස්

(Geminids)

මිථුන රාශිය

දෙසැම්බර් 07 – දෙසැම්බර් 17

දෙසැම්බර් 13 සහ 14

අර්සීඩ්ස්

(Urside)

කුඩා වළසා

දෙසැම්බර් 17 – දෙසැම්බර් 25

දෙසැම්බර් 21 සහ 22

ඩ්‍රැකොනිඩ් (Draconid) උල්කාපාත වර්ෂාව

ulkapatha

සාමාන්‍ය ලෙස උල්කාපාත වර්ෂාවන් දැකිය හැක්කේ මධ්‍යම රාත්‍රිය පසුවී පාන්දර අහසේදීය. නමුත් ඩ්‍රැකොනිඩ් උල්කාපාත වර්ෂාව තරමක් අසාමාන්‍ය වේ. එය අපට බලාගත හැකි වන්නේ හැන්දෑ අහසේදීය. ඩ්‍රැකෝ තාරකා රටාව අසලින් පැයකට උල්කාවන් 10 ක් පමණ ඇදහැලෙන අතර මේවා අහසේ ඕනෑම ස්ථානයකින් දිස් විය හැක. මේ වසරේදී උපරිම තීව්‍රතාවයකින් අපට දැකගත හැකි වන්නේ ඔක්තෝබර් මස 07 වෙනි දිනය.

ඔරිනිඩ් (Orionids) උල්කාපාත වර්ෂාව

මෙම වර්ෂාව ඇතිවන්නේ හේලිගේ ධූම කේතුවේ ඉතිරි වන දූවිලි අංශු මගිනි. මෙහිදී දඩයක්කාරයා තාරකා රූපය අසලින් පැයකට උල්කාවන් 20 ක් ඇදහැලෙන අතර අහසේ ඕනෑම ස්ථානයකින් දිස් විය හැක. මේ වසරේ උපරිම තීව්‍රතාවයකින් අපට දැකගත හැකි වන්නේ ඔක්තෝබර් 21 සහ 22 වෙනි දින වලදීය.

ටෝරීඩ්ස් (Taurids) උල්කාපාත වර්ෂාව

මෙම උල්කාපාත වර්ෂාවද තරමක් අසාමාන්‍ය වේ. එනම් ආලෝක කදම්බයන් දෙකක් ලෙස ටෝරීඩ්ස් උල්කා වර්ෂාව දිස්වේ. එක් ආලෝක කදම්බයක් 2004 ටී.ජී. 10 ග්‍රාහකයක් මගින් ඇතිවන අතර අනෙක් ආලෝක කදම්බය 2පී එන්කේ ධූම කේතුවේ ඉතිරි කොටස් මගින් ඇති වේ. තවද පැයකට උල්කාවන් 5 – 10 ක් අතර ප්‍රමාණයක් නිකුත් වේ. ගවයෙකුගේ හැඩය නිරූපනය කරන වෘෂභ රාශිය අසලින් මෙම උල්කාපාත වර්ෂාව ඇති වුවද අහසේ ඕනම ස්ථානයකින් දර්ශණය විය හැක. අපට උපරිම තීව්‍රතාවයකින් දැකගත හැකි වන්නේ නොවැම්බර් මස 04 දිනදීය.

ලියෝනීඩ් (Leonids) උල්කාපාත වර්ෂාව

මෙම උල්කා වර්ෂාව ඇතිවන්නේ ටෙම්පල් ටර්ටල් වල්ගා තරුවේ දූවිලි අංශු මගිනි. සාමාන්‍යයෙන් පැයකට උල්කාවන් 15 ක් පමණ නිරීක්ෂණය කල හැක. සිංහ රාශිය අසලින් ඇතිවන මෙම උල්කා වර්ෂාව වසර 33 කට වරක් සක්‍රිය වී පැයකට උල්කාවන් 100 ක පමණ ඇදහැලේ. එනම් ටෙම්පල් ටර්ටල් වල්ගාතරුව සූර්යා වටා ගමන් කරන විට වසර 33 කට වරක් පෘථිවියට ආසන්නවේ. 2001 වර්ෂයේදි මෙවැනි අවස්ථාවක් ඇතිවිය. නැවත එවැනි අවස්ථාවක් උදාවන්නේ 2034 වර්ෂයේදීය.

මෙම උල්කා වර්ෂාව මේ වසරේදී උපරිම තීව්‍රතාවයකින් දැකගත හැකි වන්නේ නොවැම්බර් 17 සහ 18 යන දින වල පාන්දර අහසේදීය.

ජෙමිනීඩ්ස් (Geminids) උල්කාපාත වර්ෂාව

මෙම උල්කා වර්ෂාව විවිධ වර්ණ වලින් යුක්තවු ඉතාමත් විචිත්‍රවත් එකක් වේ. අපට මේ වසරේ දැකිය හැකි හොඳම උල්කාපාත වර්ෂාවද මෙයයි. මෙම උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය වන්නේ එක් උල්කාපාතයක් ඉතා සෙමෙන් අහස පුරා විහිදී ගමන් කිරීමයි. 3200 ෆේතන් ග්‍රාහකයේ ඉතිරි කොටස් වලින් ඇතිවන මෙම උල්කා වර්ෂාව මිථුන රාශිය අසලින් විහිදී යයි. පැයකට උල්කාවන් 120 ක් පමණ ඇතිවන අතර මෙවර උපරිම තීව්‍රතාවයකින් අපට දැකගත හැකි වන්නේ දෙසැම්බර් 13 දා රාත්‍රියේ සහ 14 දා පාන්දර කාලයේදීත්ය.

අර්සීඩ්ස් (Urside) උල්කාපාත වර්ෂාව

මෙය ඉතා සුළු ලෙස ඇතිවන උල්කාපාත වර්ෂාවක් වේ. ටර්ටල් ධූම කේතුවේ ඉතිරි වන දූවිලි අංශු මගින් ඇතිවන මෙම උල්කාපාත වර්ෂාවෙන් පැයකට උල්කාවන් 5 – 10 ක අතර සංඛ්‍යාවක් නිකුත් වේ. කුඩා වළසා තාරකා රූපය අසලින් මෙම උල්කාපාත වර්ෂාව ඇති වේ. මෙම වසරේ දෙසැම්බර් 21 සහ 22 පාන්දර අහසේ ඉතා සුළු ලෙස දැකිය හැක

වළාකුළු රහිත පැහැදිලි අහසක් ඇතිවිට ඩ්‍රැකොනිඩ් උල්කාපාත වර්ෂාව රාත්‍රී අහසේදිද අනෙකුත් උල්කාපාත වර්ෂා පාන්දර 1 න් පසු ඔබටද පියවි ඇසින් නිරීක්ෂණය කල හැක.

ඔබගේ අදහස අපට කියන්න

Close