අභිමාන ගීයේ අභිමානවත් කලාකරුවාගේ(අයිවෝ ඩෙනිස් ) ප්‍රසංගය හෙට

වරෙන් හීන් සැරේ…… වරෙන් හීන් සැරේ……. වරෙන් හීන් සැරේ රිදීවලාවෝ……

වසර ගණනාවකට පෙර ගැයූ ගීයක්‌ ඒත් කිසිදා පැරණි නොවන, අදත් හෙටත්… මතුවටත් එකසේ රස විඳිය හැකි ගීයක්‌ .. මෙවන් ගී කොතරම් සංඛ්‍යාවක්‌ එදා සුනිල් ශාන්තයන් ගැයුවාද? එවන් වූ ශේ්‍රෂ්ඨ ශිල්පියකුගේ අසිරිමත් හඳුන්වාදීම. මේ වනවිට දශක පහකට අධික කාලයක පටන් අපේ ගී කෙත පෝෂණය කරමින් සිටින හේ අයිවෝ ඩෙනිස්‌ ය. හෙතෙම සම්මානයට පාත්‍ර වන්නේ මෙරට සංගීත ක්‍ෂේත්‍රය තුළ සුනිල් ශාන්ත ලකුණ නමිනි. සිය ගුරු සුනිල් ශාන්තයන්ගේ සංගීත දැනුම පමණක්‌ නොව කටහඬ ද උරුමකරගත් එකම ශිෂ්‍යයා අයිවෝ ඩෙනිස්‌ බව අවිවාදයෙන් යුතුව පිළිගත යුත්තකි.

මිහිකත නළවාලා……
වනමල් නංවාලා
පාසැල වෙත යන මේ
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ

අයිවෝ ඩෙනිස්‌ උපන්නේ සීදුවේය. 1932 මැයි 28 දා ය. පැස්‌කුවල්ගෙ දොන් ඔගස්‌ටින් අයිවෝ ඩෙනිස්‌ ඔහුගේ සම්පූර්ණ නමය.

ගුවන් විදුලියෙන් ඇරඹුම

ගුවන් විදුලියේ වෙළෙඳ සේවය 1952 දී පැවැත්වූ “ආධුනික පැය” අයිවෝ පළමුවරට ගීයක්‌ ගැයූ අවස්‌ථාවය. ඔහු ගැයුවේ අප මේ ලිපිය ආරම්භයේදී සටහන් කළ “වරෙන් හීන් සැරේ…. ගීයයි. ගීයේ අයිතිකරු සුනිල් ශාන්තයෝ ද අයිවෝගේ ගී හඬ අසා මවිත වූහ. එහි ප්‍රතිඵලය වූයේ අයිවෝ මරදානේ පිහිටි සුනිල් ශාන්තයන්ගේ සංගීත ආශ්‍රමයට එක්‌ව සංගීතය හැදැරීමය.

අයිවෝ 1975 දී සුනිල් ශාන්තයන්ගේ “රන්වලාව” සංගීsත වැඩසටහනට ද එක්‌විය.

“කුරුළු පරාදීසයේ
කුරුළු සිහින සාගරේ
ඔබ හා විසුමට එනු මැන
කුරුළු සුරපුරේ”

හැත්තෑ පහේදී තිලක සුධර්මන්ද සිල්වා ලියූ සුනිල් ශාන්තයන් සංගීතය එක්‌ කළ “කුරුළු පරාදීසයේ” ගීය ගයමින් අයිවෝ ඩෙනිස්‌ සිය සංගීත චාරිකාව ආරම්භ කළේය. පසුව ඔහු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ “රේඛාව” චිත්‍රපටය වෙනුවෙන් ඉන්දියාවට ගියේය. ඒ සුනිල් ශාන්තයන් නියෝජනය කරමිනි. එසේ ගිය අයිවෝ “ඕලු නෙළුම් නෙරිය රඟාලා, සුදු සඳ එළියේ, සීගිරි ළඳකගේ.. වැනි ගීත ගායන ශිල්පීන්ට පුහුණු කළේය. එපමණක්‌ නොවේ “අනුරාධපුර, පොළොන්නරුව සීගිරි මන බන්ධනීය” යන විරිඳු ගීතය ගයමින් රේඛාව චිත්‍රපටයෙන් චිත්‍රපට පසුබිම් ගායනයට ද එක්‌වූයේය.

“අම්බපාලි” හින්දි චිත්‍රපටය සිංහලින් දෙබස්‌ කවද්දී රැපියල් තෙන්නකෝන් ලියූ, සුනිල් ශාන්තයන් ගැයූ තේමා ගීයට ද අයිවෝ ඩෙනිස්‌ සහාය විය.

හෙමින් සැරේ පියාවිදා
සිනිඳු සයනේ සුමුදු ඇතිරිල්ලේ…..

බඹරු ඇවිත්, හිමකතර, පාරදිගේ, දෙවැනි ගමන වැනි චිත්‍රපටවලට ද සිය මනහර හඬින් පසුබිම් ගී ගැයූ අයිවෝ ඩෙනිස්‌ “හිමකතර” චිත්‍රපටයේ ගායනයට 1985 දී ජනාධිපති සම්මානයෙන් පුද ලැබුවේය. ඒ “කන්ද එහා වැස්‌ස වසින්නා” ගීය වෙනුවෙනි. සංගීතය ප්‍රෙමසිරි කේමදාසයන්ගේය.

අභිමාන ගීයෙන් කැසට් පටයට

ඔහුගේ ප්‍රථම කැසට්‌පටය වන්නේ 1984 දී නිකුත් කළ “අභිමාන ගී” ය

ලංකා ලංකා පෙම්බර ලංකා
පිනවමු ඔබ ලංකා
හොබවමු ඔබ ලංකා දිවි දී….
සුරැකිමු ඔබ ලංකා……..

“අභිමාන ගී” අයිවෝගේ එකම කැසට්‌පටය ද වේ. මකුලොලුව නිර්මාණය කළ “දෙපානෝ”, “පහනින් පහන”, “සතිස්‌චන්ද්‍ර එදිරිසිංහ ගේ “තහංචි”, “රසාංජලී”, කිතුනුq කලා සංවිධානයෙ” එසේය අපි ඔහු මැරුවෙමු” වැනි නාට්‍යවලට අයිවෝ ඩෙනිස්‌ රංගනයෙන්ද එක්‌විය.

1995 දී ඔහු උණ්‌ඩා සම්මානයෙන් පිදුම් ලැබුවේ වසර පනහක්‌ තුළ සිංහල ගීත ක්‍ෂේත්‍රයට කළ සේවාව උදෙසාය. බීබීසී ගුවන් විදුලියේ “ලංකා උදානය” වැඩසටහනට දස වසරක්‌ පිරීම නිමිත්තෙන් ද ඔහුට විශේෂ සම්මානයක්‌ පුද කළේය.

2004 දී ලක්‌හඬ ගුවන් විදුලිය විසින් දේශාභිමානි ගීතවලට දැක්‌වූ දායකත්වය වෙනුවෙන් විශේෂ සම්මානයක්‌ පිරිනැමුවේය. 1999 දී ආසියා ශාන්තිකර ගුවන් විදුලිය නවසීලන්තයේ පැවැත්වූ විද්යුත් මාධ්‍ය නව ගී නිර්මාණ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කළේද අයිවෝ ඩෙනිස්‌ ය. ඔහු කිතුනු ගීත කලාවේද අසිරිමත් ලකුණක්‌ තැබූ ශිල්පියෙකි.

ගීතය, යුගයෙන් යුගයට සිදුවන සමාජ විපර්යාසයන්හි එක්‌ ගොදුරක්‌ බවට පත් වෙමින් ද, විවිධ පරිණාමයන්ට අවනත වෙමින්ද උඩුගං බලා යමින් සිටී. එවන් කලෙක සුභාවිත ගීයේ ආශ්වාදය සහ සුවඳ රසික පරපුරට යළි ශ්‍රවණය කිරීමට ඉඩ හසර ලබා දෙමින් සහ අයිවෝ ඩෙනිස්‌ අග්‍රගන්‍ය ගායන ශිල්පියාගේ කලා දිවිය අගැයීමට ලක්‌ කරමින් ඔහුට උපහාර පුදන්නට “කුරුළු පරාදීසයේ” ප්‍රසංගය හෙට (08 දා) කොළඹ මියුසියස්‌ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සවස 6.00 ට පැවැත්වේ.

මෙය පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ප්‍රසංග මාලාවේ තෙවැනි ප්‍රාසාංගික අත්දැකීම වේ. විෂය භාර ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ උපදෙස්‌ මත මෙම ප්‍රසංග මාලාව සංවිධානය කරනුයේ සැලසිනේ රූපවාහිනී ආයතනය විසිනි.

සුනිල් ශාන්තයන් ගැයූ ගීත මෙන්ම තමන්ගේ නිර්මාණ ද අයිවෝ ඩෙනිස්‌ ප්‍රවීණ ශිල්පියා විසින් හෙට “කුරුළු පාරාදීසයේදී” ගයයි. ටී. එම්. ජයරත්න, නෙලූ අධිකාරි, දෙව්මිණි ප්‍රනාන්දු, කුමාරි මුණසිංහ, ලක්‍ෂ්මන් විඡේසේකර, කීර්ති පැස්‌කුවල් යන ශිල්පීහු ද මෙහිදී අයිවෝ ඩෙනිස්‌ සමග ගී ගයති. තෝරා ගත් ගීත කිහිපයකට කුලසිරි බුදවත්ත නර්තන කණ්‌ඩායමත්, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න සහ ගිරිරාඡ් කෞෂල්‍ය විසින් නර්තන අංග සහ ප්‍රාසාංගික රංගනයක්‌ ඉදිරිපත් කරති. ගී රසකාමීන් වෙත අයිවෝ ඩෙනිස්‌ගේ ගීත ඇතුළත් සංයුක්‌ත තැටියක්‌ බෙදා දීමටද සංවිධායකයන් සූදානම් ය. සංගීත අධ්‍යක්‍ෂණය ප්‍රවීණ සංගීතවේදී සරත් ද අල්විස්‌ ය. පසුබිම් කථනය සමන් අතාවුදහෙට්‌ටිය.

කෝකිලයන්ගේ….. කෝකිල නාදේ ගීත හඬින් හීනවගේ එයි නැඟී……..

අපේ ගී කෙතේ කෝකිලයා සුනිල් ශාන්තයන්ය. සුනිලුන්ගේ හඬින් ඔහුගේ ගී ගයන ඔහුගේ ශිෂ්‍යයා ද කෝකිලයෙකි. ඔහු මේ වනවිට අසූ වැනි වියද පසුකර ඇත. සිය නොසැලෙන ප්‍රතිභාවෙන් ඔහු අදත් රසිකයා මෝහනයට පත් කරන්නට සමත් ය. “කුරුළු පරාදීසයට” එන්න… ආදරණීය රසිකයන්ට මේ කුරුළු පරාදීසයේදී අයිවෝ ඩෙනිස්‌ නම් කෝකිලයාට හදපතුලෙන් පැන නැඟෙන උපහාරය දැක්‌වීමට අවස්‌ථාව උදාවේ.

අජිත් අලහකෝන්(Divaina)

ඔබගේ අදහස අපට කියන්න

Close