දකුණු ආසියාව ඩිජිටල් කරමු – හරීන් ඉන්දියා ආර්ථික සමුලුවේදී කියයි

ඩිජිටල් තාක්ෂණය ගැන කතා කිරීමට පෙර ඩිජිටල් තාක්ෂණය යනු කුමක්ද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අපේ පළමු කාර්යය විය යුතු බව ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඩිජිටල් තාක්ෂණයේ වටිනාකම ජනතාවට නොදැනෙන්නේ නම් සියලු උත්සාහයන් අසාර්ථක වීමට ඉඩ ඇති බවයි ලෝක ආර්ථික සමුළුව විසින් සංවිධානය කරන ලද ඉන්දීය ආර්ථික සමුළුවේ දෙවන දින දේශනය පවත්වමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා  සදහන් කළේ.
පාරම්පරික ක්‍රමවේදවලින් ඔබ්බට ගොස් නව තාක්ෂණ දැනුම උපයෝගී කර ගනිමින් ඩිජිටල්කරණය හරහා තාක්ෂණය මුසුවූ ගමනක් යාමට අප අධිෂ්ඨානය කර ගත යුතු බව ද ඔහු කියා සිටියා.
මුළු දකුණු ආසියාවම එකට එක්වී එහි බිලියන 1.7 ක ජනගහනයෙන් යුතු වෙළෙඳ‍පොළ ප්‍රයෝජනයට ගතහොත් දියුණු ලෝකය අභිබවා යා හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ලංකාවෙන් ඩිජිටල් වෙනසක්

පුරා අවුරුදු 30 ක සිවිල් යුද්ධයකට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ ජනතාව දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිදහස භුක්ති විදිමින් සිටින බව ද ඔහු කියා සිටියා.

යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික, සමාජ පසුබෑමකට ලක්වුවත් මේ අභියෝගය ජය ගැනීම සඳහා සියලු පියවර දැන් රජය ගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

පාසල් හැරයන ළමයෙකු ත්‍රීවිල් රියදුරෙකු ලෙස රැකියාව ආරම්භ කළ ද ඔහු ජීවිතයෙන් සමුගන්නා තුරු කුලී රථ රියදුරෙකු ලෙසම මියයාමට වඩා ඔහුට එම තත්ත්වයෙන් මිදී තාක්ෂණ දැනුම හරහා ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කිරීම අපගේ අභියෝගය බවයි හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

ඔබගේ අදහස අපට කියන්න

Close